නොවැම්බර් 22-28 අතර උපන් ඔබ...

නොවැම්බර් 22, 2024

නොවැම්බර් 22

(පෞද්ගලික අංකය: 1/4)

යුරේනස් හා කුජ යන තරමක් අසාමාන්‍ය ග්‍රහ සංයෝග දෙකේ බලපෑම තමයි ඔයාගේ උපන් දිනයට අයත් අංක වලින් සංඛේතවත් කෙරෙන්නේ. ඒ නිසා ඔයා තුළිණුත් අසාමාන්‍ය ගති ලක්‍ෂණ උපරිමයෙන් දැක ගන්නට ලැබීම ගැන ඒ තරම් පුදුම වෙන්න දෙයකුත් නෑ. එහි වාසියක් තමයි අසාමාන්‍ය විෂයන් හැදෑරීමට ඔයාව නැඹුරු කරන එක. ඒ අතරින් පළමුවැන්න තමයි විද්‍යාත්මක පර්යේෂණ අංශය. අබිරහස් ගවේෂණය කියන්නෙත් එසේ යොමු විය හැකි දෙවැනි අංශයයි. ඉහත කී අංශ දෙකටම ඔයා දැනටමත් යොමුවෙලා නැත්නම් ඉතිරි වෙලා තියෙන්නේ අසාමාන්‍යය ලිංගික ආශාවන් සම්බන්ධ විෂයයි. පවතින දේශපාලන ක්‍රමය හා නීතිය සමග නිරතුරු ගැටීම ඔයාගේ ජානමය ලක්ෂණයක්. ලෝකයේ හැම දේකටම විරෝධාකල්ප දරමින් තමන් විශ්වාස කරන දේ පමණක් ඇදැහීම ඔයාගේ ස්වභාවය. 22 වෙනිදාවක උපත ලැබුවාම අසාමාන්‍ය පරිපාලන ශක්තියක් වගේම උපායශීලී බවක් අන්තර්ගත වෙනවා. වෙනස් ක්‍රම ඔස්සේ මුදල් රැස් කරන්නත් ඔයා රුසියෙක්. සමීපව ඇසුරු කරන අය උත්සාහ කරන්නේ ඔයාව රවටලා මුදල් ගරා ගන්නයි. සිංහල සිනමාවට නැතිවම බැරි ප්‍රහසන නළුවකු වගේම වරක් මිලානෝහී කන්ස්‍යුලර් පදවියට නාම යෝජනා පවා ලැබූ බන්දු සමරසිංහ (1955) මහත්තයා කියන්නේ සැබෑ ජීවිතයේ කිසිම දවසක නිකම්ම නිකම් කවටයෙක් නම් වෙන්න බෑ. ඒ වගේම හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මාවන් අතපත්තු (1970) චරිතාපදානයත් ඔයාට බොහෝ සෙයින් සමීප වේවි.

නොවැම්බර් 23

(පෞද්ගලික අංකය: 5)

ඉහත උපන් අංක හිමි ඔයාගේ තරුණ අවදියේ නම් දරා ගැනීමේ ශක්තිය උපරිමයෙන් දැක ගත හැකි වෙනවා. එක පෙළට අසනීපවලටම ගොදුරු වෙලා පත්තියම් වෙලා තමයි මේ තත්වයට ලඟා වෙන්නේ. මානසික ආතතිය කියන සාධකයත් ඔයාගේ ජීවිත කාලය පුරා ලඟ රැඳේවි. අසාමාන්‍ය ක්‍රමවලින් මුදල් ඉපැයීමටත් ඔයාට පිහිටන්නේ සහජ හැකියාවක්. ඒ නිසා ජීවිත කාලය පුරා ඔයා ආර්ථික වශයෙන් යහපත් පසුබිමක පසුවේවි. ඔයාට කල් පවතින යුග ජීවිතයක් ගෙවන්න ඕනේ නම් ටිකක් වයසට ගිහිල්ලා බැන්ඳොත් තමයි හොඳ. වේගවත් තීරණ, හදිසි කෝපය හා නොරිස්සුම් බව නිසාත් ඔයාට ජීවිත කාලය පුරා අමතක නොවන පාඩම් එහෙමත් ඉගෙන ගෙන ඇති. ඒ වගේ පාඩම් කොච්චර ඉගෙනගත්තත් මතක හිටින්නැති එක තමයි ලොකුම අවුල. ඔයාට රාජ වශීයක් විතරක් නෙවෙයි හොඳ සර්වජන වශියකුත් වැඩ කරන බව පේනවා. ඔයාට වඩා උසස් පුද්ගලයෝ පවා ඔයාගේ නමට වන්දනා කරන බව කැපී පේනවා. දුගී, මගී, යාචකාදීන්ට වැඩි වැඩියෙන් ආදරය, කරුණාව පතුරවද්දී ඔයා සතු බලපරාක්‍රමයන් වඩ වඩාත් ඔප් නැංවෙනවා. ඔයාගේ සාර්ථකත්වයේ රහස වෙන්නේ පරිපාලන ඉව වගේම සූර බුද්ධියත් ඔයා තුළ අන්තර් ගත වීමයි. ඔයාගේ අනලස් බව ඊට හොඳම අනුපානයයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් (1972) කියන්නෙ ඔයාගේ පෞරුෂයට සමාන බවක් ඇති සජීවී උදාහරණයක්.

නොවැම්බර් 24

(පෞද්ගලික අංකය: 6)

නායකත්වය හා ආර්ථික ස්ථාවරත්වය ඔයා පසු පස ලුහුබැඳ එන බව මුළින්ම කිව හැකියි. එහෙම වුණත් ඔයාගේ උපන් දින අංක ඇතුළේ හැංඟිලා තියෙන්නේ දුක්බර ළමා කාලයක්. භාරකාරීත්වය සම්බන්ධ ගැටලු නිසා පුංචි කාලේ ඉඳළාම තමන්ගේ කටයුතු තමන්ම සිදු කර ගැනීමට සිදු වෙනවා. මේ හේතුව නිසා තමන්ගේ අත්‍යාවශ්‍ය කරුණු පවා පිටස්තරයකුගේ කැමැත්ත අනුව කරන්න වෙනවා. ඒත්, ඔයා සතු දෛව ශක්තිය පරාධීන ගැති ආකල්පවලින් තොර නිසා ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පිට පනින්න පොටක් පාද ගන්නවා. එහිදී හමුවෙන හොඳම හා එකම විකල්පය වෙන්නේ විවාහ දිවිය පමණමයි. ඒත් විවාහය සම්බන්ධව වැරදි තීරණයකට තමයි හැම වෙලාවකම ඔයාට එළැඹීමට වෙන්නේ. ආදරයෙන් අන්ධවෙලා තමන්ට වඩා පහත් මට්ටමක අයෙක් සමගමයි විවාහය සිදුවෙන්නේ. තමන්ට ශත පහක වැඩක් නැතත් සහකරුට ඇති සමාජ පිළිගැනීම ගැන පමණක් අනෙකාට සියුම් ආඩම්බරයක් හිමි වේවි. හැබැයි මේ දින උපදින කාන්තාවන් නම් සාර්ථක විවාහ ජීවිත ගත කරන බවත් නොකියාම බෑ. තමන්ගේ ප්‍රකාශවල වගකීම දැරීමේ පුරුද්ද ඔබ ඇති කරගත යුතුයි. උණ රෝග වගේම හෘද්‍යාබාධ අවදානමත් ඔබ අවධානයට ගත යුතුයි. ශිරන්ති රාජපක්ෂ (1953) හිටපු ජනාධිපති ආර්යාව වගේම 9 වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක (1968) මැතිතුමාගේ ජීවන මතක ඔයාටත් සමීප බවක් ගෙනදේවි.

නොවැම්බර් 25

(පෞද්ගලික අංකය: 7)

මෙදින උපත ලද ඔයා තුළ ඇති සුවිශේෂී ඉව ශක්තිය ජීවිතකාලය පුරාම හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. නිරතුරු ගවේෂණාත්මක ස්වභාවයක් ඔයා කෙරෙන් පිළිබිඹු වෙනවා. ඔයාගේ හැසිරීම් තුළ රහසිගත බව වගේම සමාජ හුදෙකලා භාවයද කැපී පේනවා. ලෞකිකත්වයෙන් බැහැර ස්වභාවයක් පවා ඉස්මතු වෙනවා. ඉවශක්තිය මෙහෙයවා යමක් කළ යුතු හරි වෙලාව ඔයා හොඳාකාරව දන්නවා. නව නිර්මාණ තුළින් හොඳීන් මුදල් ගලා එනවා. තමන්ට හිතවත් අය දෙස පවා නිතර සැකයෙන් බලන එක නම් තරමක් පාලනය කරගත යුතු බවත් නොකියාම බෑ. එය විවාහයට පවා අහිතකරව බලපාවි. ඔයා මිනිසුන්ට වගේම පරිසරයටත් ඉතා සංවේදී වෙනවා. මේ නිසාමයි නොගැළපෙන මිනිස්සු එක්ක පෑහීමේදී වගේම නොගැළපන පරිසරවලදී ඔයා ඉතා අපහසුතාවයකට පත් වෙන්නේ. මෙදින උපදින අය තුළ වඩාත් වැඩි ආගමික නැඹුරුවක් කැපී පේනවා. ඒ වගේම තමා අනුගමනය කරන ආගම පමණක්ම මේ ලෝකයේ උසස් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ස්වභාවයක් ඔයා වැනි අය තුළ නිතර පවතිනවා. මෙහිදී බොහෝ පිරිස් ඔයා වටා ඒකරාශී වීමත් ඔයාව අනුකරණය කිරීමත් සිදුවෙනවා. වන්දනීය නායකත්වයකට නිතර පණ පොවන ඔයා වැනි අය තමයි අධිකරණ, ආගමික වගේම සභානායකයන් හැටියටත් ආදර්ශමත් චරිත වෙන්නෙත්. ප්‍රවීන ගත්කරු සෝමවීර සේනානායක (1944) චරිතාපදානය පරිශීලනය කළොත් ඔයාට හිතේවි ඒ ඔයාගේ ජීවිත කතාව කියලා.

නොවැම්බර් 26

(පෞද්ගලික අංකය: 8)

ඔයාගේ උපන් දවසේ ඉපදුණු ලංකාවේ හිටපු ප්‍රබල චරිත දෙකකින්ම කතාව පටන් ගන්නම්. එක්කෙනෙක් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වූ ලලිත් ඇතුළත්මුදලි (1936) මහත්මා. එතුමා තමයි විශ්වවිද්‍යාලවලට මහපොළ ශිෂ්‍යධාර ක්‍රමය ඇති කළේ. අනෙක් කෙනා තමයි කොටි ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් (1954). දැන් ඔයාගේ සම්බන්ධය ගලපලා බලමු. ඔයා අනික් අයගේ අවවාද අනුශාසනා පිළිගන්නේ නැද්ද? ගත් තීරණයක් හරි හෝ වැරදි වේවා ආපහු වෙනස් කරන්න කැමැත්තක් නැද්ද? තමන්ට හිතවත් අය දෙස පවා නිතරම සැකයෙන්මද බලන්නේ? මේ ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් පොඩ්ඩක් වැඩියෙන් සැලකිලිමත් වන එක හොඳයි. ඔයා අනිවාර්යයෙන්ම දැඩි ආත්මපාලනයකට හා ශික්ෂණයකට යොමු විය යුතු වෙනවා. නැත්නම් ඔයාගේ ස්වභාවය ආදර සම්බන්ධතා පවත්වාගෙන යාමේදී පවා අයහපත් වෙනවා. කෙසේ වෙතත් අවසානයේදී සහකරු වෙනුවෙන් හෘදයාංගම කැපවීම හැඟීම්බර ආත්ම පූජාවන් සිදු කිරීමටත් වෙනවා. ජීවත්වන කාලය පුරාම ඔයා ලොවෙත් නැති සාර්ථකත්වයක් ලබාගත හැකි වෙනවා ඔයාගේ දැඩි කැපවීම නිසාම. ඒත් දවසක ඔයා ජීවිතයෙන් සමුගන්නේ ලලිත් මහත්තයා වගේද නිකම්ම නිකම් ප්‍රභාකරන් හැටියටද කියලා ඔයාටම තමයි තෝරා ගන්න වෙන්නේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් සහමුළින්ම වැළකීම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට අනිවාර්ය වෙනවා. සෙම්ගෙඩි හා ආත්‍රරයිටීස් වැනි ආබාධත් ඔයාව නිරතුරුව අපහසුතාවයට පත් කරාවි.

නොවැම්බර් 27

(පෞද්ගලික අංකය: 9)

රංවල බලකායේ නිර්මාතෘ දිවංගත ලයනල් රංවල (1939) මහත්තයා කියන්නේ අපට සිංහල අවුරුදු කාලෙට නැතිවම බැරි මතකයක්. සුරූපිනියක වන වීණා ජයකොඩි (1952) මහත්මිය කියන්නෙත් රංගන දිවියේ සුවිශේෂී ප්‍රතිභාවක් හිමි සම්මානණීය නිළියක්. රිෂාඩ් බදියුද්දීන් (1972) කියන්නේත් පෙරළිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔය චරිත තුනේම ලක්ෂණ හැංඟිලා තියෙන්නේ නොවැම්බර් 27 දාක ඉපදුණු ඔයා ඇතුළෙමයි. මේ දවසෙන් ඉපදුණු ඔයාලා වගේ අය වටා ගුරු ග්‍රහයාගේ බලපෑමෙන් ප්‍රබල විධායක බලයක් වගේම මනා සංවිධාන ශක්තියක් ඒකරාශී වෙනවා. පරිපාලනයේදී ඉතා දැඩි බව වගේම නිරතුරු ධනාත්මක චින්තනයෙන් යුතුව පසුවීම ඔයා තුළ සුවිශේෂී ලක්ෂණයක්. උණ හා අධික රුධිර පීඩනය නිසා සෞඛ්‍ය සම්බන්ධ අහිතකරව බලපෑමේ වැඩි ඉඩක් පවතින්නේ. මහා පරිමාන යන්ත්‍ර-සූත්‍ර ක්‍රියාත්මක ස්ථාන වලදීද හදිසි අනතුරුවලට ලක්වීමේ අවදානමත් ඔයාට තිබෙනවා. කෙනෙකුගෙන් වන හොඳක් වගේම නරකක් ඔයා හිතේ තියා ගන්න දක්ෂයි. පන්සල් පල්ලි ආශ්‍රිත සමිති සමාගම්වල මුල් පුටුවට එන්නේ නිරායාසයෙන්. ඉතාමත් කටුක වූ දුෂ්කර ළමා කාලයකින් පස්සේ ස්වෝත්සහයෙන් තමයි ඔයා ජීවිතයේ දිගු ගමනක් යන්නේ. හැබැයි ජීවිතයේ පළමු අවුරුදු 40 ක පමණ කාලය තුළ ඔයාගේ ජීවිත ගමන ඉස්සරහට වැඩි වේගයෙන් පස්සට ගමන් කරන බවක් තමයි පේන්න තියෙන්නේ. කොහොම වුණත් නිසි වයසට ආවාට පස්සේ ඔයාගේ බඹරේ වැල්ලේ වුණත් කැරකෙන්න ගන්නවා.

නොවැම්බර් 28

(පෞද්ගලික අංකය: 1/4)

මෙදින උපත ලද ඔයා තුළ ශනිගේ බලපෑම අධික ලෙස බලපවත්වන බවක් පෙනී යනවා. මේ හේතුව නිසා වෙනස් කළ නොහැකි දෛවයකට හිමිකම් ඇති මානව කොට්ඨාසයක් හැටියටයි ඔයාලව සැලකෙන්නේ. ඔයාගේ පෞද්ගලික අංකය නිර්මාණය කර ඇති සඳු හා ශනි යන සංයෝගය ජීවිතයේ බොහෝ කටයුතු මන්දගාමී කරන බවද පැවසෙනවා. තමන්ටම ආවේණික සුවිශේෂී චරිතයක් හැටියටයි ඔයාව සලකන්න වෙන්නේ. සම්ප්‍රදායට ගරු නොකරන ස්වභාවය ඔයා තුළ කැපී පේනවා. මානසික තලය තුළත් ඉතාමත් දක්ෂ හා බුද්ධිමත් බව කැපී පේනවා. නිතරම ප්‍රීතිමත්ව ඉන්න කැමති ඔයා ලෝකය දෙස බලන්නේ සර්ව සුබවාදීවයි. ඔබගේ ප්‍රේම සබඳතා පවා බොහෝ විට අතර මග නතර වීමේ වැඩි ඉඩක් පවතිනවා. ඔයා මේ වගේ අවස්ථාවලදී බුද්ධිමත්ව කටයුතු නොකළොත් ඔයාගේ මුළු ජීවිතයම අතර මග ඇණ හිටිය හැකි බවත් පෙනී යනවා. මිනිසුන්ව ඉක්මනින් විශ්වාස කිරීම නිසා බොහෝ විට රැවටිලිවලට හසුවීමද පහසුවෙන් සිදු වෙනවා. ඒ වුණාට ඇත්තටම ඔයා රැවටුණා වගේ රඟපාලා අනික් අයව සතුටු කරන එකයි එතැන වෙන්නේ. පවත්නා අධි සංවේදී ස්වභාවය නිසා ඕනෑම අවස්ථාවකදී කටක් අරින්නේ ඉතා සැලසුම් සහගතවයි. එමෙන්ම සමාජයට පණිවිඩයක් දීම අත්‍යාවශ්‍ය වූ විටෙකදී පමණයි. අවදානම් මාර්ග වලින් මුදල් උපයා ගැනීමට සමත්ය. ඇතැම් විටෙක සූදුවෙන් හෝ අවදානම් සහිත තීරණවලින් පරාජය හෝ පාඩු සිදු කර ගන්නා බව පෙනේ. ළිඳෙන් වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩ එන්නා සේ සියලු අභියෝග අවසානයේ නිමාවට පත් කර ගන්නේ තමන්ටම වාසිදායක ලෙසයි. ගීතා කාන්ති ජයකොඩි (1958) හා ඇන්ටන් ජූඩ් (1960) යන ප්‍රවීණ රංගවේදීන් ඔයාගේ පෞරුෂත්වයට සමාන චරිත ලක්ෂණ පෙන්නුම් කරනවා ඇති.

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.