එදා කතුවරුන්ගේ මෙහෙය අගයමු

ඔක්තෝබර් 18, 2019

කිසියම් දෙයක රඳාපැවැත්ම සිදු වන්නේ එහි ආරම්භය සුබ වුවහොත් පමණි. සිතිවිල්ල, අරමුණ සද්භාවයෙන් සිදු වෙතොත් එය සදාකාලික අමරණීය සිහිවටනයක්ම වනු ඇත. කිසියම් පැළයක් මහ පොළොව මත රෝපණයෙහිලා එය නිසි කලට නිසි කලාවට සිදු වෙතොත් යහපත්ම වනු ඇත. නිවසක් තැනීමේ දී ඔබ දමන පාදම හෙවත් අත්තිවාරම එසේත් නැතිනම් අඩිතාලම සවිමත් වූ තරමින් ඒ මත ඉදිවන මාලිගයද සදාකාලික අලංකාර දර්ශනීය නිමවුමක් ද වනු ඇත. මේ සියලු දේටම සුබ නැකත මුල්වෙයි. ඡ්‍යොතිෂ පුවත්පතක අඩුව දැනුණ හැටේ දශකයේ එක් දිනෙක කෘතහස්ත ලේඛකයෙකු වූ පියසේන නිශ්ශංක මහතා හා තවත් කීප දෙනෙකුගේ අදහස අනුව සුබසෙත මුල් වරට 1969 මැයි 28 වන දින පාඨක ඔබ අතට පත් වන්නට යෙදුණි. එතැන් පටන් නොකඩවා අඩ සිය වසද පසු කරමින් මේ වන විට සුබසෙත පැමිණ ඇති මග ඉතා සතුටුදායක ය.

ඒ සා විශාල දිගු කාලයක් පුවත් පතක් තබා වෙන කිසිම දෙයක් නොනවත්වා පවත්වාගෙන යාම නොහැකි වී ඇතත්, ආර්ථිකමය වාසි නොතකා සමාජ සත්කාරයක් ලෙස එදා මෙදාතුර පැමිණි දිගු ගමන විවිධ දුෂ්කරතාවලට මුහුණ නොදුන්නාම නොවේ. එහෙත් කලින් කලට ඒ සියලු

දුෂ්කරතාවන් උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් කතු ධූරයට උරදී කටයුතු කළ අය බොහෝ වෙති. ඉන් සමහරෙක් අද ජීවතුන් අතර නොසිටියත් සිටිනා අතළොස්සක් දෙනා හෝ කෘතගුණ පූර්වකව සිහිපත් කිරීම අපගේ යුතුකම වෙයි. මිය පරලොව ගිය අයට නිවන් සුව අත්වේවායි පැතුමද අප මෙහිදී කෙලෙහිගුණ පූර්වකව ප්‍රාර්ථනා කළයුතු වෙයි. පුවත්පතක් සම්පාදනය කිරීම සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. කතු මඬුල්ල හැරුණු විට ඒ හා සමගාමීව යන තාක්ෂණික අංශවල පිරිස් බොහෝ දෙනෙකු සිය කාලය, ශ්‍රමය, ධනය කැප කළ බව මෙහිදී ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

කිසිවකුට දැනුම දීම තරම් පුණ්‍ය කර්මයක් වෙනත් නොමැති තරම් වන මෙම පුවත්පත් කලාව කලින් කලට වෙනස්වන ස්වරූපයෙන් පවත්වාගෙන යාමට වගකිව යුත්තන්ගේ අරමුණ විය යුතු අතර එදා කිසිම තාක්ෂණික අංගෝපාංග නොතිබුණ කලට වඩා විචිත්‍රත්වයෙන් පුවත්පත වර්තමාන පාඨකයාට ගෙන ඒමට අපට හැකි වී තිබීම ඉතාමත් සතුටින් ප්‍රකාශ කළ යුතුව ඇත. එදා මෙදාතුර මේ මාහැඟි කර්තව්‍යයට උරදුන් අය අපි නැවත වතාවත් කෘතගුණ පූර්වකව ද මිය පරලොව ගිය අය වෙත අමාමහ නිවන්සුව ප්‍රාර්ථනා කිරීමද අපගේ ඒකායන යුතුකම ලෙස අපි සලකමු.

(සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.