විද්‍යාත්මකව පලාපල කියන දවසක්...

පෙබරවාරි 23, 2024

 

පල හෝ අපල ගැන කතා කරන විට බොහෝ අය පවසන්නේ අහවල් ග්‍රහයා අහවල් භාවයේ නැත්නම් කොටුවේ සිටින නිසා අහවල් පලය හෝ අපලය සිදුවනවා කියාය. එය තේරුම් ගැනීමට හැකි වන්නේ ඡ්‍යොතිෂයේ හය හතර කෙසේ වෙතත් හෝඩිය ගැන හෝ අවබෝධයක් ඇත්තකුට පමණි. එසේ නොදන්නා දෙයක් දැඩිව කියන විට අසා සිටින්නා බොහෝ විට එය පිළිගන්නේ බියමුසු ගෞරවයකිනි. එහෙත් එසේ නොපෙනෙන බලවේගවල පලාපල සම්බන්ධව බිය වූයේ දැන් සිටින පරම්පරාවලට බොහෝ පෙර පරපුරුවලට අයත් මිනිසුන්ය. මේ වන විට සිටින විචිකිච්ඡාවෙන් පෙළෙන පිරිස් මෙන්ම තොරතුරු තාක්ෂණයෙන් සහ සමාජ මාධ්‍යවල බලපෑමෙන් අටුවම් බෑ අයට මේ කියුම් තවත් මදි වාගේය. අනාගතයේ කෘත්‍රිම දැනුම සමඟ උපදින පිරිස ඊටත් වඩා විචක්ෂණශීලීව ගණිතමය විසඳුම් හා විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඇසුරින් මේ පලාපල ලබා ගැනීමට උත්සුක වනවාට සැක නැත.

එබැවින් අනාගතයේ ඡ්‍යොතිෂ පලාපල කථනයකදී බලාපොරොත්තු විය හැකි පැහැදිලි කිරීමක් කෙබඳුදැයි අද සිටම සිතීම වටී. එහිදී අප උපකල්පනය කළ යුත්තේ අනාගතය ගැන පමණක්ද යන්න ද පැනයකි. බුද්ධඝෝෂ රජු වැනි ශ්‍රේෂ්ඨ හෙළ වෛද්‍යවරයකු විසින් නාගයකුට කළ ශල්‍ය කර්මය පිළිබඳ අප සිතුවම් මවන්නේ ද ඉතා ප්‍රාථමික මෙවලම් අතැතිව නාගයකු අසල ජෝතියක් හැඳ සිටින පුද්ගලයකු ලෙසය. එහෙත් බෞද්ධ ශල්‍ය වෛද්‍ය ක්‍රමයේ සඳහන් ආකාරයට සැත්කමක් කිරීමට පුහුණුව ලබන වෙදැදුරා පිරිසුදු ජලය පිරවූ කොරහක පාවෙන නෙළුම් මල් පෙත්තක් ජලයේ නොගිලෙන ලෙස තබාගෙන ඉතා සියුම් ඉරි දහසකට පමණ කැපීමට හැකියාව ඇති අයකු විය යුතු යැයි ත්‍රිපිටකයේ සාංස්කෘතික ලක්ෂණ කෘතියේ සඳහන් වේ. එවන් සූක්ෂ්ම හැකියාවක් ඇති වන්නට ඒ සැත කෙතරම් දියුණු තාක්ෂණයෙන් යුතු වන්නේ දැයි නොසිතා අතීතයේ ඇත්තේ නොදියුණු ක්‍රමයන්ය, අද බොහෝ දියුණුය, අනාගතය ඊටත් වඩා දියුණු වන්නේ යැයි සිහින මැවීම පොදු මිනිස් ස්වභාවයයි.

එහෙත් අනාගතයේ එවැනි දියුණු තාක්ෂණයක් පවතී නම්, එයට ගැළපෙන ආකාරයේ පලාපල කථනයකදී විද්‍යාත්මක පසුබිමක් සහිතව එය පැවසීමට සිදු වීම අපේක්ෂා කළ හැකි කරුණකි. එහිදී උදාහරණයක් ලෙස රවි ග්‍රහයා කේන්දරයේ පළමු භාවයේ හැසිරෙන මේ කාලයේ ඔබට ඔළුව කැක්කුම ඇති වේය යන අනාවැකිය පළ කිරීමට සිදු වන්නේ ද වෙනස් අයුරකිනි. එය අතීතය හා අනාගතය අතර කාල තරණයක යෙදීමෙන් පවසන උපකල්පනයක් දැයි විටෙක කෙනකුට සැකයක් හා විමතියක් ඇති වීමට හේතු විය හැකිය. කෙසේ වෙතත් අනාගතයේ එය පැවසීමට සුදුසු එක් අයුරක් පිළිබඳ උපකල්පනයක් සේ මෙවැනි අදහසක් ඉදිරිපත් කළ හැකිය.

රවි ලග්නයේ හැසිරීම යනු සූර්යයාගෙන් නිකුත් වන කිරණවල ශක්තිය සහ ආලෝක තරංග ශරීරයේ අනෙක් කොටස්වලට වඩා වැඩියෙන් හිසට බලපාන කාලයකි. ඒ අනුව හිරුගෙන් නිකුත්වන විවිධ තරංග ආයාමවලින් යුතු ආලෝක කිරණ අතරින් ඇසට දැඩි වේදනාකාරී නිල් ආලෝකයේ බලපෑම ඔබට වැඩි වැඩියෙන් දැනෙනු ඇත. මේ හේතුවෙන් ඉරුවාරදය තත්ත්වයක් ඇති වීම නිසා මොළයේ එයට අදාළ සෛලවලට ඇතිවන බලපෑම දැඩි වේ. මේ හේතුවෙන් මොළයේ රසායනික ක්‍රියාවලියට ඇතිවන බලපෑම ස්නායු සෛලවල සන්නිවේදනයට උදවු වන සෙරටොනීන් ශ්‍රාවයට බලපෑම් ඇති කරයි. එසේම ඊස්ට්‍රජන් හෝමෝනයටත් පිටියුටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයටත් එයින් වන බලපෑම වැනි හේතු නිසා මේ කාලය තුළ ඔබට හිසරදය වැඩියෙන් දැනෙන කාලයක් වනු ඇත.

ඡ්‍යොතිෂවේදියා යනු හුදෙක් කොටුවලට ග්‍රහයන් කොටු කළ විට ඇති වන දේ පිළිබඳ සිර වූ අදහසක් පළ කරන්නකු නොව වෛද්‍යවරයකු, මනෝ චිකිත්සකයකු මෙන්ම දාර්ශනිකයකු ලෙස කටයුතු කළ පැරැණි සමය නැවත ඇති කළ යුතුව ඇත්තේ ඉහත උපකල්පනයක් ලෙස ඉදිරිපත් කළා වැනි පලාපල ඉදිරියේදී පැවසීමට ඔවුන්ට ද හැකියාව ඇති නිසාය. අනාගතයේ ඇති වන තාක්ෂණික වෙනස සමඟ ගොඩ නැඟෙන පරපුර හා උරෙන් උර ගැටෙන සමාන්තර විෂය ඥානයන් පුරුදු පුහුණු කළ ඡ්‍යොතිෂවේදීන් එවන් විද්‍යාත්මක නැඹුරුවකින් පලාපල කීමට උත්සුක වන දවස වැඩි ඈතක නොවනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.