සුබසෙත සුවසෙත

නොවැම්බර් 29, 2024

ප්‍රෙමිලා රුද්‍රිගු - පොතුහැර

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

මගේ සිවුවැනි දරුවාගේ වයස අවුරුදු දාහතකි. පිරිමි දරුවෙකි. දරුවා සුදුමැළි වී ඇති බව පෙනෙනවා. සමහර දිනවල දරුවා හුස්ම ගන්නේ අමාරුවෙන් බවත් පෙනෙනවා. සමහර වේලාවට විදුරුමස්වලින් ලේ මතුවී ඇති බවත් පේනවා. කට වනවෙලා කියලා මිරිස් දාපු ව්‍යංජන කිසිවක් කන්නෙත් නැහැ. වෛද්‍යතුමනි දරුවාට පවතින රෝගවලින් බේරාගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

පවතින රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර ලබාදීමට නම් දරුවා ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්වා පරික්ෂා කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබා දෙයි. ඇඟ සුදු මැළි වීමත් හුස්ම ගැනීමට අපහසුවීමත් වෙනත් රෝගයක ලකුණු විය හැකියි. පූර්ණ රුධිර පරීක්ෂණයක් කළ යුතුය. ඒ අනුව ප්‍රතිකාර ලබා දීමෙන් රෝගය සුව කළ හැකිය.

 

පී.ඒ. නිමල්කා - නාවින්න

ප්‍රශ්නය

වෛද්‍යාචාර්යතුමනි, වයස අවුරුදු දහසයක්වන මගේ දියණියට සතිදෙකක පමණ සිට නින්දට යන විට තද කැස්සක් ඇතිවෙනවා. උදේට නාසයෙන් සොටුදියර ගලනවා. කෑම කන්න පි‍්‍රයක් නැතිලු. තෙල් කෑම කෑමටයි ආසා කරන්නේ. තොලකටත් වියළෙනවා. හතියක් වගේ තියෙන අතර පපුවේ ගැස්මකුත් පවතිනවා. සමහර වෙලාවට තදට පපුව උස්පහත් වෙනවා. කටින් විසිල් පිඹිනවා වගේ ශබ්දයකුත් එනවා. තදට කේන්තියත් යනවා. සමහර වෙලාවට ගෙදර අය නුරුස්සන තත්ත්වයකුත් පවතිනවා. මේ රෝගී තත්ත්වයට කළ යුතු ප්‍රතිකාරයක් ගැන සඳහන් කරන්න.

 

පිළිතුර

ලබාදී ඇති රෝග තත්ත්වය අනුව වැළදී ඇත්තේ ඇදුම රෝගයයි. ඇදුම රෝගයට ප්‍රතිකාර කර සුව කළ හැක්කේ ආයුර්වේද වෛද්‍යක්‍රමයේ බෙහෙත්වලිනුයි. එබැවින් රෝගියා ආයුර්වේද වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දෙන්න. අච්චාරු, මුරුංගා, අඹ, තක්කාලි, දෙල්, ඇඹරැල්ලා, බැදුම් ජාති, අන්නාසි, රඹුටන්, දූරියන් වැනි උෂ්ණාධික ආහාර නොදිය යුතුය.

 

පී.ධනවතී - බෙන්ගමුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

මගේ මවගේ වයස අවුරුදු පනස් තුනයි. ගෙදරට වී කිසිදු වැඩක් පලක් නොකර ඉන්නා ඇය නින්දෙන් අවදිවූ විට කකුල් දෙකම රිදෙනවා. ඇදෙන් බහින්නත් බෑ. දණිස් රිදෙනවා කියමින් ඇදේම ඉන්නයි බලන්නේ. ඇය ඉස්සර පොල්ළෙලි තැලීම ලණු ඇඹරීම වගේ දේවල නිරත වුණා. පොල්ලෙලි ඇලට ගමන් කළේ පයින්මයි. මේ තත්ත්වයට සුදුසු පිළියමක් කියන්න.

 

පිළිතුරු

මේ රෝගී තත්ත්වය වයස්ගත වූවන්ට බෙහෙවින් ඇතිවේ. ශරීරයට අහිතකර ආහාරපාන ගැනීම නිසා ඇතිවන මේ රෝගී තත්ත්වයේදී හිසේ වේදනාව ඇතිවන අතර සන්ධිවේදනාව, සන්ධි ඉදිමුම ද පවතින අතර අධික වේදනා තත්ත්වයක්ද වරින්වර ඇතිවේ. මේ තත්වය ඇතිවීමට හේතුවන කරුණු අතර අධික මාංස අනුභවයද තරබාරුකමද හේතුවකි. පෝෂ්‍යදායි සැහැල්ලු ආහාර ලබාගැනීම විශේෂ වේ. කෙසේ වෙතත් පවතින වයස අනුව ආයුර්වේද වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර ගැනීම සඳහා සියලු රෝග තත්ත්වයන් පවසා ප්‍රතිකාරවලට යොමුවීම සුදුසුය. එතෙක් දණහිස් වේදනාව ඇතිවූ විට මද රස්නය ඇති උණුවතුර කෝප්පයක් ගෙන ලුණු ස්වල්පයක් දමා දියකර දණහිස තවා තෙත මාත්තු කර හන්දිතෙල් ටිකක් ගෙන කකුලේ පහත සිට දණහිස දක්වා ගාමින් හොඳට අතගාන්න. කෑමෙන් බීමෙන් ප්‍රවේසම් විය යුතුය. අඹ, අන්නාසි, අචචාරු, විනාකිරි යෙදු අහාර නොගත යුතුය. බටු, මෑකරල් , බණ්ඩක්කාර, නිවිති, පිපිඤ්ඤා, එළකිරි ආදී ආහාරපාන ද ගැනීමෙන් වැළකී සිටිය යුතුය.

 

ලක්ෂිකා පියුමාලි - රත්තොට

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මගේ සය හැවිරිදි පාසල් යන පිරිමි දරුවා දැන් සතියක පමණ කාලයක සිට උදේට කිවිසුම් යවනවා. ඒ වගේම නාසයෙන් දියරවගේ සොටුත් වැක්කරෙනවා. එමෙන්ම දරුවා කියනවා එයට ගඳක් සුවඳක් දැනෙන්නෙත් නැතිලු, නිතරම බලන්නේ හාන්සිවී සිටීමටයි. ඔළුව බර බව කියනවා. ඇස් දෙක කසනවා කෑමටත්, පි‍්‍රයක් නැහැ. මෙයට කළයුතු ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

පිළිතුර

ඔබේ දරුවාට වැළදී ඇත්තේ පීනසයි. පීනස් රෝගයට ප්‍රතිකාර ලබාදීමේදී රෝගියා සමඟ කතාකර රෝගය ගැන දැන ප්‍රතිකාර ලබාදෙන්නේ එයට හේතුව පීනස් රෝගයේ ප්‍රභේද පහක් තිබීමයි. මොන ප්‍රභේදයද යනුවෙන් සොයා බලලයි ප්‍රතිකාර ලබා දිය යුතුවන්නේ. ඒ ආයුර්වේද වෛද්‍යවරයකුගෙනි.

 

ශාන්ත - කොක්මාදුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

තිස් අට හැවිරිදි මා කොහුමෝලක වැඩකරන කම්කරුවෙකි. එහි වසර දෙකක සිට රැකියාව කරයි. නමුත් දැනට සති දෙකක පමණ සිට උදේට නින්දෙන් නැගිටින විට මගේ ඔළුව රිදෙනවා. රිදීම අඩු වෙන්නේ වේදනා නාශක පෙති ගත්තාමයි. සමහරදාට ඇස්වලින් කඳුළුත් එනවා. වෙනදාට නැති තද කේන්ති ගතියකුත් තියෙනවා. වෙනදාට දහවල් එක දෙක වන කොට දවාලට කනවා දැන් බත් කන්නත් පි‍්‍රයක් නැහැ. මේ රෝගී තත්ත්වයෙන් සුවය ලබන්න ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

ඉරුවාරදයටත් ඔබ සඳහන් කළ රෝග ලක්ෂණ පවතිනවා. කොහු මෝලක වැඩ කරන විට ඔබ නොදකිනමුත් කොහුබත්වල කුඩු ආශ්වාස ප්‍රශ්වාස විය හැකියි. එය ඇස්වලට මෙන්ම සිරුරටත් අහිතකරයි. නාසය දෙපැත්ත වේදනා ගෙන දෙයි. කොහුමෝළේ වැඩකරන කාලය තුළදීමත් මුඛවාඩමක් (මාස්ක් එකක්) දමාගන්න අබ, එන්සහල්, වියළිකහ, වදකහ, සූදුරු, කොත්තමල්ලි, කුරුඳු පොතු හා කළුදුරු එක පමණට ගෙන ඉන් ටික ටික ගෙන පාන්තිරවල ඔතා ගිනි අවුලවා නිවා දුම නාසයට උරන්න. නාසය දන්න ගන්නවා නම් දුම ඉරීම නවත්වන්න. රෝගී තත්ත්වයට තවදුරටත් ප්‍රතිකාර ගත යුතු බැවින් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්න.

 

සෙල්වන් - බොරැල්ල

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

මා පණස්තුන් හැවිරිදි ඇවිදයමින් ලොතරැයිපත් අලෙවි කරණු ලබන අයෙකි. දැනට දින කීපයක සිට මගේ විලුඹ දෙකෙන් තද වේදනාවක් දැනෙනවා. මම පාවිච්චි කරන රබර් සෙරෙප්පු දෙකේ විලුඹ කෙළවර වදින හරිය ටිකක් ගෙවිලයි තියෙන්නේ. අලුතෙන් සෙරෙප්පු දෙකක් ගත්තත් එය මෙතෙක් පාවිච්චි කළේ නැහැ. සමහරදාට කකුල්වල ඇඟිලි පමණක් හිරිවැටෙනවා. මේ විලුඹේ හිරිවැටීම සුවකර ගැනීමට ප්‍රතිකාරකයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

 

පිළිතුර

මේ තත්ත්වයට මූළික හේතුව වන්නේ සෙරෙප්පු පාදයට සරිලනසේ සමව නොපැළදීමයි. ගෙවනු කඩතොලු වූ සෙරෙප්පු සපත්තු දෙපයේ දාගෙන යෑම වැඩිවෙලාවක් සිටගෙන සිටීම හා ඇවිද ගෙන යාමත් අබලන් වූ ගල්මතුවී ඇති මාර්ගවල ඇවිදීමත් විලුඹට වේදනාකාරී වේ. ශරීරයේ බර කෙලින්ම ඇතිවෙන්නේ විලුඹටයි. මේනිසා සන්ධිගත රෝගද ඇතිවේ. ආහාරගන්නා විට තෙල් සහිත ආහාර කෑම අඩු කළ යුතුය. කෑමෙන් ප්‍රවේසම් වීමෙන් විලුඹේ වේදනාවද අඩුකර ගත හැකිය.

ප්‍රතිකාරයක් නියම කළ හැක්කේ විලුඹ පරික්ෂා කිරීමෙනි එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්න.

 

යූ.ලක්ෂානි - කහතුඩුව

ප්‍රශ්නය

වෛද්‍යතුමනි,

මගේ වයස අවුරුදු විසිහයයි. සාමාන්‍ය පෙනුමක් හා උසට සරිලන බරකින් යුත් මා පුදුමාකාර හිත් වේදනාවකට පත්ව සිටිති. ඒ මගේ අත්රැළි වැටුණු ගතියකින් පැවතීම නිසයි. වැලමිටෙන් මෙහා දිගටම රැලිගතියක් මතුවෙලා. ඒ තත්ත්වය මුහුණවත් බෙල්ලේ වත් නැහැ. කරුණාකර මට මෙය සුවකර ගැනීමට ප්‍රතිකාරයක් ලබා දෙන්න.

 

පිළිතුර

පෝෂ්‍යදායි ආහාර නොගන්නා විට සම රැළි වැටෙනවා. අධික ලෙස හිරුඑළියට නිරාවරණය වීම නිසාත් සම රැළි වැටෙනවා. සීනි අධික ආහාර වැඩියෙන් ගැනීමත් සම රැලි වැටීමට හේතුවක් කොළ පැහැති අළුත් එළවළු හා පළා වර්ග ආහාරයට ගත යුතුයි. විටමින් වර්ග ඛනිජ ලවණ, සමේ පෝෂණයට අවශ්‍යම වේ. දිනපතා ගුණාත්මක සමබල ආහාරයක් ගත යුතු අතර එළවළු පළා වර්ග ද ගත යුතුය. තවද සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබාගන්න.ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.