නොවැම්බර් 29 දෙසැම්බර් 05 අතර උපන් ඔබ...

නොවැම්බර් 29, 2024

නොවැම්බර් 29

(පෞද්ගලික අංකය 2)

ඉතා ශාන්ත ස්වභාවයක් තමයි මෙදින උපන් ඔයාගේ මුහුණින් හා ඉරියව් වලින් කියාපාන්නේ. ඒ වගේම සඳු හා කුජ යන ග්‍රහ බලපෑම් විසින් තමයි ඔයාගේ පෞද්ගලික අංකය නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තෙන්ම අර කියපු ඉතා විනීත ගතිගුණ සියල්ලම සැම විටම ඔයාගෙන් නිරූපණය කෙරන්නේ නෑ. ඔයාගේ සමීපතමයන් තේරුම් ගන්නේ ඔයා ඒ අයව රවටන ගති කෙනෙක් කියලයි. විරුද්ධවාදීන්ගේ දුර්වලතා හොඳීන් සමීපව නිරීක්‍ෂණය කර ඒ අයව වසඟයට ගෙන මෙල්ල කරන එක තමයි ඔයාගේ ක්‍රමවේදයත්. මොනදේ වුණත් අන් අය මත විශ්වාස තියලා කිසිම දෙයක් සැලසුම් කරන්න යන්න එපා. බලාපොරොත්තු කඩවීම්වලට ඉඩ වැඩී. එහෙම වුණොත්, ඔයාට ආයේ කාලයක් පොළවේ පයගහලා නැගිටින්න බැරි තත්වයක් උදාවේවි. මෙදින උපන් කාන්තාවන් පුරුෂ පාර්ශ්වයට වඩා දුක්ඛිත ජීවිත ගත කරන බවත් සුවිශේෂි කරුණක්. මුලින්ම තමන්ගේ ආදරණීය බව සඟවලා සැඟවුණු කලා කුසලතා වගේ දේවල් ඔප් නංවා ගන්න බලන්න. අධිකව කාර්යය බහුල වීම නිසා හිසරදය, අධික රුධිර පීඩනය වැනි ආබාධ වලට මුහුණ දෙන්න පුළුවන්. ගාමිණී හත්තොටුවේගම (1939) කියන්නේ හිටපු ප්‍රවීණ නාට්‍යවේදියකු වගේම ඔයාගේ උපන් දින ලක්ෂණ පෙන්වන්නෙක්.

නොවැම්බර් 30

(පෞද්ගලික අංකය 3)

තියුණු ඉව ශක්තියක් වගේම සූක්‍ෂම බුද්ධියක් මෙදින උපන් ඔබ සතුයි. ඔබේ පුද්ගලික අංකය තුළ ගුරුගේ බලයත් හොඳීන් බලාත්මක වෙනවා. දක්ෂ රහස් පරීක්ෂකයන් බිහි කිරීමට මේ උපන් දිනය වඩාත් සුබදායි වනවා. ඒ වගේම තමයි ඔයාගේ උපන් දිනයේ අංක සතු මහා බලපරාක්‍රමයත්. මාසයත් ගුරුගේ පෞද්ගලික අංකයත් ගුරුගේ වෙනවා කියන්නේ ලේසි පහසු බලයක් නෙවෙයිනේ? තමන්ටම ආවේණික ගමන් මඟක් ඔස්සේ ගමන් කර තම ජීවන වෘත්තීය සොයා ගන්න මේ අය සමත් වෙනවා. මහත් කැපවීමකින් යුතුව ආර්ථික කටයුතුවල නිරත වීමෙන් මහත් ප්‍රතිලාභ හිමි කරගත හැකියි. කුමන පරිසරයක ජීවත් වුවත් ඔබ පසුපස නායකත්වය ලුහුබැඳ එන්නේ කාන්දම වගේ. වගකීම් දැරීම, ආගමික හා ගුප්ත විද්‍යාත්මක අංශයටත් ඔබේ නැඹුරුව කැපී පේනවා. කලා රසඥතාවයෙන් අනූන චරිතයක් තමයි ඔයා තුළ ජීවත් කරවන්නේ. මේ නිසාම තමා සතු සියලු ශක්තීන් ජීවිත කාලය තුළදී උරගා බලා තමයි ඔයා අස්වැසුම් ලබන්නෙත්. උත්සාහයෙන් ළඟා කර ගන්නා ධනය-බලය වැනි බොහෝ දේ අවුරුදු 50 න් පස්සේ අහිමි වන ස්වභාවයක් දෛවෝපගත ලෙස බලපවත්වනවා. අනාගතය වෙනුවෙන් යම් ඉතිරියක් හෝ ආයෝජනයක් සිදුකර ගැනීමට හිත යෙදවීම අනිවාර්යය වෙනවා. අවුරුදු 60 වෙද්දී ඔයාගේ ස්නායූ ශක්තිය හා කශේරුකා පද්ධතිය දුර්වල වීමේ අවදානමක්ද පවතිනවා. භාරතීය ප්‍රවීණ රංගන ශිල්පී එම්. ශෂීකුමාර් මහත්තයාත් මෙදින උපන් දිනයක සමරනවා.

දෙසැම්බර් 1

(පෞද්ගලික අංකය 1)

ඔබ බොහෝ දයාබර බැබළෙන දිවියකට හිමිකම් ඇති අයෙක්. අන්‍යයන් ඇසුරට ඉතා ප්‍රිය ගුණගරුක චරිතයක් ලෙස ඔයාව හඳුන්වලා දෙන්න පුළුවන්. ඔයා ඉස්තරම් ම විදිහට කාලා, බීලා, ඇඳලා රජෙක් වගේ ජීවත් වෙන්න කැමතියි. ඒ නිසා සැබෑ වත්කම් ඉක්මවූ රාජකීය ස්වභාවයක් ඔයා කෙරෙන් කැපී පේන්නේ. වරදට දැඩි දඬුවම් දෙනවා විතරක් නෙවෙයි අසරණයන්ට අනුකම්පා කරන්නත් ඔයා පැකිළෙන්නේ නෑ. ඔයා කිසිම දවසක අන් මතයකට ඉඩක් දෙන්න තම මතයට තිතක් තියන කෙනෙක් නෙවෙයි නේද? ආර්ථික වශයෙන් යහපත්. ඕනෑම මොහොතක අවදානම් ගැනීමට කිසිදු බියක් පිළිඹිබු කරන්නේ නැත. මේ නිසා යම් හෙයකින් සූදුවට යොමුවුවහොත් කෙතරම් විශාල පාඩු සිදු වුවත් නිහඬව විඳ දරා ගන්නවා ඇත. ඔයාගේ සර්ව සුබවාදී සිතුවිලි නිසා නිරතුරු ප්‍රීති ප්‍රමෝදයෙන් ගත කරන බවද පෙනේ. කෙසේ වෙතත් ඔබ සතු අධි සංවේධීතාවය නිසාම සමාජයට යම් පණිවිඩයක් දීමට අවශ්‍ය ඕනෑම විටෙක කිසිම දවසක නිහඬව පසු වන්නේ නෑ. ප්‍රවීණ ගායන ශිල්පීණී චන්ද්‍රලේඛා පෙරේරා (1961) හා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග (1963) යන මහත්ම මහත්මීන් මෙදින උපන්දිනය සමරනවා.

දෙසැම්බර් 2

(පෞද්ගලික අංකය 2)

චන්ද්‍රයාගේ බලයට ප්‍රබල ලෙස නතුව මෙදින උපත ලද ඔයා තුළ සිහින මඟින් අනාගතය දකින ඉව හොඳීන් කැපී පේනවා. සිතුවිලිවල ඇති වේගවත් බව නිසාම පර්යේෂණ කටයුතු ආදියේ නිරතවීමට සුවිශේෂී ළැදියාවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒත් ඉතිං පෞද්ගලික අංකය සඳු විසින් නිර්මාණය කරලා තියෙන නිසා අභියෝගවලට මුහුණ දෙනවාට වඩා පුළුවන් තරම් ජීවන අභියෝගවලට පිටුපාලා සැඟවිලා ඉන්න නේද ආසා? එහෙමයි කියලා ඔයා සතු තියුණු බුද්ධියෙයි උදාර සිතවිලිවලයි මේන් කියලා වරදක් නෑනේ? ඒ නිසාම පෑනෙන් වගේම වාග් ප්‍රහාරයෙන් කරන සටන්වලදී ඔයා කිසිම දවසක දෙවැනි වෙන්නෙත් නෑ. උසස් සාහිත්‍යමය බර දැරූ තියුණු බුද්ධිය හා උදාර සිතුවිලි හැම විටම වඩාත් ප්‍රශංසනීය වනවා. ඒ මොනවා තිබුණත් ඔයාගේ ආත්ම විශ්වාසය යන සාධකය තරමක් අඩු මට්ටමකනේ තියෙන්නේ? මේ නිසා ඔයා කැමැති වෙන්නේ ආගම, දර්ශනයට මුවාවෙලා දිවි ගෙවන්නයි. ඔයා සතු අධි සංවේධීභාවය නිසාම වඩාත් බියගුළු ස්වභාවයේ සිතුවිලි මැද තමයි ඔයාගේ රැකවරණය අපේක්‍ෂා කරන්නේ. ලෝකේ වටේ රවුම් ගහන්නයි ස්වභාව ධර්මය රස විඳීන්නයි තියෙනවා නම් ඔයාට ඊට වඩා සැනසිල්ලක් නෑ. ඒ කොහෝම වුණත් ඔයාගේ හැකියාවන්ගෙන් උත්සහා කළොත් වැඩි පලප්‍රයෝජනයක් ගන්න බැරි වෙන එකකුත් නෑ. හැබැයි ඒකට නම් වඩාත් ප්‍රායෝගික කෙනෙක්ගේ තල්ලුව ඔයාට පිටි පස්සෙන් ඕනේ කරනවා. බොහෝ විට සිදු වන්නේ ඔයා උසස් නිළ-තලවලට පත්වීම විතරයි. එහීදී මුදල් අරමුණ මතුවෙන්නේ වෙනත් අය වෙනුවෙන් උපකාර කරන අරමුණ ඇති තැනකදී විතරයි. ඔයාගේ වාසය සඳහා වඩාත් සුදුසු වන්නේ වියළි පරිසර. බඩේ අජීරණ, පෝෂණ ඌනතා හා සෙම් රෝග නිසා වැඩි වශයෙන් ගැටලු මතුවනු ඇති. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා (1967) මහත්තයාත් ඔයාට එක අත්තේ කුරුල්ලෙක්.

දෙසැම්බර් 3

(පෞද්ගලික අංකය 3)

මෙදින උපත ලද ඔයා ශරීර ශක්තියෙන් අනූන අයෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මානසික ශක්තිය පවා එහෙමමයි. තමන්ම තෝරාගත් වෘත්තියක මහත් කැපවීමකින් ඔයා කරන්නේ. ගණිත-මිණිත කටයුතුවලට විතරක් නෙවෙයි කවි කලාව හා සිතුවම් නිර්මානකරණයටත් ඔයා උපන් හපනෙක් වෙනවා. ඒ වගේම තමයි මැදි වියෙන් පසු තමන් වාසය කරන සමාජය හෝ මුළු ලෝකය තුළ ප්‍රකට චරිතයක් බවට පත් වෙන්නෙත්. ඔයාගේ පෞද්ගලික අංකය තුළ වගේම මාස රාශී බලය තුළත් ගුරු ග්‍රහයාගේ බලය සුවිශේෂීව කැපී පෙනෙනවා. මේ නිසා ඔයා තුළ පිහිටන්නේ පුදුමාකාර සංවිධාන ශක්තියක්. මේ නිසාම තාන්න-මාන්න, ගරු නම්බුනාම ඔයාගේ පස්සෙන් හඹා එන්නේ. උසස් යැයි සම්මත රැකියාවල වගේම දේශපාලන හා කොන්ත්‍රාත් ව්‍යාපාරවල වුණත් ඔයාට නමක් තියන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාට හිමි වෙන්නේ දුක්බර ළමා කාලයක් බවත් නොකියාම බෑ. දුම්රිය හා නාවික කටයුතු ආදියෙත් මුල්පුටු ඔයා වගේ අය වෙනුවෙන්මයි වඩා උචිත වෙන්නේ. ආගම හා ගුප්ත ශාස්ත්‍ර මාළුවට වතුර වගේ. ඒත් ලියන කියන වැඩවලින් වගේම මුද්‍රිත මාධ්‍යයන්ගෙන් තමන්ගේ පන්හිඳේ මුවහත ඔප් නංවා පෙන්නන්න ඔයාලා උපන් හපන්නු. ඒ වුණාට දුක කියන්නේ ඔයා උත්සහයෙන් ගොඩ නඟාගත් සමස්තය ඔයාගේම ඇස් පනාපිටම කඩා වැටෙනවා. එහෙම වෙන්නේ ඔයාට වයස අවුරුදු 50 ලබද්දී. මේ බව දැන්ම දැනුම්වත් වෙලා නරකද අනාගතය වෙනුවෙන් යමක් ඉතුරු ඉතුරු කරළා තිබ්බොත්. අවුරුදු 60 ලබද්දී ස්නායූ පද්ධතියත් විඩා ලබනවා. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී දයාන් ජයතිලක (1956) මහත්තයත් ඔයාට සමාන ජීවන සිදුවීම්වලට මැදිවන අයෙක්.

දෙසැම්බර් 4

(පෞද්ගලික අංක 1/4)

මෙදින ජන්ම ලාභය ලද ඔයා තුළ රවි හා යුරේනස්ගේ බලය අඩු වැඩි වශයෙන් හෝ සම සමව පිහිටනවා. ඔයා තුළ ඇති වගකීම් බැඳීයාව පුදුම සහගතයි. මනා දුර දක්නා බව, කාය හා මානසික ශක්තීන්ගෙනුත් එකසේ අනූන චරිතයක් නේද ඔයා? ජීවිතය කාලය පුරා ප්‍රශ්න හා ගැටලුවලට මුහුණ දීමෙන් ලබන පන්නරය නිසා තමයි ඔයාගේ ජීවිතය වඩාත් පන්නරය ලබන්නේ. වෙනස් කළ නොහැකි දෛවෝපගත ඉරණමක් මේ අයට හිමියි. පෞද්ගලික අංකය අනුව මෙවැනි පුද්ගලයන් තුළ මහා අසාමාන්‍ය ගති ගුණ තමයි කැපිලා පෙන්නේ. අනික් අය වෙනුවෙන් පමණ ඉක්මවා ආදරය, කරුණාව දැක්වීම වගේම යකෙකුට වත් බය නැති බව අනික් අය පුදුමයට පත්කරවන සුළුයි. ඒ වගේම තමන්ට ශත පහක ලාභයක් නැති වුණත් අඳුනන්නැති කෙනෙකුට හරි අසාධාරණයක් වුන වෙලාවට මේ අය මහත් කෝපයට පත් වෙනවා. අනූන්ගේ පොදු යහපත වෙනුවෙන් පහසුකම් කැප කරනවා. ඇතැම් විට තම දිවියට ඇති කැමැත්ත පවා අමතකව යනවා. ඔයා සතු ප්‍රායෝගික බව නිසාම තරමක උත්සාහයක් දැරීමෙන් විශිෂ්ට ආකාරයේ නිර්මාණශීලී බවක් ඔප් නංවාගත හැකි වනවා. බොහෝ විට ඔබ වැනි අය සිදු කරන්නේ යම් නිර්මාණයක් ඇසුරින් නවීකරණය කරන ලද නව නිර්මාණයක් බිහි කරන්නයි. හෘද්‍යාබාධ, පිත්තාශයේ ගැටලු, ආතරයිටීස් හා අක්ෂි ආබාධත් ඔයාගේ දවසට පොදුයි. මානසික අවපීඩනයත් ඇති වන්න පුළුවන්. භාරතයේ හිටපු 8 වැනි ජනාධිපති රාමසාමි වෙන්කෙතරාමන් (1910) මැතිතුමාගේ උපත සනිටුහන් වෙන්නෙත් ඔයා උපන් මේ සොඳුරු දවසෙමයි.

දෙසැම්බර් 5

(පෞද්ගලික අංකය 5)

දෙසැම්බර් මාසයේ ඔබ උපන් කාල සීමාවට ගුරුගේ බලය උපරිමයෙන් බලාත්මක වෙනවා. මේ නිසා උත්සාහ කළොතින් අධ්‍යාත්මික වශයෙන් වුවත් වඩාත් උසස් තලයකට යෑමේ වාසණාවත් ඔයා තුළ නිදන්ව පවතිනවා. උසස් මානසික ගුණාංගවලින් සන්නද්ධ වීම ඔයා ආරම්භ කරන්නේ කුඩා කාලයේදීමයි. පිදිය යුත්තන් පුදන්න වගේම ජීවිතය ලස්සන කර ගැනීමට ඇවැසි අවවාද හා අනුශාසනා සිදු කීරීමටත් ඔයා නිරතුරු සැදී පැහැදී ඉන්නවා. පාලනයකින් තොර අධිවේගී ස්වභාවයේ සිතුවිලි නිරතුරු ඉස්මතු වන බව කැපී පේනවා. ජීවිතකාලය තුළදී වරක් හෝ එලොව ගිහින් මෙලව එන අත්දැකීමක් ද තිබෙනවා. වේගවත්ව වාහන පැදීමට වගේම තුරඟ තරග, තිරික්කල් තරග වැනි ඉසව්වලට ඔබ වැනි අය දස්කම් පාන්න සමත්. ඔයාලට විරුද්ධ ලිංගික ආකර්ෂණයත් හොඳටම වැඩ කරනවා. විවාහ කටයුතු පවා පහසුවෙන් සිදුකර ගත හැකියි. ඒත් ප්‍රශ්නය තියෙන්නේ ඔයාගේ රුචිය සම්බන්ධවයි. රුචිකත්වය නිතර පහසුවෙන් වෙනස් වනසුලුයි. ටිකක් වැඩිපුර ඉවසලා වයස් ගත වෙලා යුග දිවියකට එළැඹුණොත් විතරක්. මුදල් සම්බන්ධව එතරම් තැකීමක් නැති වුණත් ඔයාටම ආවේණික අරුම පුදුම මාර්ගවලින් ඔයාට මුදල් ගලා එනවා. සුවිශේෂී ඉව ශක්තියෙන් ඉව අල්ලලා සිදු කරන ආයෝජනවලින් ඔයාට ලෙහෙසියෙන් පාඩුවක් නම් සිදු වෙන්නේ නෑ. ඔයා බොහෝ විට නිරෝගීමත් ජීවිතයකට හිමිකම් කියන්නෙක්. එහෙම වුණත් නිතරම ක්‍රියාකාරී ඔබේ සිතට යම් පමණකට හෝ මානසික විශ්ක්‍රාන්තියක් ලබාදීම ගැනත් සැළකිලිමත් වෙන්න. හෙළයේ මහා ගාන්ධර්වයාණන් ඩබ්.ඩී. අමරදේව (1927) මහත්තයා විතරක් නෙවෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු (1964) මහත්තයත් ඔයාගේ උපන් දවසෙමයි.

 

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.