වාහනයට සතකු යට වුණොත්!

ජනවාරි 17, 2025

වාහනයක් ඇති තැනැත්තා ද රියදුරාද වාහනය ඉතා ආදරයෙන් සැලකිල්ලෙන් භාවිත කිරීම සිරිතය. ඔවුහු වාහනයට ආදරය ඇත්තෝය. වාහනයට යම් යම් සතුන් යටවිය හැකි අතර ඒ හසුවන සතා අනුව වාහනයට, වාහනය හිමිකරුට, වාහනයේ රියදුරුට, වාහන හිමිකරුගේ හා රියදුරුගේ පවුලේ අයට ආදි වශයෙන් විවිධ විපත් ප්‍රතිඵල උදා කරයි. මේ නිසා වාහන රියදුරු සතෙකු සිය වාහනයට හසු නොවීමට වග බලා ගනියි.

බළලෙකු වාහනයට හසුවීම ඉතා බිහිසුණු ප්‍රතිඵල ගෙන දෙන බව විශ්වාසයයි. මා පාසල් වයසේ මහමඟක යන කල වාහනයට බළලෙකු යට වූ අතර රියදුරු මහතා මහත් කනගාටුවෙන් රථයේ සුක්කානම මත හිස තබාගෙන බොහෝ වේලාවක් සිටි ඇයුරු මතකය. ඔහු එදින බස්රථ ගමනාන්තයට ගොස් දින කිහිපයක් නිවාඩු ලබාගෙන ඇත. එසේ බළලෙකු යටවූ අවස්ථාවක වෑන් රියේ බොනට්ටුවේ ගසා බිත්තරයක් බිඳලූ අවස්ථාවක්ද මතකයට රැඳී ඇත. බොනට්ටුවේ හෝ රෝදයට ගසා බිත්තරයක් බිදීම සිදුවිය හැකි අපල දුරුකර ගැනීමට කරන කෙම් ක්‍රමයකි. බළලෙකු යටවීම ඉතා අසුභ සේ සලකන්නේ එය එක්කෝ වාහනයේ විනාශය සිදුකරයි, නො එසේ නම් රියදුරුගේ මරණය ළඟා කරයි යන මතය නිසාය. එහෙයින් හැකිතාක් බළලුන් වාහනයට යටවීම වළක්වා ගැනීමට සියලුම රියදුරෝ උත්සාහ ගනිති.

වාහනයට කුකුළෙකු හසුවීමටද හැකිය. එයද භයානක නිමිත්තකි. මේ සම්බන්ධයෙන් ඇති මතය වන්නේ වාහනය හිමිකරුට මෙන්ම රියදුරුටද විශාල වියදමක් දැරීමේ තත්ත්වයක් උද්ගත වන බවයි. එසේ ධන හානියක් මෙන්ම බොහෝ විට ඔවුන්ගේ පවුල්වලට ද විවිධ ලෙසින් අපල කාලයක් උදාකරලීමක් ලෙස එය හඳුන්වයි.

වාහනයක් ගමන් ගන්නා විට බල්ලෙකු යටවීම ද එබඳු අයහපත් ප්‍රතිඵල උදාකරලයි. නොසිතු ලෙස වාහන අනතුරු සිදුවී මහත් අපහසුතාවකට නීති ප්‍රකාර දඬුවම් ලැබීමට, ජන සමාජයේ නින්දා අපහාසයට රියදුරු ලක්වනු ඇත. මේ නිසා බල්ලන් වාහනයට යටවීම වළක්වා ගැනීමට උත්සුක වෙයි.

බලු, බළල් ආදී සතුන් වාහනයට හසුවීම සාමාන්‍යයෙන් දක්නට ඇති අතර ඇතැම්විට පක්ෂීන්ද වාහනයට යට විය හැකිය.

ඔබ ගමන් ගන්නා වාහනයට මයිනන්, ගිරවුන් වැනි පක්ෂීන් හසුවිය හැකිය. එබඳු දේ සිදුවූ කල වාහන හිමිකරුගේ, රියදුරුගේ පවුල්වල අඬදබර ඇතිවනු ඇත. මයිනන් වැනි පක්ෂීන් වාහනයට හසුවීම අඹුසැමි භේද, පවුල් ආරවුල් උදාකරළීමේ නිමිත්තකි.

ඇතැම් විට වාහනයට කපුටන් අසුවී සිටිනු දැකිය හැකිය. කපුටෙකු එසේ වාහනයකට යටවීම ඉතා අසුබය. විශේෂයෙන් වාහනය හිමිකරුට විපත් උදා කරයි. අනේක විධ කරදර කාලයක් උදාවෙයි.

එසේම සාවුන්, මීමින්නන් වැනි අහිංසක සතුන් වාහනයට යට විය හැකිය. එහි දී වඩාත් බිහිසුණු විපත් වාහනයේ රියදුරු තැනට සිදුවේ.

වාහනයට නාගයකු යට වී නම් එය වාහන හිමිකරුට, රියදුරුට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයට විනාශකාරි ප්‍රතිඵල උදා කරවන්නේය.

වාහනයට සිකනලෙක් යටවීම ද අයහපත් ප්‍රතිඵල උදා කරයි. වාහනය අයිතිකරුවන් හෝ රියදුරුගේ පවුලේ අයෙකුට විපත්තියක් උදාවීම අනිවාර්යය.

වාහනයට සතුන් යටවීම වළක්වා ගන්නට උත්සුක කරන වාහන හිමියෝ, රියදුරෝ වාහනය පිටුපස සතකුගේ අනුරුවක් සකසා ගෙන යයි.

වාහනයේ බොනට්ටුවේ දෙහි ගෙඩි කිහිපයක් එක දිගට වැළක් සේ එල්ලා තබයි.

ගමන ආරම්භ කිරීමට පෙර දෙහි ගෙඩියක් ඉදිරිපස රෝදයට යට කොට ගමන් අරඹයි.

එසේම වාහනයක් මිලදී ගැනීමේදී තමන්ගේ නම අනුව ලැබෙන දෛව අංකය හා වාහනයේ සියලුම අංකවල අවසන එකතුව වන අංකය හා ගැළපේ දැයි බලන්නෝ ද වෙති. එබඳු විට සුබඵල ගෙන දෙන හෙයිනි.

වාහනයේ සියලු අංකවල එකතුව තම අංකයට ගත්කල 13 වේ නම් ( දහ තුන) දහතුන අසුබ අංකයක් සේ සලකා එම අංකය සහිත වාහනය මිලදී ගැනීමට ඇතැමුන් අකැමැතිය.

වාහනයක් මිලදී ගන්නාවිට වාහනයේ යතුර ගන්නාවිට ශුභ මොහොතින් කිරීමට වාහන මිලදී ගන්නන් අදහස් කරයි. පළමුව විහාරස්ථානයට ගොස් වැඳ පුදා දේව පූජා පවත්වන්නේ වාහනයේ ආරක්ෂාව තම තමන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමිනි. වාහනය පැදවීමට පෙර තෙවරක් සුක්කානමට වැඳ කටයුතු ආරම්භ කිරීම සිරිතය.

වාහනයක් මිලට ගත් තැනැත්තා එය තමාගේ දරුවකු මෙන් ආරක්ෂා කර ගැනීමට උත්සුක වෙයි. වාහනයේ රියදුරු මහතා ද තමා පදවන වාහනය තමන්ගේ ලෙසින් ප්‍රවේසමෙන් ආරක්ෂාවීමට ධාවනය කිරීමට උත්සුක වන්නේය.

සත්තකින්ම වාහනයක් පදවන විට අවශ්‍ය වන්නේ යහපත් සිහියයි. අනතුරු වළක්වා ගැනීමේ පළමු සාධකය ද එයයි. එසේ සිහි බුද්ධියෙන් වාහන පදවන විට අනතුරු සිදුවීමේ අවදානම අඩුවෙයි. එවිට සතුන් වාහනයට අසුවීමේ ප්‍රවණතාවද ඉතා අඩුය.

වාහනයක් යම් යම් පාරවල්වල පැදවිය යුතු උපරිම වේගයක් තිබේ. ඒ වේගය පවත්වා ගන්නේ නම් ද අනතුරු සිදුවීමේ අවස්ථා අවම වේ. මේ සතුන් වාහනවලට යට වන්නේ අහම්බෙනි. ඉතාම පරෙස්සමින් වාහනයක් එළවන රියැදුරකුට ජීවිත කාලය පුරාම මෙවැනි අවාසනාවන්ත අවස්ථාවලට මුහුණ දීමට සිදු නොවීමට පවා පුළුවන. එබැවින් මෙවැනි දේ පවසා ඇත්තේ වාහන රියැදුරන්ගේම පරෙස්සම තකා බව අවබෝධ කරගැනීම සුබය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.