වාස්තු දෝෂ නැති මුළුතැන්ගෙයක්

ජූලි 19, 2024

නිවෙසක අත්‍යවශ්‍ය ශක්ති ක්‍රියාකාරීත්වය සලසන මුළුතැන් ගෙය හෙවත් කුස්සිය නිවැරැදි ලෙස පිහිටුවීම අතිශයින් වැදගත් බව මීට පෙරත් අපි සාකච්ඡා කර ඇත්තෙමු. එසේම එහි ඇතුළත සැකැස්ම වඩාත් සැලකිල්ලෙන් සකස් කිරීමද වඩාත් යහපත් නිවෙසක් ගොඩනඟා ගැනීමට ඉවහල් වේ.

මුළුතැන්ගෙය පිහිටුවීමේ දී නිවෙසේ නිවැරැදි මධ්‍යය හෙවත් බ්‍රහ්ම බින්දුවේ සිට බැලීමේ දී උචිතම දිශාව වන්නේ ගිනිකොන දිශාව බවට අපේ රටේ මෙන්ම භාරතීය හා චීන වාස්තු ශාස්ත්‍රය අනුවද අවිවාදයෙන් පිළිගනු ලැබේ. එසේ වුවත් ගිනිකොනට විකල්පව මුළුතැන්ගෙය සඳහා භාවිත කළ හැකි දිශාව ලෙස භාරතීය මෙන්ම නූතන බටහිර විද්‍යාත්මකව පිළිගන්නා වයඹ දිශාව පිළිබඳව චීන වාස්තු ශාස්ත්‍රයේ එතරම් එකඟතාවක් දක්නට නොලැබේ.

මුළුතැන්ගෙයි වැදගත්ම ඊට අතිශයින් අනන්‍ය මෙවලම වන්නේ ළිප හා රත් කිරීමක් සිදු කෙරෙන උපකරණයි. එබැවින් මෙහිදී නිශ්චිතව ඒවා ගිනිකොන හෝ විකල්ප වශයෙන් වයඹේ හෝ පිහිටා ඇත්තේ දැයි විශේෂයෙන් සලකා බැලීම අත්‍යවශ්‍ය වේ.

පුරාතන වාස්තු ව්‍යවහාරයන් අනුව ළිප සමඟ කටයුතු කිරීමේ දී නැඟෙනහිර දිශාවට හැරී එය කළ යුතු බවට නිර්දේශයක් ඇතත් අද භාවිතයට ගන්නා ළිප් වර්ග සමඟ දීර්ඝ කාලයක් රැඳී කටයුතු නොකරන බැවින් එවැනි නිර්දේශයක වලංගුතාවය එතරම් බලවත් නොවේ.

මුළුතැන් ගෙයක අභ්‍යන්තරයේ ආලේප කළ යුතු වර්ණ පිළිබඳව චීන වාස්තු ශාස්ත්‍රයේ දක්වන නිර්දේශය කොළ (හරිත) පැහැය වුවත් පොදු භාවිතය අනුවද සැලකීමේ දී එහි ළා පැහැයක් එයට යොදා ගත හැකියි. එවිට ආහාරයේ රුචි බව හා රසවත් බව පිළිබඳ හැඟීමකින් යුතුව ආහාර සැකසීමට යම් පෙලඹවීමක් ඇතිවන බව සැලකෙයි.

පොදුවේ සියලු ගෘහ අංගයන්ට මෙන්ම මුළුතැන්ගෙයටත් හොඳ ස්වභාවික හිරුඑළිය වැටීමට අවකාශ සැකසීම වැදගත් වේ. මුළුතැන් ගෙය ගිනිකොනේ නම් ඒ අනුව නැඟෙනහිර දිශාවටත් එය වයඹේ නම් බස්නාහිර දිශාවටත් ජනේල හා වෙනත් කවුළු තැබීම මේ අනුව අතිශයින් වැදගත් වේ. එවිට අන්තරීක්ෂ ශක්තියත් අවශ්‍ය තාප ශක්තියත් එයට හොඳින් ඇතුළත් වනු ඇත. මෙහිදී දිශා සලකනුයේ නිවසේ මධ්‍යයේ සිට නොව මුළුතැන්ගෙයි මධ්‍යයේ සිට බව සැලකුව මනාය.

සේදුම් බේසම හෙවත් සින්ක් බේසම පිහිටුවීමේ දී ළිප වැනි රත්වන දේවලින් හැකිතාක් ඈතින් පිහිටුවීම සම්ප්‍රදායිකව සතුරු ධාතුන්ගේ ගැටුම අඩු කිරීමටත් නූතන අර්ථයෙන් අන්තරීක්ෂ ශක්තියේ කැළඹීම් ඇති නොකිරීමටත් අතිශයින් වැදගත් වේ. එසේම මුළුතැන් ගෙයි පැවතිය යුතු වියළි ස්වභාවයට යම් බාධා කිරිමක් සිදුවන මෙවලමක් වන බැවින් මෙහි නිරන්තරයෙන් ජලය නොරැඳෙන පරිදි පහසුවෙන් වතුර බැස යන අයුරින් ආහාර සැකසුම් පුවරු හෙවත් ස්ලැබ් මට්ටමට වඩා කුඩා හෝ පහතකින් එය පිහිටුවීම අත්‍යවශ්‍ය වේ. එවිට ඒවායේ රැඳෙන ජලය පහසුවෙන් ඉවත් කළ හැකියි.

ආහාර සැකසුම් පුවරු හෙවත් ස්ලැබ් යෙදීමේදී ඒවා යාබද වැසිකිළියක් ඇත්නම් ඊට යාබද කොට පිහිටුවීම උචිත නොවේ. මේ සඳහා විවිධ ද්‍රව්‍යවලින් තැනූ පුවරු භාවිත වුවත් බිම් උළු හෙවත් ටයිල් වර්ගයක් වෙනුවට මේ සඳහා ග්‍රැනයිට් කිරිගරුඬ ආදී ස්වභාවික දේ භාවිත කළ හැකි නම් මුළුතැන්ගෙයි ස්වභාවික ශක්ති චරණයට එය මහත් රුකුලක් වනු ඇත. මිල අධික බැවින් මුළු කොටසටම එසේ යෙදිය නොහැකි නම් ආහාර සැකසීමේ දී භාවිතයට ගන්නා මෙවලම් භාවිත වන පෙදෙසේවත් යම් කොටසකට හෝ මෙවැනි ස්වභාවික පුවරු භාවිතයක් කළ හැකි නම් ඵලදායී වන බව කිය යුතු වේ.

මුළුතැන්ගෙයි විවිධ රාක්ක හා කබඩ් අල්මාරි ආදී බොහෝ දේ ඇතුළත් කිරීම අවශ්‍ය වේ. මෙවැනි දේ පහසුව පමණක්ද සලකා ඕනෑම දිශාවකට පිහිටුවීම සාමාන්‍ය භාවිතය වුවත් එවැනි දේ යම් සැලකිය යුතු උසකින් පිහිටුවන්නේ නම් නිවෙසේ මෙන්ම මුළුතැන් ගෙයි (මැද සිට බැලීමේ දී) උතුරු, නැඟෙනහිර හෝ ඊශාන දිශා මඟහැරීමට කටයුතු කරන්නේ නම් මැනවි. ආහාර සැකසුම් පුවරු හෙවත් ස්ලැබ් යටින් හෝ ඒ මට්ටමෙන් යොදන කබඩ් සඳහා නම් ඕනෑම දිශාවක් භාවිත කිරීමෙන් හානියක් සිදු නොවේ.

නිවෙස අභ්‍යන්තරයේ විවිධ ප්‍රාණවත් ශාක වර්ග පිහිටුවීම උචිත වුවත් කෘත්‍රිමව මිස ස්වභාවික ලෙස වැඩෙන පැළ වර්ග මුළුතැන් ගෙයි අභ්‍යන්තරයේ පිහිටුවීම උචිත නොවේ. එසේ කළහොත් ශුභ ශක්තීන් විහිදුවන පැළෑටි වර්ගවලින් පවා යම් අශුභ ශක්තීන් නිකුත් විය හැකියි.

කුඩා මුළුතැන් ගෙවල් භාවිතයේ දී සමහර භවතුන් එය විශාල කොට පෙන්වීම සඳහා කන්නාඩි භාවිතයක් සිදු කරන අවස්ථා අප දැක ඇත. එහෙත් එවැනි විශේෂ කාර්යයකදී නම් දිශාවන් සැලකීම අතිශයින් වැදගත් වේ. එහිදී මුළුතැන් ගෙයි නිරිත, දකුණ, බස්නාහිර දිශාවල පිහිටි බිත්තිවල කන්නාඩි පිහිටුවීම සිදු නොකළ යුතු වේ.

ප්‍රණීත ආහාර වර්ගවල පින්තූර මුළුතැන් ගෙයි පිහිටුවීම වාස්තුමය වශයෙන් අයහපත් වූවක් නොවේ. එවිට ආහාරයක, ප්‍රණීත බව පිළිබඳව යම් සැලකිල්ලක් ඇතිවීමටත් අහාර සකසන්නාගේ ශක්ති ශරීරයේ යහපත් ප්‍රවණතා ඇති කරනු නිසැකයි.

අවසන් වශයෙන් ළිප පිහිටුවීමේ දී සිදු කරන එක් දුර්මතයක් පිළිබඳව සටහන් කළ යුතු වේ. එය නම් ගිනිකොන හෝ වයඹට ළිප ආදී රත් වන දේ තැබීමයි. මෙය නොකළ යුත්තක් බව අවධාරණය කළ යුතු වේ. නිදසුනක් ලෙස උතුරේ පිහිටුවා ඇති මුළුතැන් ගෙයක් ඇතුළත ගිනිකොනට ළිපට දැමීමට යෑමේදී එය නිවසේ ඊශානයට නැඹුරුවීම සිදුවේ. මෙය බරපතළ වාස්තු දෝෂයක් මෙන්ම අතිශය දුර්විපාක ගෙන එන බරපතළ තත්ත්වයක් බව අපි සිහිපත් කර ගත යුතු වේ. දකුණේ පිහිටි මුළුතැන් ගෙයක වයඹ භාවිතයද මෙවැනිම ආකාරයට නිරිතට ළිප වැටී බරපතළ පීඩා ලබා දිය හැකි බව ද අවධාරණය කළ යුතුය.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.