වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
පුවත්පත් පනත පැරද වූ තිරයෙන් පිටුපස බලවේගය
එකල ද සන්ධ්‍යාභාගය එලඹෙත්ම කොණ්ඩදෙණිය “වනඅරණ” රැහැයියන් ගේ නාදයෙන්, නිරන්තරයෙන් නින්නාද වෙයි. එමෙන්ම අවට ඝන කැළෑව තුළ නිතර ගැවසෙන අලි ඇතුන්, වගවලසුන්, කොටි ව්‍යාඝ්‍රාදීන්ද ගෝණුන්, මුවන්, හාවුන්, මී මින්නන්ද, නයින්, පොළඟුන්, වැනි විෂඝෝර සර්පයන්ගෙන්ද පිරී ඉතිරී පවතී.
එහෙත් මේ වන සිව්පාවුන්ගෙන් කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ට හෝ වන අරණේ නේවාසිකයන්ට නම් කිසිදු අනතුරක් සිදුනොවේ. ඒ අප හිමියන් සතු ඕනෑම සතකු දපනය කළහැකි ප්‍රබල මන්ත්‍ර ගොන්නත්, පන්සල් බිමේ සිව් කොණේ ආරක්ෂක බලගතු මන්ත්‍ර ජීවම් කළ ආරක්ෂක මෙවලම් වළලා තිබීමත් හේතු වන්නට ඇතැයි සිතේ.
එදා ඉල් පොහොය පසුව එළඹෙන සති අන්තයේ දිනයකි. හිමිදිරි පාන්දරම අප හිමියන් අවදි වූයේ කොණ්ඩදෙණිය පන්සල වටකරගත් අලි ඇතුන් රැසකගේ මහත් වූ හඬින් කුංචනාදයන් කරමින් ගස් කොළන් උදුරා දමමින් මහත් වූ ප්‍රචණ්ඩත්වයක් දැක් වූ මොහොතක ය.
කිසිදු චකිතයකින් තොරව අප හිමියන් වහා ලැගුම් ගෙයින් එළියට බැස පන්සල් බිමේ වැලි අහුරක් ගෙන ප්‍රබල අලි මන්ත්‍රයක් ජපකොට වැලි අහුර අහසට විසි කළ සේක.
ගතවූයේ නිමේෂයකි. ප්‍රචණ්ඩව වන අරණ වටකරගත් අලි ඇතුන් සමූහය තම හොඬවැල් ඔසවා අප හිමියන්ට ආචාර කොට මහත් වූ කුංචනාද කරමින් ආපසු හැරී වනාන්තරය දෙසට පසු බසින්නට විය.
ඊට කලින් දින සන්ධ්‍යාභාගයේ හිමියන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණ එය ඉටුකරගෙන දුරබැහැර තම ගම්බිම් බලා යාමට නොහැකිව පන්සලේ බණමඩුවේ පැදුරු එලාගෙන තාවකාලිකව නවාතැන් ගත් ආතුරයකු සහ ඔහු කැටුව ආ පිරිස මේ අලි ඇතුන්ගේ සිද්ධියෙන් මුලදී බය බිරාන්තව සිටියත් පුණු පොහොයට පසු එළඹි දින බැවින් සඳඑළියෙන් හිමියන්ගේ මේ ආශ්චර්යවත් දසුන දැක ඔවුහු මහත් සේ විස්මයට පත් වූහ. අලි ඇතුන් පසු බා ගිය පසු හිමියන් වටකරගත් ආගන්තුක පිරිස හිමිදෙපා මුල වැඳ වැටී සිට කිව්වේ මෙවැනි දසුනක් මුළු ජීවිත කාලයේම දැක නැති බවයි.
විහාර මන්දිරයේ සහ දේව මන්දිරයේ දෛනික වතාවත්වල නිරතවූ හිමියෝ ඩිංගිරි බණ්ඩා ඇමතූ සේක.
“ඩිංගිරි බණ්ඩෝ, අර දුර පළාතක ඉඳල ඇවිත් ඊයේ රෑ පන්සලේ බණමඩුවේ සිටි ඇත්තන්ට ඔය කිතුල් පිටි කැඳ බොන්නට දී උදේ සප්පායමටත් තියෙන දෙයක් ඉක්මනින් හදල දෙන්න...”
“එහෙමයි හාමුදුරුවනේ”
පන්සල් බිමේ පහළින් තිබුණු උතුරායන හතරැස් ළිඳ අසල විශාල තුඹහක්ද වෙයි. එහි දිග සුදු නයෙකු වෙසෙයි. එම නාගයා බෝධියට මෙන්ම දේව මන්දිරයේද විටින් විට ලැගුම් ගෙන සිටියි. එහෙත් එම ස්වේත වර්ණ නාගයාගෙන් හිමියන්ටත්, බැතිමතුන්ටත්, ආගන්තුකයන්ටත් හානියක් සිදු නොවේ.
එකල බෝධිය ප්‍රතිස්ථාපනය කර තිබුණද ඒවාට සවිමත් බෝධි ප්‍රාකාරයක් නොතිබුණි. කොණ්ඩදෙණිය පන්සලේ බෝධියේ බලවත් හාස්කම් ඇතැයි යන විශ්වාසයෙන් එය වන්දනාමාන කර බාරහාරවෙන්නට විශාල පිරිසක් දෛනිකව පැමිණෙති.
අප හිමියන් ඩිංගිරි බණ්ඩා පිළියෙළ කරදුන් හීල්දානය වළදා තම කාර්යාල කාමරයට පිවිසියේ එදින යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් ආදී රාජකාරි කටයුතුවල නිරතවීම පිණිසය.
එක්විටම දේව මන්දිරයේ තුළ ඇති දේව මණ්ඩලයේ පිළිම සෙලවෙන්නට විය. ඒත් සමඟ එහි දල්වා තිබූ පහන් ඒකාලෝක වී ප්‍රභාෂ්වර වන්නට විය.
මෙය දුටු අප හිමියන් වහාම දේව මන්දිරයට වැඩම කළ සේක. ඩිංගිරි බණ්ඩාද හනිකට සුවඳ දුම් අල්වන්නට විය. පෙර ලැබූ අත්දැකීම් මත මෙය දෙවියන්ගේ පණිවිඩයක් විය හැකි යයි හිමියෝ් අනුමාන කළ සේක.
දේවාරාධනාව සිදුකළ හිමියන් බලගතු මන්ත්‍රයක් ජප කරන්නට වූහ. මොහොතකින් කාරණා, කාරණා හිමියන්ට වැටෙහෙන්ට විය.
මෙදින පළමුවෙන් පැමිණෙන ආගන්තුක කණ්ඩායම කවරකු වුවද එම ඉල්ලීම ඉටුකළ හැකි බවත් එයින් රටේ බලගතු වෙනසක් කිරීමට දායක විය හැකි බව හිමියන් අනුමාන කළ සේක.
ගතවූයේ මොහොතක් පමණි. කොණ්ඩදෙණිය පන්සලේ මහයකඩ ගේට්ටුව අබියස එකල සුඛෝපභෝගී බෙන්ස් කාර් රථ කිහිපයක්ම නතර කෙරිණි.
“ඩිංගිරි බණ්ඩෝ - ඔය කාර් ටික පන්සල් වත්තට ඇතුළු කරගන්න ගේට්ටුව ඇරල දෙන්න.”
“එහෙමයි හාමුදුරුවනේ’ හිමි අණ වහා පිළිපැදිණි.
ටයි කෝට් හැඳ පැලඳ වැදගත් පෙනුමැති පිරිසක් බෙන්ස් කාර්වලින් බැස හිමියන් බැහැදැකීමට අවශ්‍ය බව ඩිංගිරි බණ්ඩාට පැවසීය.
ඩිංගිරි බණ්ඩාද හනික ඒ බව හිමියන් දැනුම්වත් කළේ ය.
“ආහ් ඒ මහත්වරුන් ආගන්තුක අමුත්තන්ගේ කාමරයට එක්කන් ගිහින් අර අලුත හදපු නාන කාමරයෙන් මුහුණකට හෝදන්න. අවශ්‍ය පහසුකම් සකසා දෙන්න.
සවස පූජාවට ගෙනාපු නෙලුම් මල්, කූඩවලින් නෙලුම් මලුත් ඒ මහත්තුරුන්ට ලබාදෙන්න. ඊට පස්සේ බුද්ධ මන්දිරයටත්, බෝධියටත් වන්දනාමාන කරල ආපු කාරණය ඉෂ්ට සිද්ධ වෙන්නට ප්‍රාර්ථනා කරලම එන්න කියන්න.”
හිමියන්ගේ උපදෙස් පරිදිම වහා කටයුතු සිදු කෙරුණි.
“ඩිංගිරි බණ්ඩෝ තව එකක් ඒ ආපු ලොකු මහත්වරුන්ට උදේට හොඳට සප්පායම් වෙන්න දීලා මට මුලිච්චි වෙන්න එක්කගෙන එන්න.”
හිමියන්ගේ උපදෙස් පරිදි සියල්ල සිදුවිය.
කොළඹ සිට ආගන්තුකව පැමිණි මහත්වරු උදේ ලැබුණු සංග්‍රහය භුක්ති වින්දේ මහත් සතුටිනි.
“අවසරයි අපේ නායක හාමුදුරුවනේ”
අපිත් නොකීවාට ටිකක් බඩගිනි වෙලයි සිටියේ. උදේ කෑම නම් පංකාදුයි. කොහොම ස්තුති කරන්නද මන්දා ඔබ වහන්සේට බොහොමයක්ම පින්. අපි කොළඹ ඉඳලයි ආවේ.”
“ඔව් මම හිතුව ටයි කෝට් ඇඳල එනකොට කොළඹ මහත්තුරු වගයක් වෙන්න ඕන කියලා. ඉතිං මේ අරුමැක්කේම, කොළඹ ඉඳල ආපුකාරණාව කීවානම්”
“එහෙමයි හාමුදුරුවනේ මෙහෙ වෙන කවුරුත් නැහැ නොවැ. අපි ඉතින් ආපු කාරණාව කෙලින්ම ඔබ වහන්සේට කියන්නම් කෝ.”
“බොහොම හොඳයි. එහෙනම් කියන්නකෝ බලන්න.”
“මේ දවස්වල අපේ රටේ මිනිසුන් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න ආණ්ඩුව උත්සාහ ගන්නව නොවැ...
ඒ හින්ද අපේ රට ගැන හිතල, අපේ ජනතාව ගැන හිතල මැතිසබේ මේ පණත සම්මතවීම පරාජය කරන්න උදව්වෙන්න හාමුදුරුවනේ....”
“මං ගැන ඔබතුමන්ලා දැන ගත්තෙ කොහොමද?”
“අපේ හාමුදුරුවො ගැන මුළු රටේම අය දන්නවා නොවැ.... අනේ නායක හාමුදුරුවනේ මේ පණත සම්මතවීම නතර කරල දෙන්න. පන්සලේ බෝධීන් වහන්සේගේ බෝධි ප්‍රාකාරය බඳින්න උදව් වෙන්න අපිට පුළුවන් ඒ බර පැන දරන්න අපි සූදානම් හාමුදුරුවනේ.”
“අපොයි මහත්තයෝ මේක සම්පූර්ණයෙන් හදල ඉවර කරන්න රුපියල් පනස්දහසක් විතර යාවිනේ”
“ආ ඒකට කාරි නැහැ හාමුදුරුවනේ. මේක ඒ වැඩේට අත්තිකාරමක් කියල හිතාගන්නකෝ... වැඩේ කෙරුණාම ඒ වගෙ දෙගුණයක් අපි පූජා කරන්නම්කෝ.”
“හොඳයි අපි දේව මන්දිරයට යමුකෝ...”
හිමියන් සමඟ ආගන්තුක අමුත්තන් පිරිසද දේව මන්දිරයට පිවිසුණහ. හිමියන් බලවත් මන්ත්‍රයක් දහස්වර පිරිත්කළ පිරිත් නූල් පන්දුවක් සහ ඉතා වටිනා තෙල් බෝතලයකට ජප කරන්නට විය. කෙමෙන් හිමියන්ගේ හඬ වේගවත් කරන්නට විය.
එහෙත් හිටි හැටියේම ජීවම් කිරීම නතර කළ හිමියන් මඳ වේලාවක් දේව මන්දිරය තුළ භාවනානුයෝගීව සිට ඉන් මිදී හිමියන් භාවිත කරන අඳුන ගෙන එන ලෙස ඩිංගිරි බණ්ඩාට පැවසූ සේක.
පලිඟුවක් වැනි ඝනකම් වීදුරු මෙවලමක්ද පීරිසි තට්ටුවක්ද පොල්තෙල් පහනක්ද ඩිංගිරි බණ්ඩා දේව මන්දිරයට රැගෙන ආවේය. හිමියන් පොල්තෙල් පහන දැල්වූ සේක. පහන් තිරයේ දැල්ල පීරිසියට වැටෙත්ම හිමියන් යළි හඬ අවදි කළ සේක. ඒ අතර දේව මන්දිරයට ඩිංගිරි බණ්ඩා සුවඳ දුම් ඇල්ලීම සිදු කළේ ය.
“ආහ්..... මේ යස අගේට පේන්නේ.... රාජ සභාවේ දෙපිරිසක්. මේ නිසා ගාල ගෝට්ටියකට පැටලිලා නොවැ. එක පැත්තක ධනවත් අය. අනිත් පැත්තේ එහෙම මිල මුදල් බෙහෙවින් නැති මන්ත්‍රී පිරිසක්” හිමියෝ පැවසූහ.
පොදු මහජනතාවගේ පැත්තේ හිට ගැනීමට හිමියන්ට අවශ්‍ය විය. මෙහිදී සාධාරණය ඉටුකිරීම තම වගකීම බවත්, ඒ සඳහා වහාම ක්‍රියාත්මක වීම ඇවැසිබවද තේරුම් ගත් සේක.
එහෙත් ආණ්ඩුව පුවත් පත් පනත සම්මත කරගැනීමට කැසකවන්නට විය. ඒ සඳහා බහුතර මන්ත්‍රී නියෝජනය කරන ඡන්දයක් අවශ්‍ය විය. විපක්ෂයට වඩා බහුතර මන්ත්‍රී කිහිප දෙනකුගේ ඡන්දය පනත සම්මත කරගැනීමට අවශ්‍යම විය.
“මහත්වරුන්ට කියන්න ඕනෑ විශේෂ පණිවිඩයක් තියෙනවා. තමුන්ගේ පැත්තට විරසක වෙලා තියෙන මන්ත්‍රීවරු වැඩි ගණනක් ඉන්නේ කොස්ගොඩ, ගාල්ල, මාතර, වැලිගම පැත්තේ අයයි. ඒ නිසා මටමේ ගුරුකම කරන්න ඕන දකුණු පළාතේ තැනක ඉඳන්මයි. මට වාහන පහසුකම් දෙනවා නම් ඒක කරන්න පුළුවන්.”
“ඕනෑම වාහන පහසුකමක් දෙන්නම් අදම වැඩේ පටන්ගන්න හාමුදුරුවනේ...”
“හොඳයි එහෙනම් මාතර වෙහෙර හේනෙ පන්සල මම හොඳට අඳුනනවා. වෙහෙරහේන පන්සලේ ලොකු බුද්ධ ප්‍රතිමාව හැදුවේ මගේ නැකතකින්. මට එහෙ නැවතිලා මගේ ගුරුකම් වැඩ කරන්න පුළුවන්. එදිනම පිටත්වූ අප හිමියන් වෙහෙර හේන පන්සලේ තාවකාලිකව නවාතැන්ගෙන වැලිගම මුහුදින් වටවූ පුංචි දූපතක මධ්‍යයෙහි සිට ගුරුකම් කටයුතු අකුරටම ඉටු කරන්නට යෙදුණේ කිසිවකුට නොපෙනන පරිද්දෙන්මය.
මැතිසබය වඩාත් උද්යෝගකාරී ලෙස උණුසුම් විය. ඊට පසු දිනයේ මැතිසබයට ඉදිරිපත් කරන යෝජනාව පරිදි හදිසි පනතක් සේ සලකා වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය විය. එසේම ප්‍රධාන ජනමාධ්‍ය ආයතනයක් රජයට පවරා ගැනීමට සියලු සැලසුම් සකස් කර තිබිණි.
කොස්ගොඩ, ගාල්ල, මාතර, වැලිගම පැතිවල මන්ත්‍රීවරු වික්ශිප්ත වූහ. කොළඹ මැති සබයට පැමිණෙන මන්ත්‍රීන්ගේ වාහන එකිනෙක හැපී ඒවා ධාවන කිරීමට නොහැකි තරමට අලාභහානි විය. එම මාර්ගයේ රථවාහන තදබදයද නිසා සියලු මාර්ග අවහිර විය.
නියමිත වෙලාවට රාජ්‍ය සභාවේ ඡන්ද විමසන අවස්ථාවේ පැමිණීමට දකුණේ මන්ත්‍රීවරු රැසකට නොහැකි විය. ඡන්දය ප්‍රකාශ කරත්ම රජය පරාජයට පත් විය. එබැවින් 1964 දී ගෙන ආ පුවත්පත් පනත් සම්මත කර ගැනීමට නොහැකි විය.
එහෙත් තිරය පිටුපස සිට තම බල තේජස් අණසක පැවැත් වූයේ කොණ්ඩදණියේ සීලරතන හිමියන් බව බොහෝ දෙනා නොදැන සිටින්නට ඇත. ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වැළලීයාම මඟ හැරුණි. සති කිහිපයකින් පසුව කොණ්ඩදෙණිය පන්සලේ ඉතා වේගයෙන් අභිනව බෝධි ප්‍රාකාරය ඉදිවුණේ, “විශ්වකර්ම” වැඩක් ලෙසිනි.
වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති, ශාස්ත්‍රවේදී කඩම්බාවේ අනුුරුද්ධ නායක හිමියන් හමුවීමට තත්කාලීන පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරු අතර මහාමාත්‍යවරු ඔවුන්ගේ ධූත, පිරිස් දෝෂාභියෝගයන්ට, විශ්වාසභංගයන්ට මුහුණදීමට යම්, යම් සහනයන් ලබා ගැනීමේ අභිලාශයෙන් ඇතැම් දිනවල කොණ්ඩදෙණිය පන්සලට මධ්‍යම රාත්‍රියේද කාහටත් නොදැනෙන පරිදි පැමිණෙන බව දන්නේ සමීපතමයන් කීපදෙනකු පමණි.
තිරයෙන් වැසීගිය ගුප්තමය ලොවක් ඉතා නිහඬව ක්‍රියාත්මක වන බව මා හට වැටහුණි.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ