වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සොබාදම් දිනිතියගෙන් පාඩම් උගනිමු
පරිසරය අපිට විවිධ පාඩම් උගන්වයි. එහෙත් ඒ මොහොතට පමණක් අප ඒ පිළිබඳ පශ්චාත් තාපයට පත් වුවද සතියකින් දෙකකින් පසු ඒ සියල්ල අමතක කර දමයි. යළි සිටි තත්ත්වයටම පත්වේ. යටිකූට්ටු වැඩ කරයි. එදිරිවාදිකම් කරයි. කෙනෙකුගේ දියුණුවට බාධා කරයි. කේළාම් කියයි. කුමන්ත්‍රණ කරයි. ඒ හැම එකක්ම තමා තුළ තිබෙන දුර්වලකම යයි මට සිතෙයි.
කෝවිඩ් වසංගතය අද වර්තමානයේ අපට ඉගැන්වූ පාඩම අති මහත් ය. එකමුතුකමේ වටිනාකම කෙනෙකු පාගා කෙනෙකු ඉහළට යාමේ නුසුදුසුතාව ඒ පාඩම් අතර කීපයකි. කෙනෙකුගේ විපතකදී කෙනෙකුගේ ලෙඩකදී දුකකදී පිහිටට ඒම ඕනෑම ව්‍යසන අවස්ථාවකදී පිහිටට ඒම හා එහි වටිනාකම පිළිබඳ කෝවිඩ් අපට පමණක් නොව මුළු ලෝකයාටම දුන් ඔවදන ඉතා වැදගත් ය. ලෝකය ගැන සිතුවත් විවිධ නව සොයා ගැනීම් අනුව රටින් රට ආක්‍රමණ සඳහා තරගයක් පැවතුණත් අද ඒ සියල්ල නතරවී ගොසිනි. රටක බල ආධිපත්‍ය ගොඩනඟා ගැනීමට වෙර දැරූ බොහෝ බලවත් රටවල මිසයිල එහෙමත් නැතිනම් අවි ආයුධ සොයා ගන්නවා වෙනුවට මේ කොහේවත් නැති වෛරසයකින් මිදීමට සුදුසු එන්නතක් සොයා ගැනීමට අපොහොසත්ව සැවොම පඹගාලක පැටලී ඇත. ඒ කෙසේ නමුදු දියුණුව එය නොවේ. මිනිසුන් ලෙස ජනකොටස් දිවි ගෙවුවා නම් සැම එකාටත් එකා සැමටත් පොදු රීතියක ගමන් කළා නම් මේ ව්‍යසන අපට නොඑන්නට ඉඩ තිබුණි.
ලෝකය එසේ වෙද්දී අපිට අපේ රට ගැන ආඩම්බරයක් තිබේ. ඒ තවමත් අප ගමේ ගොඩේ මිනිසුන් තුළ තිබෙන ශික්ෂණය එකමුතුකම නිසා ය. අපට ඕනෑම ව්‍යසනයකදී ඉන් විය හැකි පාඩුව අවම කර ගැනීමට පුළුවන් වී තිබේ. ඒ අනුව දියුණු යයි කියන රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රය වේවා අනිකුත් සහන සේවා වේවා සුබ සාධන සේවා වන හැම එකකම පිරිස් අතරමං වී ඇත. බොහෝ දියුණු රටවල වෛද්‍ය අංශයේ ප්‍රධානීන් පවා හැඬු කඳුළින් තම සේවය ඉටු කිරීමට කටයුතු කරනු දක්නට ලැබේ. තවත් සමහරු තම අනගි සේවය තමාටම වදයක් වී සේවය හැර යනු දක්නට ලැබේ. ඒ ඒ රටවල අන්‍යෝන්‍ය සුහදත්වය අනෙකා පිළිබඳ තිබෙන හැඟීම අනුව වෙයි. එහෙත් අප රටේ රෝගීන්ට තිබෙන ගරු සැලකිල්ල නිසා එදා මෙදාතුර කෝවිඩ් වසංගතය තුළ හෝ වෙනත් කිසිදු වසංගතයක දී රෝගියා අතරමග දමා යන ගතිය කොහෙත්ම අප දුටුවේ නැත. ඒ නිසා ම රෝගීන් හමුවන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් රෝගීන් සුවවී නිවෙසට යනු දක්නට ලැබේ. එය වෛද්‍ය අංශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොවේ ආරක්ෂක අංශයේ ද අනෙකුත් ආපදා කළමනාකරණ හැම අංශයකින්ම වාගේ අප දුටු සිද්ධියකි. ඒ ඒ අංශ එසේ කළ ද අප රටවැසියන් ලෙස අතළොස්සක් දෙනෙකු මානව හිතවාදී බවෙන් තොරව කටයුතු කරනු පෙනේ. මේ තත්ත්වයෙන් නොමිදුණොත් අපට අනාගතයක් නොමැත. රට කරන්නත් රටක් ඉතිරිවිය යුතු නිසා රට ගැන ජනතාව ගැන සිතමු. එවිට අප අන් රටවල් සමඟ ගත්විට ඉතා අභිමානවත් පිරිසක් වෙසෙන රටක් වනු නොඅනුමානයි.