ජීවිතය ගැන කියා දෙන ඒරාෂ්ටක කාල

නොවැම්බර් 8, 2024

අද දිනයේදී මුලින්ම කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ඡ්‍යොතිර්වේදියකුට ජීවිතයේ පළමු වැනි වතාවට මුළු රටම දන්නා තැනැත්තකු බවට පත්වීමට ඒරාෂ්ටක බලපෑ ආකාරයයි. අන්ධ තැනැත්තකු වූ ඔහු අද දවස වෙද්දී මෙරට ප්‍රසිද්ධම ඡ්‍යොතිර්වේදියකු බවට පත් වී ඇත. ඡ්‍යොතිෂ විෂයය තුළ පමණක් නොව තවත් බොහෝ විෂයයන් තුළ සමය සමයාන්තර දැනුමින් යුතු පුද්ගලයකු බවට ඔහු අද දවස වෙද්දී පත් වී ඇත.

ඔහු මට අතීතයේ දවසක පැවසු ආකාරයට ඔහුගේ ලග්නය ‘තුලා’ ය. ඒ අනුව ඔහුට 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත්, 2012 වසරෙහි මැයි 13 වැනිදාත් අතර කාලසීමාව තුළද 2012 වසරෙහි අගෝස්තු 6 වැනිදාත් 2014 වසරෙහි නොවැම්බර් 3 වැනිදාත් අතර කාලසීමාව තුළද ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත විය. ඔහුට ඔහුගේ උපත පිළිබඳව මුළු රටටම හෙළිකරන්නට එවකට පැවති ජනපි‍්‍රයම ජාතික පුවත්පතක් හරහා සම්මුඛ සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලැබනේනේ මේ අතිප්‍රබල ලග්න ඒරාෂ්ටකය ගතවද්දීය. සමහර විට ඔහුට මේ සම්මුඛ සාකච්ඡාව සඳහා අවස්ථාව නොලැබුණේ නම් ඔහු අද වන විටත් අප්‍රසිද්ධ චරිතයක් ලෙස සිටින්නට පවා ඉඩ තිබුණි. එයට හේතුව ඔහුට ඉන්පසුව ලැබුණු සෑම අවස්ථාවක්ම පවා ලැබුණේ ඉහත කී සම්මුඛ සාකච්ඡාව තුළින් ලද ප්‍රසිද්ධිය නිසා වීම හේතුවෙනි. ඒරාෂ්ටක කාලවලදී සිහිනෙන්වත් නොසිතන තරම් සුබ පල ලැබෙන්නට පවා ඉඩ ඇති බවට මෙය කදිම උදාහරණයකි.

මා ඉතාම හොඳින් දන්නා තැනැත්තියකට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වනවාත් සමඟම ඇය ඡ්‍යොතිෂ ඉගෙනීම් ආරම්භ කරන ලදී. ඡ්‍යොතිෂය හැදෑරීමට ඇය තුළ කිසිදු සැලසුමක් නොතිබුණත් හදිසියේ ඡ්‍යොතිෂය හැදෑරීමට පෙලඹුණේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වද්දීය.

මෑතකදී එක්තරා තැනැත්තියක් හට 2020 වසරෙහි ජනවාරි මාසයත් 2023 වසරෙහි ජනවාරිත් අතර කාලසීමාව තුළ අති ප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් තිබී ඇති බව මම ඇයට පැවැසුවෙමි. ඇය පැවසුවේ එම කාලසීමා තුළ ඇය ආගමික ජීවිතයක් ගත කළ බවය. එනම් ඉහත කාලසීමාව තුළ ඇය ධර්මය ශ්‍රවණය කිරීම සඳහා වෙනදාට වඩා යොමු වී ඇති අතර ඊට අමතර ලෙස, භාවනා කිරීම සඳහාද ඇය ජීවිතයේ පළමු වතාවට වැඩිපුර යොමු වී ඇත.

මා ඉතාම හොඳින් දන්නා පුද්ගලයකුගේ ලග්නය තුලා වන අතර ඔහුගේ උත්පත්ති කේන්දර සටහනේ පස්වැනි භාවය තුළ චන්ද්‍රයා තැන්පත්ව ඇත. ඒ අනුව 2023 වසරෙහි ජනවාරි මාසයෙහි ඔහුට ආරම්භ වූ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව 2025 වසරෙහි අපේ‍්‍රල් 1 වනදා දක්වාම තවදුරටත් පවතියි. ඔහුට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වූ පසු ගිය මාස කිහිපය තුළ ඔහුට ඔහුගේ රැකියා ස්ථානය තුළින් බරපතල මූල්‍ය වංචාවක් පිළිබඳ චෝදනාවක් එල්ල විය. එහෙත් එම චෝදනාවෙන් ඔහු නිදහස් වූ අතර රැකියා ස්ථානය තුළ ඔහු සමඟ සේවය කළ අයෙකු මා ඉහත කී තැනැත්තාගේ මුහුණු පොත් ගිණුම ආදිය අවභාවිත කරමින් වංචාව සඳහා මා දන්නා තැනැත්තා හසු වන ආකාරයට එම මුදල් වංචාව සිදු කර තිබුණි. මේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව තුළ මා දන්නා තැනැත්තාට මේ අභූත මූල්‍ය චෝදනාව එල්ල වුවද මේ අතිප්‍රබල ඒරාෂ්ටක කාලවකවානුව තුළදීම එම චෝදනාවෙන්, නිර්දෝශී තැනැත්තකු ලෙස නිදහස් වීමට ද අවස්ථාව ලැබුණි.

කටක ලග්න හිමියන්ට 2023 වසරෙහි ජනවාරි මාසයේ සිට පමණ ආරම්භ වූ අෂ්ටම ඒරාෂ්ටකය 2025 වසරෙහි අපේ‍්‍රල් 1 වනදා දක්වා තවදුරටත් පවතියි. ගෙදර සියලුම සාමාජිකයන් කටක ලග්න හිමියන් වන තැනැත්තියක් මා හට පසු ගියදා මුණ ගැසී ඇය හට, මේ තදබල ඒරාෂ්ටකය පවුලේ සැමටම ගත වූ පසු ගිය කාලවකවානුව තුළ අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී ඇති බව පැවසීය. ඇය සතුව තිබූ වටිනා ඉඩමක් වංචනිකයන් පිරිසක් විසින් ව්‍යාජ ඔප්පුවක් පිළියෙළ කර වෙනත් අයෙකුට විකුණා තිබුණි. ඒ වෙනුවෙන් ඇය මේ වන විට නෛතික ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර එය බොහෝදුරට විසඳා ගත හැකි තත්ත්වයක් පවතින බව ඇය පවසයි. කෙසේ වෙතත්, මේ බරපතළ වංචාව සිදුකර ඇත්තේ ඉතා තදබල ඒරාෂ්ටක පවුලේ සියලු දෙනාටම පාහේ ගත වන විට වුවද එම වංචාව හෙළි වී ඇත්තේද එම ඒරාෂ්ටක කාලය තුළදීම බව පෙනේ. යම් හෙයකින් එම වංචාව හෙළි නොවූයේ නම් එම සිද්ධිය ඉතා බරපතළ තත්ත්වයක් බවට පත් වී ඔවුන්ට ඉඩම අහිමි වීමට පවා ඉඩ තිබුණි. එමෙන්ම මේ තදබල ඒරාෂ්ටක කාලසීමාව තුළම ඔවුන්ගේ පවුලට සම්බන්ධ සමීපතම ඥාතියකු මිය යාම ඔවුන්ට බෙහෙවින් කම්පාකාරි අත්දැකීමක් වී ඇත.

මගේ සමීපතම ඥාතියෙකුට 2023 වසරෙහි ජනවාරි පමණ සිට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ආරම්භ වී ඇති අතර 2025 වසරෙහි අපේ‍්‍රල් 1 වැනිදා දක්වාම එම කාල වකවානුව තවදුරටත් පවතියි. ඔහුගේ දියණියට විවාහ සහකරුවකු තෝරා ගැනීමේ ගැටලුව ඔහුට පීඩාකාරි වූ ගැටලුවක් වුවත්, හදිසියේ ඔහු ඉතාමත්ම කැමති පවුලකින් ඇයට විවාහ යෝජනාවක් ලැබුණි. ඒ අනුව ඔහුට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වද්දී ඔහුගේ දියණියගේ විවාහය නෑදෑ හිතවතුන් රැසක් මධ්‍යයේ උත්සවශ්‍රීයෙන් සිදු විය.

මා ඉතාම හොඳින් දන්නා මඳක් දුරින් ඥාති වන වෘෂභ ලග්නය දරන පුද්ගලයකුගේකේන්ද්‍ර සටහනට අනුව, 2017 වසරෙහි ඔක්තෝබර් 6 වැනිදාත්, 2020 වසරෙහි ජනවාරි 24 වැනිදාත් අතර කාලසීමාව තුළ අතිප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ගත විය. එම කාලසීමාව තුළ ඔහුට ඔහු විසින්ම ගොඩනංවා ගන්නා ලද ඉතා අනර්ඝ නිවෙසක පදිංචිවීම සඳහා වාසනාව උදා විය. එම නිවෙසෙහි ගෙවැදීමේ උත්සවයට ගිය අය පැවසුවේ එය ඉතා අලංකාර නිවෙසක් බවය.

කටක ලග්නය දරන මගේ ඥාතිවරියකට 2023 වසරෙහි ජනවාරි මාසයේ සිට අතිප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකයක් ආරම්භ වී ඇති අතර 2025 වසරෙහි අපේ‍්‍රල් 1 වනදා දක්වාම එම ඒරාෂ්ටක කාලය පවතියි. ඇයට එම ඒරාෂ්ටක කාලසීමාව තුළ මව අසනීප වීම, පියා අසනීප වීම වැනි දැඩි අභියෝගවලට මුහුණදීමට සිදු විය. කෙසේ වෙතත් මේ තදබල ඒරාෂ්ටක කාලවකවානුව තූළ විවාහය තරමක් දුරට ප්‍රමාද වූ ඇයගේ වැඩිමහල් සහෝදරයාගේ විවාහය ඇය ඇතුළු පවුලේ සාමාජිකයන් පි‍්‍රය කරන පවුලකින් සිදු විය. මේ සියල්ලෙන් පෙනී යන්නේ ඒරාෂ්ටකය යනු බිය විය යුතු දෙයක් නොව ජීවිතය පිළිබඳ අවබෝධය ලබා දෙන මෙන්ම ඇතැම් විට අසීමිත සුබපල පවා ලබා දෙන අවස්ථාවක් බවය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.