සූර්යග්‍රහණයේ දෘෂ්ටි මායාව

මාර්තු 15, 2024

වසරකට සිදු වන ග්‍රහණ පිළිබඳ උනන්දුවෙන් සිටින ඡ්‍යොතිෂ ලෝලීන් සූර්යග්‍රහණයක් සලකන්නේ ඉතා වැදගත් සිදුවීමක් ලෙස බව රහසක් නොවේ. සූර්යයා නිරන්තර පෙනෙන එමෙන්ම නක්ෂත්‍රයට නැඹුරු අප වැනි රටවල සූර්ය ග්‍රහණයට සූදානම් වන්නේ වෙනස්ම ආකාරයකටය. එහෙත් ඍතු භේදය සහිත රටවලට සූර්යග්‍රහණයක් යනු වෙනස්ම අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එනිසාම සූර්යග්‍රහණය දිනයේ පාසල් නිවාඩු දීමට පවා සූදානමින් සිටින ඇතැම් නගර පිළිබඳව ද තොරතුරු වාර්තා වන අයුරු අපූරුය.

කෙසේ වෙතත් ඉන්දියානු විශ්වාසයට අනුව රාහු සහ කේතුගේ බිහි වීමත් සූර්යග්‍රහණයත් අතර ඇති සම්බන්ධතාව නිසා එය මහත් අසුබ අවස්ථාවක් ලෙස සැලකෙයි. ස්වර්භාණු නම් යක්ෂයා දෙවියන් සමඟ එකට හිඳ අමරණීයත්වයට තුඩු දෙන අමෘත පානය කළ බව සූර්යයා සහ චන්ද්‍රයා විෂ්ණු දෙවියන්ට කී පසු ස්වර්භාණුගේ හිස ගසා දැමීමෙන් ඒ කොටස් දෙකෙන් බිහි වූ රාහු කේතු හිරු සඳු දෙදෙනාගෙන් පළි ගැනීමට හැකි අවස්ථාව ලෙස ග්‍රහණය සැලකෙන බැවින් එය අසුබ අවස්ථාවක් වන බව ඒ කතාවල විශ්වාසයයි. කෙසේ වෙතත් හොරෙන් පානය කළ අමෘතය නිසා අමරණීයත්වයට පත් වූ රාහුට සහ කේතුට ග්‍රහ මඬුල්ලට ද එක්වන්නට හැකිව තිබීම වඩාත් රසවත් සිදුවීමය.

ඒ කතාන්දර කෙසේ වෙතත් සූර්යග්‍රහණය මොහොතේ වද කහ බීමට තරම් වූ විශ්වාසයක් අපේ රටේ ද පැවතුණු බව රහසක් නොවේ. එහෙත් ඊට වඩා දියුණු තාක්ෂණය සහ දැනුම ඇති විසි එක් වැනි සියවසේ සිටින පිරිස් ද සූර්යග්‍රහණය පිළිබඳ බියකින් පසු වන අයුරු අන්තර්ජාලයේ සැරිසරන විට දක්නට ලැබෙන්නේ අරුම පුදුම පැන ලෙසය. ඇතැමුන් විහිළුවට හෝ විමසා ඇත්තේ සූර්යග්‍රහණ මොහොතේ වැසිකිළියට යෑම පවා භයානක විපතක් ගෙන ඒමට හැකිදැයි යන සැකයකින් වීම විහිළුවක් නුවූවත් සිනහ උපදවන කරුණකි. ඒ කෙසේ වෙතත් අපේ රටවලට මෙවර සූර්යග්‍රහණයේ අපූරුව දක්නට නොලැබෙන්නේ එය රාත්‍රියේ සිදු වන නිසාය. එනිසා මේ පූර්ණ සූර්යග්‍රහණය අප කලාපයට එතරම් බියක් නොගෙනෙනු ඇත.

විද්‍යාඥයන් පවසන අන්දමට පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන්නට මිනිත්තු හතර පහකට පෙර පෘථිවිය මෙසොපික් විෂන් සෝන් නම් දෘෂ්ටි කලාපයට ඇතුළත් වන බැවින් අප අවට පරිසරය අළු පැහැයට හෝ රිදී පැහැයට හුරු ගතියක් දක්වන අතර සියලු වර්ණවත් දේ යම් අවපැහැයකින් දිස් වන්නට පටන් ගන්නේ එනිසාය.

එය නිරීක්ෂණයට හොඳම ක්‍රමය රතු හෝ තැඹිලි වර්ණයෙන් මෙන්ම කොළ වර්ණයෙන් සැරසී සිටීම බව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ අපගේ ඇසෙහි ඇති සෛලවල ක්‍රියාකාරීත්වයත් සමඟය. මිනිස් ඇසෙහි ඇති විවිධ සෛල වර්ග අඩු ආලෝකයේදී රතු සහ තැඹිලි වැනි වර්ණයන් අළු පාටට හුරු අයුරින් දැක්වෙන අතර කොළ නිල් වර්ණයන් වඩා දීප්තිමත්ව දක්නට සලස්වයි. මේ නිසා සූර්යග්‍රහණ මොහොතේ මෙවැනි වර්ණයෙන් සැරසී ඒ අපූරු අත්දැකීම විඳීම ප්‍රවර්ධනය කෙරෙන ක්‍රීඩා ආදිය මේ වන විට පූර්ණ සූර්යග්‍රහණය දැකිය හැකි රටවල සූදානම් කරමින් පවතී. විශේෂයෙන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වී සිටින තරුණ පිරිස්වලට සෙල්ෆි ගැනීමේ සෙල්ලම වඩාත් විනෝදකාමී වන්නේ වර්ණයේ වෙනස තමන්ටම දැකගත හැකි ඡායාරූප එකතුවක් ලැබෙන බැවිනි.

මේ සියල්ල දෘෂ්ටියේ මායාව බව අප නොදැන සිටින තාක් අපට මුළු ලෝකයම අපූරුය. ඉර හඳ තරු මෙන්ම පෘථිවියේ අපූර්වත්වය අපට දැනෙන්නේ අපට ඇසෙහි සෛල මඟින් දක්වන සීමාව මත බව එයින්ම තහවුරු වෙයි. එය සැබැවින්ම සම්මුති සත්‍යය හා පරමත්ත සත්‍යය අතර වෙනස මෙනි. ගිනි සිළුවක් අතින්ගෙන සිටින මිනිසා එය කරකවන්නට ගත් විට ගිනි බෝලයක් අපට පෙනේ. එය සම්මුති සත්‍යය සහ පරමත්ත සත්‍යය අතර වෙනස පැහැදිලි කිරීමට ගන්නා සුප්‍රකට උදාහරණයයි.

ඇසෙහි සෛලවලින් කෙරෙන මේ දෘෂ්ටි මායාව හඳුනා ගන්නා තුරු ඉර රාහු ගිලීමත් සඳ රාහු ගිලීමත් ඒ මොහොතේ ඇතිවන වර්ණවල වෙනසත් අපට ලෝකයේ සත්‍යය තවත් පුදුමයක් බවට පත් කරයි. එහෙත් අවශ්‍ය වන්නේ ග්‍රහයන් පිළිබඳ බිය වීම නොව එහි සැබෑ ක්‍රියාවලිය හඳුනා ගැනීමය. එවිට සොබා දහම අපේම කොටසක් සහ අප සොබාදහමේම කොටසක් බවට පත් වන අතර එහි අපූර්වත්වය අවබෝධ කරගත හැකි වනු ඇත. එවිට දෘෂ්ටි මායාවලින් බියට පත් වීම වෙනුවට ඒවායේ සැබෑව දැක සතුටු විය හැකි වනු නොඅනුමානය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.