එදිරිවාදී සිත් දුරුකර ගනිමු

දෙසැම්බර් 6, 2019

අද මිනිසුන් අතර විවිධ මතභේද ඇතිවීම නිසා අදහස් උදහස් අතින් විවිධ පරස්පරතා මතු වී එකිනෙකා ඇනකොටා ගන්නා තත්ත්වයට පත් වී තිබේ. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දේශපාලනික වශයෙන් විවිධ වූ අදහස් උදහස් දරණ තත්ත්වයක් මත යයි කීම නිවැරැදි වෙයි. පසුගිය කාලයේ තිබූ ජනාධිපති මැතිවරණය ඉතා සාමකාමී එකක් වුවද, අතරින් පතර තැන තැන සිදුවූ පොඩි පොඩි සිදුවීම් වුවද ඒ අයුරින් සිදු නොවුනා නම් යහපත් යයි සිතෙන්නේ බුදු දහම වේවා වෙනයම් ඕනෑම ආගමක් වේවා එයින් ලබා දෙන සාමය සමගිය පිළිබඳ කරුණු කොතෙක් නම් සර්ව සාධාරණ දැයි සිතෙන නිසා ය. ලොකු ලොකු මිනිසුන් ජය පරාජය හමුවේ එකට අත්වැල් බැඳගෙන ගමන් කරන මොහොතක පුංචි පුංචි මිනිසුන් ගම් බිම් මට්ටමෙන් විරසක වන එක කොතරම් අනුවණ කටයුත්තක් දැයි සිතෙන්නේ ගමේකම නිසා පිහිටට එන අය අද ඒ තත්ත්වයෙන් මිදී සිටිනු දැකීම නිසා ය. බොහෝ විට ගමේ ගෙදරක මළගෙයක්, බණක්, පිරිතක්, දානමානයක් සිදු වෙද්දී, යුහුසුළුව අනාරාධිතව වුවද දිව එන පිරිස අද අඩු වී තිබීම කණගාටුවට කරුණකි. එදා විපතකදී කෙනෙකු දුව එන්නේ ඒ විපත මග හරවාගෙන එසේත් නැත්නම් ඒ දුක බෙදා හදා ගැනීමට වුවද අද එසේ නොවේ විපත දැක සතුටු වීමට දිව එන පිරිස් ද අප අතර නැතුවා නොවේ. තව විටක අප එදා ජීවත් වූ පරිසරය බොහෝ විට විවෘත ලෙස තිබූ නමුත් අද නිවස තැනූ කුඩා ඉඩම වුවද තාප්ප බැඳ ගේට්ටු දමා හුදෙකලා වී ජීවත් වීම ද මීට එක් හේතුවක් වී ඇත. එදා නිවසට යන එන පිරිස අද අඩු වීම නිසා එකමුතුකම සහයෝගිතාව සමානාත්මතාව සිත් තුළින් ගිලිහී ගොසිනි. ඒ නිසාම අද එකිනෙකා තුළ තිබූ ආදරය කරුණාව ද ගිලිහී ගොසිනි. කිසියම් විටෙක නිවසේ කෙනෙකු මියගිය විට එදා පිරිස් දින හතක් තිස්සේ නිදිවරාගෙන කෑම බීම ටික පිළියෙල කරගෙන තනියට රැඳෙන අවස්ථා බොහෝ විය. අද එසේ නොවී ආ සැනින් පිටව යන පිරිස බොරු අවිවේකයක් ගෙන හැර පාමින් යුතුකමින් පලායන අවස්ථාවන් දක්නට ලැබේ. බොහෝ විට වර්තමානයේ මළ ගෙයක් සිදු වූ තැන දින හතට නිදි වරන්නේ කාඩ්කුට්ටම සූදුවක් කර ගත් පිරිස මිස අන් කිසිවකු නොවේ. එසේ කාඩ්කුට්ටම සූදුවක් කරගත් පිරිස එතන තිබෙන නිදහස බුක්ති විඳීමට පැමිණ බොහෝවිට මළ ගෙයි කටයුතු අවසන්ව හත්දින දානය දුන් පසුත් රැඳී සිටීම නිසා නිවැසියන්ට ඒ අය පළවා හැරීමට අඬදබර කිරීමට සිදුවන අවස්ථාද අපට අසන්නට දකින්නට තිබේ. ඒ තත්ත්වය උදාවී තිබෙන්නේ මිනිසුන් තුළ තිබෙන දුර්ගුණය නිසාම මිස ඒ පිහිටට ආවේ යහපත් ගුණයක් නිසා නොවන බව තරයේම ඔබට කියමි. මුදල මත තීන්දු වූ සමාජ රටාවකදී එය එසේ සිදුවනු වළකාලිය නොහැක. සතෙක් සිව්පාවෙක් වුව මහමග අනතුරකට පත්වී සිටිනු දුටු විට එදා මිනිසා මොන ගැටලු ආවත් ඒ අය පිළිබඳ අනුකම්පා සහගතව කටයුතු කොට ඒ අයට ප්‍රතිකාර කර ජීවිතය මුදා ගත්තද අද කෙනෙකු මහමඟ අනතුරක වැටී සිටින විට සමහර විට රෝහලට ගෙන ගියානම් ජීවිතය බේරා ගැනීමට ඉඩකඩ තිබියදීත් ඔහු වටාම රෝක් වී ඔහු හෝ ඇය මිය යනතුරුව සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගනු දැක ගන්නට පුළුවන.

මේ අවගුණය අප තරයේ හෙළා දකිමු. ඒ නොහැදියාව ප්‍රතික්ෂේප කරමු. හොඳ ගුණවත් නැණවත් පිරිසක් තැනීමට උත්සාහ ගනිමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.