එකමුතුකම ගජමුතු යයි සිතමු

ජූලි 3, 2020

එකමුතුකම අද අවශ්‍යම වී තිබේ. අප රටට අද නැත්තේද එයයි. නමුත් අඩසිය වසකට පමණ පෙර ඒ එකමුතුකම ඕනෑවටත් වඩා තිබුණි. එකල ගමේ ගොඩේ මිනිසා කිසියම් උවදුරකදී කරදරයකදී එකිනෙකාට අත් උදව්වට උපකාරයට ආවේ නිරායාසයෙනි. පොල් අතු වහළක් සෙවිලි කිරීමකදී අවශ්‍ය උපකරණ සූදානම් කරගෙන ගෙහිමියා වහළයට නැඟ හූවක් කියූ සැනින් වටපිට පිරිමි දහදොළොස් දෙනා එක මිටට පැමිණ එම නිවසට පොල් අතු සෙවිලි කරදුන් අයුරු අපූර්ව සහගතය. තවත් විටෙක කෘෂි ආර්ථිකයෙන් පොහොසත්ව සිටි එදා ගොවියා සිය කුඹුරේ කටයුතු සිදු කිරීමට අසල්වාසී කුඹුරුකරුවන් යොදා ගත් අයුරු ද මනස්කාන්ත විය. ඒ අනුව එක යායට පිහිටි කුඹුරු යායේ මුල පටන් ගත් කෙනාට දෙවන තුන්වන කොටසේ ගොවියා පැමිණ අත් උදව් දී ඊළඟ කොටසේ ගොවියාට ඊටත් පසු කොටස අයත් ගොවියා ලෙසින් එකිනෙකා පිළිවෙලින් කොටසින් කොටස එකට එකතු වෙමින් කළ ඒ එකමුතුකමේ බල මහිමය නිසා අක්කර ගණන් කුඹුරු යායවල් ඒ කොන මේ කොණ නොපෙනෙන කුඹුරු යායවල් සැනින් අස්වැද්දූ ආකාරය කදිමය. මේ එකමුතුකමේ බල මහිමය නිසාවෙනි. එකල මුදල් අවශ්‍ය වූවේද නැත. ගවයින් හැට හැත්තෑව එකට ගොනුකර ඒ සතුන් ඇති කළ පිරිස කුඹුරු සඳහා සිය ගව සම්පතේ සවිබලය තවකෙකු වෙනුවෙන් පිරි නැමුවේ නොමිලයේ මය. එකා සැමටත් සැම එකාටත් එකසේ සේවය කළ මේ පිරිස කිසිම ආර්ථික බලාපොරොත්තුවකින් තොරව යුතුකමක් සේ සලකා ඒ යුතුකම ඉටු කරන්නට විනි. කුඹුරු සාන්නට ගොයම පාගන්නනට ට්‍රැක්ටර් වැනි යාන්ත්‍රික උපකරණ නොතිබුණු යුගයේ ඒ සෑම එකක්ම සිදු කළේ ගවයින් යොදා ගනිමිනි. ඒ නිසා ගව සම්පත එදා ගැමියාට නැතිවම බැරි දෙයක් විය. තම සේවය එදා තවෙකෙකු වෙනුවෙන් ඉටු කළේ මුදලටම නොව නොමිලේම වේ. එදා කුඹුරක් කරන ස්ථානයක් අසලින් යන ඕනෑම කෙනෙකුට කුඹුරේ සිදු කෙරෙන  ඇඹුල කනබොන අවස්ථාවකදී, අඬගසා ආහාර අනුබවයට දුන්නේ ලෙන්ගතුකමේ ප්‍රතිමූර්තය මොනවට හුවා දක්වමිනි. අද එසේ නොවේ. ඒ සෑම දෙයක්ම මුදලට ගැනීමට මුදලට පිරිනැමීමට සිදුව ඇති නිසා තරගකාරී ප්‍රවාහනයට කොටුව සෑම දෙනෙකුම යන්ත්‍ර බවට පත්වී තිබීම කණගාටුවට කරුණකි. කෙසේ නමුදු ඒ නිසා කුඹුර සෑම ගොයම් මැඩීම අස්වැන්න ගෙට ගෙන යාම දක්වා රුපියල් සත මුල්වන නිසා බොහෝ විට කුඹුරු කරණය පමණක් නොව එකිනෙකා අතර එකමුතුකමද අද බොහෝ දෙනෙකු තුළින් තුරන් වී ගොසිනි. 

තව විටෙක එදා ගමේ අසල්වැසියා සිය වත්තේ පලගත් කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් හෝ එළවළු ටිකක් කෙසෙල් කැනක් වේවා පලදාවෙන් කොටසක් අසල්වැසියාට දී කිසියම් දෙයක් හුවමාරු කර ගත්තේ නොමිලයේම ය. ඒ කටයුත්ත අද අප අතර කොහෙත්ම නැත. ඇත්තේ මුදල මත පදනම් වූ සමාජ රටාවකට කොටුව මුදල් සෙවීමටම ලුහුබැඳ දුවන කාර්යය බහුල පිරිසකි. ඒ නිසා අද මනුස්සකම නැත. එකමුතුකම නැත. සමානාත්මකම නැත. කොටින්ම කියනවා නම් අනුකම්පාව ආදරය, කරුණාව හදවත් තුළින් තුරන් වී ගොසිනි. ඒ නිසා එදා ගම මෙන් නොව අද ගම විවිධ උවදුරු අක්‍රමිකතා වලින් වෙලී ගොස්ය. දේශපාලනික වශයෙන් සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් ජාතිකමය වශයෙන් බෙදී ගොසිනි. මේ අහිමි වූ අපේකම යළි ගොඩ නගන්නට අද අපට යුතුකමක් ඉතිරිවී තිබේ. දේශපාලනික වශයෙන් ඈත් වූ අප අද යළි එකතුවීමකට යොමු කිරීමට අවස්ථාව උදා වී තිබේ. ඒ නිසා හරි දේ කුමක්ද නරක දේ කුමක්ද යන්න වටහාගෙන ඉදිරියට යාමයි. අද අපට කල්ලි කණ්ඩායම් වශයෙන් වෙන් වී නොසිට හරියයි කියා සිතෙන පාලන රටාවක් සැකසී තිබේ. එයට අනුගතව එයට සහයෝගිව කටයුතු කිරීම අපේ යුතුකම වී තිබේ. 

ඒ මහඟු අවස්ථාව අපතේ යාමට නොදී පිල් නොබෙදී රට සෘජු පිළිවෙතකට යොමුවී තිබෙන මේ මොහොතේ බුද්ධිමත්ව කටයුතු කරමු. මෙය අපට ලැබෙන අවසාන අවස්ථාවයි. එකමුතුකම ගජමුතු වන්නේද එවිටයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.