වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
සුබසෙත සුවසෙත
කේ.ඩී. මනෝරී - පැල්මඬුල්ල
ප්රශ්නය
වෛද්‍යතුමනි, මම පනස් අට වියේ පසුවන ගෙන් ගෙට යමින් මාළු විකුණන කාන්තාවක්මි. දැනට වසර දහයක පහළොවක විතර කාලයක පමණ සිට ඒ රැකියාව කරමි. මෑතක සිට මගේ වම් කකුලේ විළුඹේ ගැටයක් වගේ ඇවිල්ලා තියෙනවා.මම රබර් සෙරෙප්පු දෙකක් දමලයි ඇවිදින්නේ. ඒත් ඒ ගැටය සෙරෙප්පුවේ තදට වදින විට හරිම වේදනාවක් දැනෙනවා. කීපදෙනෙක්ම කියනවා ඉස්පිරිතාලයට යන්න, එහිදී විළුඹේ ගැටය කපා ඉවත් කරනවා කියල. මේකට සිංහල වෙදකමින් බෙහෙත් කර සුව කරන්න බැරිද? මේ ගැන ඔබතුමාගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි.
පිළිතුර
ඔබගේ තොරතුරුවලට අනුව ගල්තැලුමක් පවතින බවයි හැඟෙන්නේ. ඔබ පාවිච්චි කරනු ලබන සෙරෙප්පු දෙක සමහර විට විළුඹ ප්‍රදේශයෙන් ගෙවී ඇති. සෙරෙප්පු පාවිච්චි කළත් විළුඹ යන එන විට පාරේ මහපොළොවට වදිනවා ඇති. එහෙම වූ විට ඔබගේ රැකියාව අනුව යන එන විට ගල්වලට, කටුවලට තැළීම්, සීරීම් පවා ඇතිවිය හැකියි. ඒ අනුව මතුවී ඇති ගැටය ගල්තැලුමක් විය හැකියි. ගල්තැලුමේ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුවයි ප්‍රතිකාර ලබා දිය හැකි වන්නේ. බොහෝ විට ගල් තැල්ම ඉවත් කරනු ලබන්නේ තෙල් බෙහෙත් යොදා මොළොක් කිරීමෙන්. සමහර ගල්තැලුම් පිලිස්සීමෙන්ද ඉවත් කරනු ලබනවා. ගල්තැල්ම ඉවත් කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව කරනු ලබන ප්රතිකාරවලින් කිසිදු අතුරු ආබාධයක් ඇති වන්නේ නැහැ.
සිරිදාස රුද්‍රිගු - කඩුවෙල
ප්රශ්නය
වෛද්‍යාචාර්යතුමනි, මම වෙළෙඳ සලක සේවය කරන තිස් දෙහැවිරිදි අයෙක්මි. වසර ගණනාවක සිටම මා වැඩට යන්නේ පාපැදියෙනි. දැනට සති දෙකක පමණ කාලයක සිට පාපැදියෙන් යන විට මගේ දණහිස් දෙක මහත් වේදනාවට පත්වෙනවා. හිසරදයකුත් එනවා. කවරදාවත් නැති විදියේ වෙහෙසක් මහන්සියක්ද පවතිනවා, ඇවිද යන්න බැරි විදයේ කැක්කුමක් කකුල්වලත් තියෙනවා. නිවාඩු දිනවලදී අසල්වැසියන් සමඟ විනෝද ක්‍රීඩාවල යෙදුණා. දැන් ඒ කිසිවකට හිත දෙන්නේ නැහැ. කම්මැළිකම නිසා ඇඳට වී ඉන්නයි කැමැත්ත. මේ තත්තවය ඇතිවන්නේ රෝගයක් නිසාද? මට උපදෙසක් ලබාදෙන්නේ නම් මැනවි.
පිළිතුර
ඔබගේ තොරතුරු අනුව පෙනී යන්නේ ඔබ යකඩ ඌනතාවයෙන් පෙළෙන බව සහ ඉන් මිදීමට නම් යකඩ යහමින් අඩංගු ආහාර එදිනෙදා ආහාරවේලට එක්කරගත යුතු බවයි. මස්,මාළු, හාල්මැස්සන්, කතුරුමුරුංගා, සාරණ, ගොටුකොළ, නිවිති තම්පලා වගේම අලුත් එළවළුත් විටමින් සී බහුල පලතුරුත් ආහාරයට ගත යුතුයි. දොඩම්, පේර, නෙල්ලි, වෙරළු, කාමරංගා වඩාත්ම සුදුසුය. ව්‍යාංජන සූදානම් කිරීමේදී දෙහි ඇඹුලද මිශ්‍ර කළ යුතුය. ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය නිසි අයුරින් ලබාගැනීම සඳහා විටමින් සී බහුල අලුත් එළවළු හා පලතුරු වැඩි වැඩියෙන් ආහාරයට ගත යුතුයි.
ඒ.කේ.ඩී. සිසිලිනා - පඹුරන
ප්රශ්නය
වෛද්‍යතුමනි මා මෙන්ම අපේ දරුවන්ද බෙහෙවින්ම බතල කෑමට පුරුදුව සිටියි. ඔවුන් වඩාත්ම කැමැත්තක් දක්වන්නේ තැම්බූ බතල සමඟ පොල් හා ලුණු මිරිස් එක්කර කෑමටයි. එහෙත් සමහරු කියනවා බතල කෑමෙන් ඇඟේ සීනි වැඩි වෙනවා, ඉන් දියවැඩියාව හටගන්නවා කියලා. මෙහි සත්‍යයක් ඇත්ද යන්න දැන ගැනීමටයි ඔබතුමාගෙන් අසන්නේ.
පිළිතුර
බතල හොඳ ආහාරයක්. ශරීරයේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කරන ඖෂධයක්. ඒ වගේම නිරෝගීතාවයට අවශ්‍ය වන කෙඳි සහිත ආහාරයක් බතල ආහාරයට ගැනීමෙන් නිතර නිතර ඇතිවන බඩගින්න ඇති වන්නේ නැහැ. බතල ආහාරයට ගැනීමෙන් පිළිකා වැලැඳීම ද වළක්වයි. පෙණහලුවලටද ගුණදායකයි. ඇස් රෝගවලටත් සමේ රෝගවලටත් මහඟු ඖෂධයක්. ආහාර දිරවීමද පහසු කරන අතර, මළබද්ධයටත් ඉතාම ගුණදායකයි. එහෙත් වැඩිපුර බතල ආහාරයට නොගත යුතුයි.
නාලක - බණ්ඩිගොඩ
ප්රශ්නය
වෛද්‍යතුමනි, වයස අවුරුදු හතළිස් අටක් වන මම දරු තුන්දෙනකුගේ පියෙක්මි. මා රැකියාව කරන්නේ ආයතනයක ලිපිකරුවකු ලෙසය. දැනට සති දෙක තුනක සිට ආහාරගත් විගස වැසිකිළි යාමක් ඇතිවෙනවා. මට දැනෙනවා මම දුර්වල වී ඇති බවත් මගේ බර අඩුවී ඇති බවත් ය. නිතර නිතර කටට කෙළ උනන ගතියකුත් පවතිනවා. මළපහ කරන විට තෙල් ගතියක් පවතින බවත් පෙනෙනවා. මේ තත්ත්වය භයානක රෝගයක ලක්ෂණයක්ද? සුවකර ගැනීමට කළ යුතු ප්‍රතිකාර හා උපදෙසක් ලබාදෙන මෙන් ඉල්ලමි.
පිළිතුර
මේ රෝගී තත්ත්වයට වඩාත්ම ගුණදායකයි. මෝරුපානය කිරීම. එසේම මුංඇට තම්බා පෙරාගත් වතුරත් ගුණදායකයි. දිවුල් මද, බෙලි මද, ඇඹුල් ඇඹිලිය තම්බා පෙරා ඊට දෙළුම් යුෂ දමා පානය කරන්න. මේ ප්‍රතිකාර කර බලන්න. තවදුරටත් මෙයට ප්‍රතිකාර ගත යුතු බැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම වඩාත්ම සුදුසුයි.
පුෂ්පකුමාර - කලවාන
ප්රශ්නය
වෛද්‍යතුමනි, හතළිස් පස් හැවිරිදි මම සිල්ලර වෙළෙඳ සලක් පවත්වාගෙන යන අයෙකි. දැනට සතියකට පමණ සිට දහවල් කාලයේදී තද හිසරදය හැදෙනවා. එමෙන්ම කැරකැවිල්ලක් ද එනවා වෙනදා වගේ නොව පොඩි දෙයක් කළත් මහන්සි ගතියක් එනවා. මුත්‍රා යෑමද වෙනදාට වඩා වැඩි බව පෙනෙනවා. සමහර වෙලාවට යමක් ලියන විටත් යමක් බලන විටත් ඇස් බොඳ වී ඇති බවත් පෙනෙනවා. කඩේ වැඩ වැඩි නිසා ප්‍රතිකාරයක් ගන්නෙ ගියේ නැහැ. මේ රෝගී තත්ත්වයට ගත යුතු ප්‍රතිකාර ගැන විස්තරයක් හෝ ප්‍රතිකාර ලබාදෙන්නේ නම් වඩාත්ම හොඳයි.
පිළිතුර
ඔබගේ තොරතුරු අනුව අධික රුධිර පීඩනය ඇති බව පෙනේ. අධික රුධිර පීඩනය ඇති විට පමා නොකොට ප්‍රතිකාර ගත යුතුයි. එසේ නොකළහොත් හෘදයාබාධයට ගොදුරු වීම වකුගඩු අකර්මණ්‍ය වීම අංශභාගයට ගොදුරුවීම ආදී රෝගවලට ලක්වීමට ඉඩ ඇත. එබැවින් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය. නිතැතින්ම ආහාරවලට ලුණු අඩුවෙන් යොදා ආහාර ගන්න. කෑමෙන් බීමෙන් වඩාත්ම ප්‍රවේසම් විය යුතුය. තෙල් කෑම, බැදුම්, පිලිස්සුම් කෑම, බටර්, බිත්තර කහමදය, මස් වර්ග ආහාරයට ගැනීම සුදුසු නැත. දුම්පානය මත්පැන් පානය නොකළ යුතු අතර, වැඩිපුර පලා වර්ග ආහාරයට ගත යුතුය. කෙසේ වෙතත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම වඩාත්ම සුදුසුය.
රමේෂි පතිරණ - හිඟුරක්ගොඩ
ප්රශ්නය
වෛද්‍යතුමනි, මගේ දරු තිදෙනාම යන්නේ එකම විදුහලකටයි. පාසල ඇරී එනවිට තිදෙනාම එක ලෙසට රටකජු කෑමට පුරුදුව සිටිනවා. දිනපතාම මේ විදියට රටකජු කනවා. වයස අවුරුදු පහළොවෙ, අවුරුදු දොළහේ හා වයස අවුරුදු දහයේ ළමයනුයි ඉන්නේ. එබැවින් වෛද්‍යතුමනි, මට දැනගන්න අවශ්‍යවන්නේ රටකජු එසේ කෑම ගැටලුවක් ඇති වෙයිද? යන්න ගැනයි.
පිළිතුර
රටකජුවල විටමින් ප්‍රෝටීන්, යකඩ, සින්ක්, පොටෑසියම්, මැග්නීසියම් හා මේද පවතින අතර තන්තුමය ස්වභාවය නිසා ආහාර දිරවීමට ද පහසු වනවා. රටකජු කෑමෙන් හෘදයාබාධ වැනි රෝග ද අඩුකර ගත හැකියි. හෘද රෝගීන්ට මෙන්ම දියවැඩියා රෝගීන්ට ද රටකජු ගුණයි. ලේ ගමන ක්‍රමවත් කිරීමට ද රටකජු උපකාරි වේ. එහෙත් දරුවන් ඕනෑවට වඩා රටකජු කෑම එතරම් සුබදායක නොවේ.
එල්.ආර්.එස්.ද සිල්වා - වේයන්ගොඩ
ප්රශ්නය
වෛද්‍යතුමනි, මම රජයේ පාසලක ගුරුවරයෙකි. මට ඔබතුමාගෙන් දැනගන්නට අවශ්‍යව ඇත්තේ නිව්මෝනියාව වැලඳීමට තුඩු දෙන කරුණු හා නිව්මෝනියාවේ රෝග ලක්ෂණ හා පැවතුම් ක්‍රම ගැනයි. කෙටි විස්තරයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.
පිළිතුර
නිව්මෝනියාව නාසය, උගුර වැනි ස්වසන පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන ආසාදනයකි. උගුර වනවීමෙන් හා සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමෙන් දින දෙක තුනකින් පසු රෝගය වැලඳීමේ රෝග ලක්ෂණ මතුවිය හැකිය. නිව්මෝනියාව වැලඳීමෙන් වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම, පපුවේ දැඩි මහන්සි ගතියක් ඇති වීම හා අමාරුවෙන් හුස්ම ඉහළ පහළ දැමීමක් ද වේ. බැක්ටීරියාවක් හේතුවෙන් ද නිව්මෝනියාව වැලඳේ. නිව්මෝනියා ලක්ෂණ පහළ වූ විට වෛද්‍ය උපදෙස් ලබාගත යුතුමය.
එස්. සෝමලතා - වේරගම්පිටට
ප්රශ්නය
වෛද්‍යතුමනි මා තිස් දෙහැවිරිදි තිදරු මවකි. වෑංජන, එළවළු, මාළු පිනි පිසීමේදී ඒවාට ලුණු, ගම්මිරිස්, අබ, උළුහාල්, සුදුළූණු හා මිරිස් ද එකතු කරමි. මේ කුළුබඩු වර්ග එකතු කිරීමෙන් වෑංජන රසවත් වෙනවා. ඒත් කුළුබඩු නිසා බොහෝවිට දරුවන්ට අහිතකර තත්ත්වයක් උදාවෙනවා යැයි මට මිතුරියක කීවා. මට දැනගන්න අවශ්‍යය මා සඳහන් කළ කුළුබඩු දරුවන්ට දීම නුසුදුසුද යන්නයි.
පිළිතුර
සෑම වෑංජනයක්ම රසවත්වන්නේ තුනපහ එක්කිරීමෙනුයි. තුනපහ වැඩියෙන් දැමීම සෞඛ්‍යයට අහිතකරයි. ගම්මිරිස් යෙදිය යුතු වන්නේ ඉතා සුළුවෙනි. ගම්මිරිස්වල වාතය නසාලීමේ ශක්තියක් ඇත. උළුහාල් යෙදීමෙන් කෑමට ආශාව වැඩිකරයි. සුදුලූනු, අජීර්ණය ඇති නොකරයි. සුදුලූනු ශරීරයට වඩාත්ම හිතකර ඖෂධයකි. වියළි මිරිස් බොහෝවිට මාළු, මස්, කරවලවලට වැඩියෙන් දැමීම සිරිතක් වී ඇත. එහෙත් මිරිස් යෙදූ ආහාර සිරුරට එතරම් ගුණ නැත. අබ යෙදීමෙන් වෑංජන රසය වැඩිකරයි. ශරීරයට අහිතකර තත්ත්වයක් ඇති නොවේ. එහෙත් කුමන තුනපහක් යෙදුවත් එය ප්‍රමාණයට පමණක් යෙදීමෙන් අහිතකර තත්ත්වයක් ඇති නොවේ.
එල්.ආර්. පී‍්‍රතිකා - රත්තොට
ප්රශ්නය
වෛද්‍යතුමනි, මම අවුරුදු විසිඑකක තරුණියක්මි. සතියකට පාරක් දෙපාරක් පමණ මගේ උගුර රිදෙන්න ගන්නවා. කෙළගිලීමට පවා අපහසුයි. ඒ වෙලාවට දෙහි ඇඹුල් ටිකක් ගෑවාම සුවයක් දැනෙනවා. උණුවතුරින් කට සේදුවාමත් සුවයක් දැනෙනවා. මට මෙය සුවකර ගැනීමට බෙහෙතක් ලබාදෙන්න.
පිළිතුර
මුලින්ම සඳහන් කළ යුතු වන්නේ අසාත්මිකතාවක් ඇති වන ලොවි, ගැටදිවුල්, අඹ ගැට වැනි ආහාර අච්චාරු කෑමෙන් වළකින ලෙසය. ශීතකළ ආහාර ගැනීමත් සුදුසු නැත. කෙටි ආහාර වර්ග සහ කෘත්‍රිම ආහාර වර්ග කෑමත් සෙම්ගෙඩිවලට හේතුවකි. අඩු රස්නය ඇති උණුවතුරට ලුණු ස්වල්පයක් දමා උදේට, සවසට උගුර සෝදන්න. සුදුළූණු බික් හතරක් පහක් ගෙන තළා උණුවතුරට දමා කට සෝදන්න. දෙහි ගෙඩියක් ගෙන කෑලිවලට කපා ගම්මිරිස් කුඩු තවරා දිව මදින්න. කෝලසෙලෙස්මා තෛලය ගෙන බෙල්ල දෙපැත්තේ ගාන්න. ඉන් සුවයක් නොමැතිනම් වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගන්න.
ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර