වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
එළඹෙන වෙසක් සමයේ පවිත්‍ර සිතිවිලි වඩමු
බක් මාසේ භාග්‍යවත් ලෙසින් ගෙවී ගියා. ඔබ අප එකමුතුව එකට එක් වී සහයෝගයෙන් සමානාත්මතාවෙන් බෙදාහදාගෙන කෑවා බිව්වා, ඔබට මතක ඇති අලුත් ඇඳුම් ඇඳල අලුත් වුණා. විවිධ ආකාරයේ අලුත් අලුත් දේ හුරු පුරුදු වුවද, එහෙත් අප සිතුවිලි අතින් සාර ධර්ම අතින් අලුත් වුණාද? සැක සහිතයි අප අතරේ කිසියම් තරගකාරී බවක් තිබුණා. වෙළඳ පළට ගියත් ඇඳුම් පැළඳුම් තේරුවත් තරග ක්‍රීඩා කළත් අප අතර තිබුණේ අමුතුම තරගයක්. සමහර විට කඹ අදින්නට ගිහින් වුණෙත් විරසකයක් ඒ කොයි හැටි වෙතත්.
එබඳු අතපසුවීම් අත් වැරදීම් එදිරිවාදිකම් වුණානම් ඉන් අත් මිදෙන්නත් එක්ක අපට ඊළඟට උදාවන්නේ පින්බර වෙසක් සමයයි. සිදුවුණ වැරදි නිවැරැදි කරගන්නත් එක්ක, එකා සැමටත් සැම එකාටත් කියලා සිතාගෙන එකට එක්ව වෙසක් කූඩු හදමු. වෙසක් තොරණ් සැරසිලි කරමු. දන්සැල් දීම නම් ටිකක් සීමාවේවි. එහෙත් අපට පුළුවන් නැති බැරි අය වෙනුවෙන් අසරණ අය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න. අපේ අම්ම තාත්තා වගේ වැඩිහිටි නිවාසවල ඉන්න මවුපියන්ට කෑම වේලක් දෙන්න ඇඳුමක් ලබා දෙන්න. ඒ අයගේ අඩුපාඩු වෙනුවෙන් සවියක් වෙන්න. එහෙමත් නැතිනම් ළමා නිවාසවල අපේම දරුවන් වගේ අසරණ වෙලා සිටින දූ පුතුනට කිසියම් රස අහරක්, ඇඳුමක්, පැළඳුමක් පොතක් පතක් ලබා දෙන්න. අපිට ඉදිරියේ එළඹෙන වෙසක් සමයේ සූදානම් වන්න පුළුවන් තවත් විටෙක පාරේ තොටේ අසරණව නිරාහාරව ගත කරන සිව්පාවකු, බල්ලකු, බළලකු වෙනුවෙන් පිහිට වන්නටද අපට පුළුවන් මිල මුදලක් වැය නොවී වචනෙන් ශ්‍රමයෙන් පවා අපල ඕනෑම තරම් කරන්න. පින් කම් තිබෙනවා. එවිට අපිට ඔය තැන තැන නිකරුණේ ගැවසීමට අවශ්‍ය වන්නේ නැහැ. අතීතයේ අපේ මුතුන් මිත්තන් පමණක් නොව අපි අපේ කුඩා කාලයේ පවා අනුගමනය කළ බෞද්ධ ප්‍රතිපදා අතර වැඩිහිටියන් නැමදීම, අසරණයින්ට පිහිටවීම, බණ භාවනා කිරීම, සිල් රැකීම වැනි බොහෝ දේ අප අතින් සිදුවූවා මතකයි. එහෙයින් එවන් හොඳ දේ අපි අපේ දරු පරපුරටද උරුමකර දෙමු. ඒවාට හුරු කරමු. එවිට දැන් පවතින තරඟකාරී බව එදිරිවාදීකම අනිසි ක්‍රියාකාරකම් දුසිරිත අසීලාචාර අදහස් උදහස් සිත් තුළින් පහව යාවි. අපට මිනිසුන් ලෙස ජීවත් වීමට වසර පුරා ඇති සංස්කෘතික උළෙලවල්, සංස්කෘතික අංශයක්, ආගමික උත්සව හොඳ ආභාෂයක් කර ගනිමු.