සුර නර සහ සුර

ජූලි 19, 2024

අප ජීවිතයේ කිසියම් හෝ මොහොතක ගුප්ත විද්‍යා කටයුත්තකට පෙලඹෙන්නේ නම්, ඒ ඉරණම පිළිබඳ අවදානම් හැඟීමක් අප කෙරෙහි පහළ වී ඇති බවට දැනෙන හැඟීමක ප්‍රතිපලයකි. සතුට සැනසුම ඇති බවට ලෝකයා දකින තරමට තමාගේ සිත තුළ ඒවා යහමින් පවතින්නේද යන්න කිව හැක්කේ අදාළ පුද්ගලයාටම පමණි. එනිසාම අවිනිශ්චිත ලෝකයේ තාවකාලික නිශ්චිතතාවක් සොයමින් බොහෝ දෙනා සුරයන්ගේ පිහිට, නරයන්ගේ පිහිට මෙන්ම ජීවිතාරක්ෂක සුර, දියුණුව ලබන යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදියට යොමු වනු දැකිය හැකිය.

මිනිසුන්ගෙන්ම පින්පෙත් ලබාගෙන දිව්‍ය සැප සම්පත් විඳීමට උත්සුක වුවද සුර ලොව වැසියන් හට මිනිසුන් දක්වන්නේ අසීමිත භක්තිය මුසු බියකි. එයට හේතුව මිනිසුන්ට වඩාත් සමීප ස්වරූපයෙන් දැක්වූව ද මනුෂ්‍ය ලක්ෂණවලට වඩා විකෘති වූ දේහ ලක්ෂණ ඇති දෙවියන්ට කළ හැකි දේ බොහෝ බව අත්දැකීමෙන් හා අත්විඳීමෙන් මිනිසුන් විශ්වාස කරන බැවිනි. එසේම තමන්ට වඩා ධනයෙන්, බලයෙන් පිරුණු මිනිසුන්ට ද සාමාන්‍ය මිනිසුන් බය පක්ෂපාතබව දක්වන්නේ දෙවියන්ට මෙන්ම මේ උත්තමයන්ට ද නොකළ හැකි දෙයක් නැති බව විශ්වාස කරන බැවිනි.

සැම විටම දුබලයා බලවතාට බියක් දක්වන අතර බලවතා ඒ බිය තහවුරු කරන අන්දමින් හැසිරීම ලෝකයේ බිහි වීමේ සිට දක්නට ලැබෙන ස්වභාවයකි. මෙය වෙනස් වන්නේ බලවතාගේ බල බිඳීමට හැකි තවත් ප්‍රතිමල්ලවයෙක් දක්නට ලැබුණු විටය. ඒ මොහොතේ සිට පළමුව කී බලවතා තමන්ට වඩා උසස් බලයක් ඇති බව සිතන දෙවි බඹුන් කෙරෙහි හෝ යක්ෂ භූත ආත්ම කෙරෙහි හෝ විශ්වාසය තැබීමට පටන් ගනී. ඒ නිසාය ගුප්ත විද්‍යා ක්‍රම බොහෝ විට බලය ඇත්තන්ගේ ආරක්ෂාවට යොදා ගැනෙන්නේ.

එහෙත් අදෘශ්‍යමාන බලවේගවලින් වුව සහයෝගයය ලැබීමට නම් තමන්ගේ පිළිවෙත්වල යම් පිළිවෙළක් තිබිය යුතුය යන්න මෑත කාලීන අත්දැකීම්වලින් පැහැදිලි වේ. පන්සිල් පද නිතර ගැනීමට වඩා තමන් වරක් හෝ සමාදන් වූ පන්සිල් රකින්නාට මේ සියලු බලවේගවලට එරෙහිව නැඟී සිටින තමන්ගේම ඕරාවේ ශක්තිය හඳුනාගත හැකි වනු ඇත. ජීවම් කළ සුරයකින් හෝ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් හෝ යහපතක් බලාපොරොත්තු වන්නේ නම් ඒ පුද්ගලයා නිරන්තර පස්පවු දස අකුසල්වලින් මිදී යහපත් මනුෂ්‍යයකු ලෙස ජීවත් වීම අත්‍යවශ්‍ය වන්නේය. එයට හේතුව මේ සියලු කාරණාවලට මුල්වන්නේ තරංගවල බලය වීමයි.

තරංග අලෝක, ශක්ති, ශබ්ද හෝ වෙනත් කුමන ආකාරයකින් වුව මිනිසකුට යහපත මෙන්ම අයහපත උදා කිරීමට ඉදිරිපත් වනු ඇත. යහපත් චේතනාවන් මුල් කරගෙන කටයුතු කරන ඇත්තකු හට නිරන්තර තම සිත කය වචනය මඟින් නිකුªත් කෙරෙන යහපත් තරංගවල ශක්තිය හිමිවේ. කෘත්‍රිමව සෙත්කවි කීමෙන් හෝ යන්ත්‍ර පැලඳීමෙන් හෝ මැණික් ගල් ආදිය යොදා ගැනීමෙන් බලවත් කරන ජීවියා වටා තාවකාලිකව විශාල ශක්තියක් ගොඩනැඟුණ ද තමන්ගේ සිතිවිලිවලින් මුදා හරින, තමන්ගේ වචනවලින් නිකුත් කෙරෙන මෙන්ම ක්‍රියාවලින් බලගැන්වෙන අයහපත් කම්පණවල බලපෑම බාහිරව බල ගැන්වූ ශක්තිය හීන කරවනු ඇත. එනිසා යම් මොහොතක ඒ පිරිහුණු ශක්තියෙන් නිකුත් කරන ඍණාත්මක බලපෑමට පුද්ගලයා හසු වනු ඇත.

එබැවින් යමෙකු යහපත් ලෙස ජීවත් වන්නේ නම් කෘත්‍රිමව බලවත් කළත් නැතත් තම ඕරාව බලවත් වේ. එයට හොඳම උදාහරණය බුදු හිමියන්ගේ ශ්‍රී දේහයෙන් නිකුත් වූ බව සැලකෙන බුදුරැස් මාලාව හෙවත් ප්‍රබල ඕරාවයි. සුර නර සියල්ලන්ගෙන් වැඳුම් පිදුම් ලැබීමට තරම් ප්‍රබල ඒ රශ්මි මාලාවට සම කළ නොහැකි වුවත් සෑම මිනිසකුටම දියුණු කරගත හැකි මානසික ශක්තිය සමඟ බැඳුණු රැස් වළල්ලක් හිමිය. ගුප්ත ක්‍රමවේදවලින් එය බලගන්වා ගැනීමට හැකි වුවත් එහි යහපත් ප්‍රතිපල ලැබෙන්නේ යහගුණ වඩවන තරමටම පමණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.