ඒරාෂ්ටක හා කර්මපල

ජුනි 21, 2024

අපල සහ විපත් පිළිබඳ බිය වන අප නිතර සැලකිලිමත් වනුයේ සෙනසුරු ඒරාෂ්ටකය පිළිබඳවය. සෙනසුරු පිළිබඳ මවා ඇති රූප ස්වභාවය හා හැඳීන්වීම නිසාම මෙලොව දියුණුවට අකුල් හෙළන, සසර කලකිරෙන තරම් දුක් පීඩා දෙන වම් කකුලේ දදයක් සහිත කිළුටු දුෂ්ට මහල්ලකුගේ ස්වරූපයක් සිත්වලට කාවද්දා තිබේ.

එහෙත් අපල දෙන්නේ සෙනසුරු විතරමද යන්න වෙනමම සැලකිය යුතු කරුණකි. අප මහත් ගෞරවයෙන් සලකන ගුරු ග්‍රහයා පිළිබඳ ඇත්තේ සෙනසුරුට හාත්පසින්ම වෙනස් වූ ආකල්පයකි. එනම් මහත් වූ මහත්මා ගතිගුණ ඇති බැවින් තරහ වුවද හානියක් නොකරන ඉතා උතුම් ගුරුවරයෙකු බඳු බැවින් ගුරුට මවා ඇත්තේ අතිශය යහපත් ප්‍රතිරූපයකි. එසේ වුව ද එබඳු පොදු ආකල්පයක් දරන අතර රහසින්ම සෙනසුරුටත් වඩා දරුණු ලෙස ගුරු ග්‍රහයා ගන්නා පළිගැනීම් පිළිබඳ ඇතැම් විට අප විශ්වාස කරන්නේද නැත. ඒ අප හොඳ යැයි සිතා සිටින්නකු අපට නපුරක් කළ ද අප විශ්වාස නොකරන්නාක් මෙනි.

කෙසේ වෙතත් දුෂ්ට බව දන්නා සෙනසුරු ගෙන් අපල ඇතිවන බව සැක නැති නිසා අපට ඒවාට පෙර සූදානම් විය හැකිය. යහපත් බව පෙන්වා අයහපත කරන්නන් සතුරන්ට වඩා භයානක බව දත යුතුය.

කෙසේ වෙතත් සෙනසුරු ඒරාෂ්ටකය පිළිබඳ බිය දනවන මෙන්ම සතුට දනවන කතාබහද දැන් දැන් පළ වෙමින් පවතී. ඒ අතරින් සෙනසුරු ඒරාෂ්ටකයේ ලද යහපත් ප්‍රතිපල පිළිබඳව ඇත්තේ මහත් උනන්දුවකි. එයට හේතුව හදිසි අනතුරු, විපත් ගැන පොදුවේ ඇති අවබෝධයට වඩා වෙනස් අත්දැකීමක් ලෙස එහි එන හෙළි දරවු කිරීම් කෙරෙහි ඇති විචිකිච්චාව යි.

ඒ අතර ඒරාෂ්ටක සමයේ රාජ්‍ය නායකත්වය ලැබූවන්, ඉහළ තනතුරු ලැබීම්, විවාපත් වීම්, දරුවන් ලැබීම වැනි දේ ලෞකික ජයග්‍රහණ ලෙස අපට දැකිය හැකිය. මේ පිළිබඳ සියුම්ව කල්පනා කර බලන විට අප අවබෝධ කරගත යුතු කරුණක් වෙත අවධානය යොමු කරනු කැමැත්තෙමි. එනම් රාජ්‍ය නායකත්වය යනු රටක විශාලම ජයග්‍රහණය ලෙස අපට එකහෙළා පිළිගත් හැකි බව සැබෑවකි. එහෙත් පුද්ගලයකු නිදහස පිළිබඳව හෝ ලෝකෝත්තර මාර්ගය පිළිබඳ සිතනවා නම්, එවැනි ඉතාම ඉහළ තනතුරු ලැබීම තරම් තවත් අපලයක් මේ මනුසත් ලොව නැති තරම්ය. සිදුහත් කුමරු චක්‍රවර්තී රජකම අතහැර තවුස්දම් පුරන්නට අබිනික්මන් කළේ මේ තනතුරුවල ස්වභාවය සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පෙරුම්දම්වලින් අවබෝධ කොටගෙන සිටි බැවිනි.

අපට ඇතැම් විට අපගේ පෞද්ගලික ප්‍රශ්න විසඳා ගන්නට ශක්තිය සොයමින් සිටින විට කෝටි සංඛ්‍යාත ජනතාවගේ ප්‍රශ්න ගැටලු විසඳීමට තරම් තත්ත්වයක් උදා වීම යනු එක් අතකින් මහත් පිනක් මෙන්ම එක් අතකින් කර්ම පලයක් පටිසන් දීමක් ලෙසද සැලකිය හැකිය. එසේම තනතුරු සමඟ අනතුරු කීවා සේ තනතුරක් ලැබීමෙන් පසුව එහි වගකීම් ඉටු කිරීමට ඇතිවන බැඳීම සමඟ යම් මානසික පීඩාවක් ඕනෑම ශක්තිවන්තයකුට ඇති වන බව නොරහසකි. එබැවින් එය ඒරාෂ්ටකය පල දීමක් වනු ඇත. විවාපත් වීම හිරයක් ගැනීම ලෙස හඳුන්වන බැවින් එය ඒරාෂ්ටකයේ පල දෙන සොඳුරු හිරයක් ලෙසද සැලකිය හැකිය. එසේම රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කීවා සේ දරුවකු ඉපදීම මහත් සම්පතක් වුව එයින් පසු ඇතිවන වගකීම සහ දරුවන් නිසි ලෙස හදාවඩා පෝෂණය කිරීමත් ඔවුන් සුරක්ෂා කර නිසිමඟ යැවීමටත් ඇතිවන වගකීම සසරෙහි ඇති විශාලම බැඳීම බව යළි යළිත් පැහැදිලි කළ යුතු නොවේ.

ඒ අනුව සෙනසුරු ඒරාෂ්ටකයේ අපට ලැබෙන යහපත් ප්‍රතිපල යනු සසර දුක අන් අයට වඩා වැඩියෙන් අවබෝධ කරවීමට සෙනසුරා යොදන උපක්‍රමයක් වැන්න. එයින් පැවසෙන්නේ ඒරාෂ්ටකයට බයේ මේ තනතුරු, මඟුල්තුලා හෝ දරුවන් හෝ ප්‍රතික්ෂේප කොට ජීවිතයෙන් සැඟවී යා යුතු බව නොවේ. දුර්වල යන්ට සෙනසුරු වේවා ගුරු වේවා වෙනත් සුබ හෝ අසුබ ඕනෑම ග්‍රහයකු පවා නොබියව ඍජුව දුර්විපාක දෙමින් අපල කරන්නට පෙලඹෙන අතර ප්‍රබලයන්ට ග්‍රහයන් පවා අපල කරන්නේ උපායශීලීව යහපතක් සේ පෙන්වන පීඩාවකින් බව සිතීමට හැකිය. එබැවින් ඒරාෂ්ටක ඇති කරන්නේ සෙනසුරුම පමණක් නොවන බවද නිවට ඇම්බැට්ටයාට එළුවත් රැවුල පානා සේ තමන්ගේ සිත, කය, මනස දුර්වල කරගන්නාට සුබ ග්‍රහයන් පවා වෙට්ටු දමන්නට සූදානම් බව වටහාගෙන තමන් ශක්තිමත් වීමට අධිෂ්ඨාන කරගත් යුතුය. තමා ප්‍රබල වූ විට අපල පවා ඇතිවන්නේ සපලද මිශ්‍ර සලාදයක් ලෙස බැවිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.