අංක 7ට අයත් ඔබ නිර්මාණශීලී දයානුකම්පාවෙන් යුත් අයෙකි

නොවැම්බර් 29, 2024

ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 7, 16 හෝ 25 යන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක හතයි. මෙය නෙප්චූන් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. තවත් තැනක එය වරුණ ග්‍රහයා ලෙස ද හඳුන්වනු ලබයි. ජල ග්‍රහයකු වන නෙප්චූන් ග්‍රහයාගේ ශක්ති කම්පන බලවේගයන්ට යටත්ව උප්පත්තිය ලැබූ ජන්ම අංක 7 හිමියන් ඉතාමත් තැන්පත් බොහොම කාරුණික යහපත් ගතිගුණවලින් සමන්විත නිවුණු පුද්ගලයන් වේ.

මොවුන් සමාජයේ අන් අය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන අතර ඉවසීම සහ දයානුකම්පාව මොවුන් තුළින් කැපී පෙනේ. ඕනෑම තැනකට ඔරොත්තු දෙයි. හොඳ දරා ගැනීමේ හැකියාවක් ඇත. ඉතාමත් සෘජු අදහස් සහ ගතිගුණ ඇත. නිතරම සිහි බුද්ධියෙන් කල්පනාකාරීව කටයුතු කරයි. ඉක්මනින් කලබලයට පත් නොවන මොවුන් පුංචි දෙයකින් වුව ද සෑහීමකට පත් වෙයි. බොහෝවිට නිවුණු තැන්පත් ගති ලක්ෂණ පෙන්නුම් කරයි. හෙමින් සැරේ කල්පනාකාරීව කටයුතු කරන මොවුන් අවසානයේ තමන්ගේ ඉලක්ක ජය ගැනීමට සමත් වෙයි. මොවුන්ට ලැබෙන එකම අවස්ථාවෙන් බොහෝ ප්‍රයෝජන ලබා ගන්නා අතර ඕනෑම දෙයක් ප්‍රයෝජනවත් දෙයක් බවට හරවා ගැනීමට දක්ෂ වෙයි. මොවුන් සාමාන්‍යයෙන් උපතින්ම වාසනාවන්ත වේ. සෞන්දර්යාත්මක මෙන්ම දාර්ශනික අදහස් ද ඇත. මොවුන් කෙසේ හෝ ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ කරන අතර උපන් තත්ත්වයට වඩා කෙසේ හෝ දියුණු වෙයි.

ඉතාමත් අවංකව කටයුතු කරන මොවුන් සිත් ඇදගන්නා ලෙස කතා කරයි. ආගම ධර්මයට ද ළැදියාවක් දක්වයි. ඉතා සරල ලෙස ජීවත් වීමට උත්සාහ කරයි. බුද්ධිමත් භාවයෙන් කටයුතු කරන අතර යම් ගුප්තමය ගතිත් සිත තුළ දක්නට තිබේ. තරමක් කාර්ය බහුල ජීවිතයක් ගතකරන අතර විවිධත්වයට මෙන්ම සංචාරයට ද කැමති වෙයි. බොහෝ විට විදේශ ගතවීමේ වාසනාව ජන්ම අංක හතෙන් උපන් අයට ඇත. ජන්ම අංක 7 හිමියන්ගෙ බලපෑම ඔවුන් ඇසුරු කරන මිතුරන්ට ද බලපාන අතර එම ශක්තිය ඔවුන්ගේ සාර්ථකත්වයට ද බලපායි. 7 හිමියන් සමඟ තිබූ මිතුරු දම අත්හළ අය තුළින් එය දැකිය හැකි වෙයි.

ජන්ම අංක හතෙන් උපන් අයට ඉතාමත් නිර්මාණාත්මක සහ ස්වාධීන වූ චින්තනයක් ඇත. ඕනෑම තැනකදී මොවුන්ගේ ක්‍රියාවන් ප්‍රකට භාවයට පැමිණෙයි. වැඩක් නැතිව ඉවත දාන දෙයින් පවා වැඩක් ගැනීමට මොවුන් දක්ෂ වෙයි. ඉහළ ප්‍රධානීන්ගේ සහයෝගය මොවුන්ට නිරන්තරයෙන් ලැබේ. සෑම විටම සාධාරණත්වය අගය කරන මොවුන් අසාධාරණයට විරුද්ධව නැඟී සිටී. බොහෝ විට මොවුන්ගේ අදහස් ප්‍රායෝගිකය ඉවත දැමීමට නොහැකි තත්ත්වයක් නිසා මොවුන්ගේ අදහස් බොහෝ අය පිළිගනී. නිදහස් චින්තනයෙන් ස්වාධීනව තමන්ට අවශ්‍ය ලෙස නිදහසේ කටයුතු කිරීමට කැමති මොවුන් කාටවත් බයේ වැඩ කිරීමට කැමති නැත. මොන තරම් ප්‍රධාන තනතුරක් දැරුවද අනිත් අයටත් සමාන ලෙස සලකයි. ඒ නිසාම ඕනෑම ආයතනයක මොවුන් වටා විශාල පිරිසක් එකතු වීම දක්නට ලැබේ. මතුපිටින් දරදඬු ස්වභාවයක් පෙනුනත් මොවුන් ගේ සිත ඉතාමත් සෞම්‍ය ගතිවලින් යුක්තය. ඕනෑම තරාතිරමක කෙනෙක් ඇසුරු කිරීමේ හැකියාව ඇත. ඕනෑම අවදානමක් බය නැතුව භාර ගනියි. තම අදහස් ප්‍රතික්ෂේප කළ නොහැකි අයුරින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. සමාජ සේවයට ඉතාමත් ප්‍රිය කරන අතර එම කටයුතුවලට හැකි සෑම විටම සම්බන්ධ වෙයි. ඕනෑම වයස් මට්ටමක කෙනෙකුට ගැළපෙන ලෙස මොවුන් ජීවත් වෙන්නට දක්ෂ වෙයි.

කෙනකු දෙස බලා ඔහුගේ අවශ්‍යතාවය තේරුම් ගැනීමේ සහජ බුද්ධි ඥානයක් මොවුන්ට ඇත. ඒ නිසාම ඕනෑම කෙනකුට මොවුන්ගේ සහාය අවශ්‍ය ලෙස ලැබේ. මොවුන් අන් අයට හොඳීන් ඇහුම්කන් දෙයි. එනමුත් අවසාන තීරණය තමන් ගනී. පහසුවෙන් රැවටිය හැකි පුද්ගලයන් ද නොවේ. මිනිසුන් තෝරා බේරා ගෙන ඇසුරු කරයි. යහපත-අයහපත තේරුම් ගෙන කටයුතු කරයි. හොඳ මතක ශක්තියක් ඇති මොවුන් විවිධ දේවල් ඇසුරින් අත්දැකීම් සහ දැනුම එකතු කිරීමටද කැමැත්තක් දක්වයි. කිසිදු දෙයක් දුටු පමණින් පිළිගන්නට කැමැති නැත ඉතා හොඳීන් ගවේෂණය කර පර්යේෂණාත්මකව පිළිගැනීම සිරිත වෙයි.

විවාහයේදී ඉතා හොඳීන් සොයා බලා කටයුතු කර ගත යුතු අතර විවාහ ජීවිතය නොගැළපීම් මත අසාර්ථක වීම හෝ පසුතැවිල්ලට හේතුවනු ඇත. තමන්ට වඩා ඉතා ඉහළ අය හෝ පහළ අය නොගැළපෙන අතර සමාන තත්ත්වයක කෙනෙක් ඉතා ගැළපේ. මොවුන්ගේ විවාහ ජීවිත බොහෝවිට අසාර්ථක වන්නේ ගැළපෙන කෙනා තෝරා නොගැනීම නිසාය. කැමැති කෙනා පැත්තක සිටියදී භෞතික දේවල්වලට මුල්තැන දීම බොහෝ ගැටලු වලට හේතුව වනු ඇත. තම ජන්ම අංකයට ගැළපෙන අය ඉතා යහපත් අතර ජන්ම අංක 1, 2, 7, හෝ ඕනෑම මාසයක 7, 10, 11, 16, 19, 20, 25 දිනවල උපන් අය විවාහයට ඉතා ගැළපෙයි. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ඇති වන්නේ වයස අවුරුදු 34 සිටය. ඔබ තමාට ඉටු කළ හැකි වගකීම් පමණක් භාර ගැනීමට හුරු වීම හොඳයි. එමෙන්ම අනවශ්‍ය ලෙස ආඩම්බර වීම සහ සැඟවුණු යටි අරමුණු සහිතව ක්‍රියා කිරීමද දුර්වලතාවයන් ලෙස පෙනෙයි. අන් අයව විශ්වාස නොකිරීම ද තවත් දුර්වලතාවයක් වෙයි.

ඔබට විසබීජ ආසාදනය වීම සහ බෝවන රෝග ද ඉක්මනින් හැදීමේ හැකියාව ඇත. එමෙන්ම වයස අවුරුදු 40 න් පසු මතක ශක්තිය දුර්වල වීම දක්නට ලැබේ. චර්ම රෝග මළබද්ධය වැනි රෝග තත්ත්වයන් ද පහසුවෙන් ඇති විය හැකිය. වයස 50 න් පසු රුධිරගත රෝගවලින් ද ප්‍රවේශම් විය යුතුය.

ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීමේ හැකියාව ඇති මොවුන් සමහරවිට මහන්සියේ තරමට ප්‍රතිඵල නොලබන අවස්ථාද තිබේ. බොහෝ විට ව්‍යාපාරවලදී නිෂ්පාදන අංශය තෝරා ගැනීමෙන් සාර්ථකත්වය ඇති විය හැකිය. බෙහෙත් වර්ග, සුවඳ විලවුන් වර්ග, කිරි හා සත්ත්ව ආහාර, දියර වර්ග, සංචාරක සේවා, ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය, විදුලි, කාර්මික අංශ වඩාත් ගැළපේ. මොවුන් මත්පැන් භාවිතයෙන් සහ දුම්පානයෙන් ඉවත් විය යුතු අතර ශාකමය ආහාර වැඩිපුර ගැනීම වැදගත් වෙයි.

ජන්ම අංක 8 හිමි ඔබ පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.