උත්සාහය, වාසනාව සහ දකුණු මොළය

අගෝස්තු 16, 2024

සමහරුන්ට යමක් සිතන විටම ලැබේ. එවිට අප පවසන්නේ ඔවුන් වාසනාවන්තයන් කියාය. බලගතු කේන්දරයක් ඇති කියා ද සිතිය හැකිය. තවත් සමහරුන්ට දෙයක් ලැබීමට නම් ඉතා වෙහෙස මහන්සි වී උත්සාහ කළ යුතුය. බාධක එක පිට එක ජයගත යුතුය. එවිට එතරම් වාසනාවන්ත නොවුණත් උත්සාහවන්තයකු ලෙස මෙන්ම කේන්දරයේ අපල ඇතැයි ද කියනු ඇත. තවත් සමහරුන්ට කිසිවක් ලැබෙන්නේම නැත. උත්සාහ දරන්නට සිත දුන්න ද එය එක දිගට පවතින්නේ ද නැත. කරුමයක් පටිසන් දී ඇතැයි අතපය හකුළුවාගෙන නිදා ගන්නට සිත් දෙයි. දැඩි අපලකාරයෙක් යැයි අනුන් කියනු ඇසෙයි. මහ කරුමක්කාරයෙක්, අවාසනාවන්තයෙක් ලෙස හංවඩු ගැසෙයි. එසේ දිගටම කියන විට ඒ අයුරින්ම තව තවත් ජීවිතය අගාධයට යනවා මිස දියුණු වෙන්න සිතක් දෙන්නේම නැත. එහෙත් එසේ කියන විට ඇතැමුන්ට නයාට පොලු පහරක් වැදුණා සේ නැඟී සිටීමේ ධෛර්යයක් එන අවස්ථා ද නැතුවා නොවේ. ඒ ග්‍රහයා මාරුවන විටකයැයි යමෙකු කිව හැකිය. එසේ නැඟී සිටින්නට ග්‍රහයා මාරු වන්නේ ආත්ම අභිමානය පිළිබඳ අබමල් රේණුවක හෝ හැඟීමක් ඇත්තෙකුට එය කෙළෙසෙන බව දැනුණු විටය.

එවිට පුද්ගලයා කරන්නේ දැනට සිටින තත්ත්වයෙන් ගොඩ ඒමට උත්සාහ කිරීමයි. එයට යන කාලය තීරණය වන්නේ තමන්ගේ සිතේ ශක්තිය අනුවය. සමහරුන්ට නම් බාහිර පරිසරයේ බලපෑම ද එයට සහාය හෝ බාධා පමුණුවනු ඇත. බාධක දෙස බලමින් සිටිනවා වෙනුවට තරගයට සූදානම් කළ අශ්වයා මෙන් දෑස දෙපස නොදකින ලෙස ආවරණ යොදා අරමුණක ගමන් කළ හැකි යමෙකුට ඉතා ඉක්මනින් තමන්ගේ ඉලක්ක කරා ළඟා විය හැකි වනු ඇත. එවිට උත්සාහවන්තයා ජය ගනී යනුවෙන් මිනිසුන් කියනු ඇසෙන්නට පටන් ගනී. උත්සාහයෙන් ජය ගන්නා විට මිනිහා වාසනාවන්තයා යැයි කියන්නට ද මිනිසුන් පෙලඹෙනු ඇත. චක්‍රය කැරකැවෙන්නේ එලෙසය. එය සැබැවින්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජයට ලැබෙන ප්‍රතිචාර මෙනි. දිනන කාලයට මල් ද පරදින විට ගල් ද සමාජයෙන් ලැබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පමණක් ම නොවේ. අප කාටත් අඩු වැඩි වශයෙන් තමන්ගේ ජනප්‍රියත්වය අනුව හරියන විට මල් සහ කටකතා ද වරදින විට ගල් සහ අපහාසද බලාපොරොත්තු විය හැකිය. වාසනාවන්තයන් ලෙස සිතන අයට ද අනෙක් පසට මේ චක්‍රය ක්‍රියාත්මක වීමෙන් හිඟමනට වැටුණු අවස්ථා ද නැතුවා නොවේ. ඒ අනවශ්‍ය තරම් තමාගේ ලැබීම අවභාවිත කිරීම නිසාය.

ඒ කෙසේ වෙතත් උත්සාහය අත් නොහරින දැඩි අධිෂ්ඨානශීලී පුද්ගලයන් සහ වාසනාවන්තයන් අතර වෙනසක් ඇත්තේ ද නැත්තේ ද නොවේ. පෙර භවයන්හි යහපත් කර්ම සිදු කර ගැනීම නිසා හෝ වාසනාවන්ත යැයි අප භෞතික වශයෙන් බාහිරව දකින පවුල් පසුබිමක් සහිතව උපදින්නට හැකි වන්නකුට මෙන්ම උත්සාහවන්තයන්ට ද පිහිටන යම් පොදු ලක්ෂණයක් ඇත. එනම් වාසනාවන්තව ඉපිද ඒ වාසනාව දිගටම පවත්වාගෙන තවත් දියුණු වන අයට උපතින්ම මොළයේ දකුණු පස කොටස හොඳීන් ක්‍රියාත්මක වීමය. ඔවුන්ට තමන්ගේ අරමුණ සිහිනෙන් මෙන්ම සැබැවින් චිත්තරූප ලෙස දැකීමට හැකියාව ඇති නිසාය. එවිට ඒ සිතන පතන දෑ එලෙසින්ම ලැබෙන අතර පොහොසත්කම මත එය ලබා ගැනීමට වැය වන කාලය තීරණය වේ. උත්සාහවන්තයාගේ ද එයට සමාන ලක්ෂණය වන්නේ දකුණු මොළය ක්‍රියාකාරී මට්ටමේ පැවතීමයි. එනිසා යටි සිත ලෙස සරලව හැඳීන්විය හැකි චිත්ත ධාරා තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම වෙනුවෙන් මෙහෙය වන්නට උත්සාහවන්තයාට ශක්තිය ලැබෙයි. එවිට නිකම්ම ලැබෙන වාසනාවන්තයාට වඩා උත්සාහයෙන් ලබා ගන්නා උත්සාහවන්තයාට එහි වටිනාකම වැඩියෙන් දැනෙයි.

නවීන විද්‍යාවෙන් මේ දකුණු මොළයේ නිසග අපේක්ෂා බලාත්මක කර ගන්නා ආකාරය සොයා ගැනීමට පෙර ශාස්තෘවරුන් ඒ පිළිබඳ සාමාන්‍ය ජනතාවට පවසා ඇති බව බයිබලය, කූරානය, භගවත් ගීතාව මෙන්ම ත්‍රිපිටකය පරිශීලනය කරන්නකුට පහසුවෙන් දැනගත හැකි වනු ඇත. එහිදී අප අවබෝධ කරගත යුතු වන්නේ තමන්ගේ ඇදහීම කුමක් වුවත් එය පවත්වාගෙන යන අතර තමන්ගේ දෙවියා තමන්ම බව අවබෝධ කරගත යුතු බවය.

තමන් හිසට තම අතමය සෙවණැල්ල යන්නෙන් අද අප බොහෝ විට අවබෝධ කරගන්නේ සරල උදවු පදවු පිළිබඳ වුවත් එහි ගැඹුරු අදහස නම් තමන්ගේ විමුක්තිය සලසාගත යුත්තේ තමන්ම යන්නය. එය ලෞකික විමුක්තිය හෝ ලෝකෝත්තර විය හැකිය. අධිෂ්ඨානශීලී නොවන්නකුට ලෝකෝත්තර වශයෙන් තමන්ගේ ගමනාන්තය සඳහා යොමු විය නොහැකිවා සේම ලෞකික වශයෙන් දිනන්නේද අධිෂ්ඨානශීලී පුද්ගලයන්මය. එහිදී සිදුවන්නේ තමන්ගේ සිතිවිලි තරංග විශ්වයේ කම්පනය සමඟ අනුනාද වීමට පටන් ගැනීම යැයි පහසුවෙන් වටහා ගැනීම පිණිස අපට සිතිය හැකිය. විශ්වයේ රිද්මයට එකඟ වන පුද්ගලයාට විශ්වය සියල්ල ලබා දෙනු ඇත. උත්සාහවන්තයා ජය ගන්නේ එසේය. එබැවින් උත්සාහවන්ත වීමට උත්සාහ කරන ඕනෑම අයකුට වාසනාවන්තයකු විය හැකිය. එයට හේතුව අප කාටත් උරුම මොළයේ දකුණු පස කොටස එවිට ක්‍රියාත්මක වීමට පටන් ගැනීමයි. එබැවින් මොළයක් හිමි සැම අයකුටම උත්සාහය තිබේ නම් තමන්ගේ සිහිනය ජය ගෙන වාසනාවන්තයකු වීම යනු කළ නොහැක්කක් නොවේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.