චන්ද්‍ර කම්පා

මාර්තු 8, 2024

අනාවැකියක් වැරදුණ විට බොහෝ දෙනා කරන්නේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට සහ ඡ්‍යොතිර්වේදියාට දෙස් දීමය. එහෙත් එය වැරදුණේ ශිල්පීය නිපුණත්වයේ දොසක් නිසාම ද නැතහොත් සොබා දහමේ වෙනසක් නිසාද යන්න දන්නේ ‘දෙවියන්’ පමණි. මෙහිදී ‘දෙවියන්’ ලෙස හැඳීන්විය හැක්කේ අප මෙතෙක් විද්‍යාවෙන් හඳුනා නොගත් විශ්වීය සංසිද්ධීන්ය.

කෙතරම් විද්‍යාව දියුණුය කීවද හඳේ හාවාගේ මූණ වෙනස් වන හැටි විද්‍යාවට හසු වුණේ ළඟදීය. ඒ සඳ මත භූමි කම්පාව වැනි සිදුවීම් නායයෑම් සිදු වෙතැයි ඔවුන් දැනගත්තේ මෑතක නිසාය. සඳත් පංච මහා භූතයන්ගෙන් තැනුණු, පස්කඳු සහ තවත් පඨවි ගුණයෙන් යුතු ද්‍රව්‍යයන්ගෙන් තැනුණු විශ්වීය නිර්මාණයක් මිස පෘථිවි ගෝලයේ වෙසෙන මිනිසා නමැති තවත් එක් ජීවියකුගේ සෙල්ලම් බෝලයක් නොවන බව තහවුරු කර ගැනීමට ඔවුන්ට සිදුව ඇත්තේ චන්ද්‍ර කම්පන දැකීමෙන් අනතුරුව ය.

ග්‍රහයකුගේ පෘෂ්ඨයට සිදුවන වෙනස පෘථිවියේ වෙනසකට හේතු වේ යැයි නොතකන විදු ලෝලීන් සඳේ පදිංචි වීමට සිහින මැවුවද, පදිංචිය කෙසේ වෙතත් සඳ මත යානා බැස්සවීමට පවා ඔවුන් තුළ දැන් බියක් හටගෙන ඇතුවා සේය. ඒ චන්ද්‍ර කම්පන සහ නායයෑම්වලට යානා හසුවෙතැයි සැකයෙනි.

එමෙන්ම චන්ද්‍රයා ක්‍රමයෙන් හැකිළෙන බව ද එය උදම් රළ ඇති වීමට හේතු වන්නේ ද යන බවට ඔවුන්ට දැන් දැන් සැකයක් මතුව තිබේ. අනාගත සුනාමියකට හේතුව චන්ද්‍ර සංකෝචනයක් විය හැකි බවට එය පුරෝකථනයක් බඳුය.

චන්ද්‍ර සංකෝචනය කදී එවන් උදම් රළක් ඇති විය හැකි නම් සියයට අනූවක් පමණ ජලයෙන් පිරුණු සත්ත්ව සිරුරකට වන බලපෑම ගැන නොතකා සිටිය හැකිද යන්න ඡ්‍යොතිෂවේදීන් විද්‍යාඥයන්ගෙන් විමසිය යුතු නොවේද? ග්‍රහයන්ගේ බලපෑම පෘථිවියට ඇතිවන අකාරය පිළිබඳ නොතකා ඒවායේ සැකැස්මට හානි කිරීමට උත්සාහ දැරුව හොත් සිදු විය හැකි දේ පිළිබඳ ඡ්‍යොතිෂවේදීන්ට වඩා විද්‍යාඥයන් සැලකිලිමත් විය යුතුය.

වියළි මිදි ගෙඩියක මෙන් සඳේ හැකිළුම් ඇති වන විට එයින් නිකුත් කරන කිරණවල වෙනසක් සිදු වී අනාවැකියක් වරදින්නටත් බැරි කමක් ද නැත. එහෙත් එය ඡ්‍යොතිර්වේදියාගේ අනාවැකි වැරදීම පිළිබඳ නිදහසට කරුණක්ද නොවන බව මතක තබා ගත යුතුය. තවත් කලකදී චන්ද්‍ර කම්පන නිසා පෘථිවියේ පාරිසරික වෙනස්වීම් ඇති වන ආකාරය පිළිබඳ ඔවුන් පවසනු නිසැකය.

ඒ අතර ප්ලූටෝ වටා කැරකෙන තවත් චන්ද්‍රයන් ඇතැයිද විද්‍යාවට මෑතදී හසු වී තිබේ. ප්ලූටෝ සතු තවත් චන්ද්‍රයන් සොයාගත් පසු වුව ඒ ග්‍රහයාගෙන් ලැබෙන ප්‍රතිපල වෙනස් නොවන්නේ කිමදැයි කෙනකු විමසුව හොත් තාක්ෂණික මෙවලම්වලට හසුවීමට බොහෝ කලකට පෙර සිට පැවැති ඒ චන්ද්‍රයන්ගේ බලපෑම ඡ්‍යොතිෂයට හසුව ඇති නිසා බව සිතිය හැකිය.

එහෙත් පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රයාගේ මේ චන්ද්‍ර කම්පන පැය ගණන් පවතින බව මේ වන විට හෙළි වී තිබීමෙන් පැහැදිලි වන්නේ දින දෙකහමාරකට වරක් රාශියකින් රාශියකට මාරු වන චන්ද්‍රයාගේ කිරණ ඒ චන්ද්‍ර කම්පා නිසා වෙනස් විය හැකි බව නොවේද? ඡ්‍යොතිර්වේදියාගේ වෙලාවට හා සේවා ලාභියාගේ වෙලාවට හඳේ කම්පාවක් ඇති වන මොහොතක් උදා වුවහොත් අදාළ දිනය වෙනුවෙන් චන්ද්‍රයා මුල්කර කියන අනාවැකිවල යම් වෙනසක් නොවේ යැයි තහවුරු කළ හැක්කේ කාටද?

චන්ද්‍රයා තම පරිධියෙන් අඩි 150ක් පමණ හැකිලී ඇතැයි ද එය මීට වසර මිලියන කීපයකට පෙර සිට සිදු වූවක් යැයිද දැන් ඔවුන් දැන් සොයාගෙන තිබේ. එසේ හැකිළෙන චන්ද්‍රයා තම කිරණ ධාරා පෘථිවියට මුදා හැරීමේ වෙනසක් සිදු වීම නොවැළැක්විය හැකි කරුණක් ලෙසද තර්ක කළ හැකිය. එනිසා අනාවැකියක් කීමේදී අප බොහෝ දුරට එයට අදාළ ග්‍රහයන් ගැන සේම ඒ ග්‍රහයන් පිළිබඳ විශ්වයේ සැඟවී ඇති කරුණු පිළිබඳව ද යම් අවබෝධයකින් පසුවීම වඩාත් යෝග්‍ය බව සිතට ගත යුතු කාලයකි මේ උදාව ඇත්තේ. නව තාක්ෂණයෙන් විද්‍යාවට කරුණු එකතු වන්නට පෙර සිට සොබාදහමේ රහස් හෙළි කරගන්නට සමත් වූ ශාස්ත්‍රයන්ට මේ කරුණු විස්මයක් ගෙන නොදෙනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.