සැප සම්පත් උදාකරන ග්‍රහයෝ

ඔක්තෝබර් 13, 2023

උපදින හැම සත්වයෙක්ම සැපයට කැමතියි. ඒ සැප සම්පත් ලබන්නට මූලික වන්නේ ධනයයි. අප උපන් ජන්ම පත්‍රය අනුව අප පෙර කළ පින් පව් අනුව සැප සම්පත් ලබන්නටත් නොලබන්නටත් හේතුවෙයි. මෙලොව ජීවත්වෙන අය අතර, කෙනෙක් දිළිඳුව, දුක් කරදර සහිතව දිවි ගෙවන අතර තව කෙනෙක් ධනයෙන් මෙන්ම ගුණ නුවණින් යුතුව ගමේ වැදගත් අය වශයෙන් දිවි ගෙවති. ධනවත් පවුලක පවුලේ දරුවන් අතර දිළිදු තත්ත්වයෙන් යුතු අයද සිටිය හැකියි. එයට හේතුව තමන් උපදින අවස්ථාවේ බලපෑ ග්‍රහ තත්ත්වයන් බව ඡ්‍යොතිෂය අනුව පැහැදිලිය.

ධන සම්පත් උදාකරදෙන ග්‍රහයන් ගැන සැලකීමේදී රවි, චන්ද්‍ර, ගුරු, ශුක්‍ර යන ග්‍රහයන් ඉතා වැදගත් ලෙස සැලකෙයි. කෙනෙකුට ලැබෙන ධන සම්පත් සමහර විටෙක ඉතා ඉක්මනින්ම නැතිවී යයි. මේ සියල්ලටම හේතුව ඒ ඒ පුද්ගලයා උපන් මොහොතේ ග්‍රහයන් පිහිටි ආකාරයයි. කෙනෙකුට ධන සම්පත් ලබාදෙන ග්‍රහයන් වෙත අශුභ දෘෂ්ටි වැටී ඇත්නම් ලැබෙන ධනයද නිරපරාදේ වියදම් වී යයි. ධන සම්පත් හිමිවන ග්‍රහයෝග මේ අයුරින් දැක්විය හැකියි. කේන්ද්‍ර සටහනේ ධනය පිළිබඳව කරුණු සෙවීමට වැදගත්ම කොටුව වනුයේ කේන්ද්‍රයේ දෙවැන්න හා එකොළොස් වැන්නය.

දෙවැන්නෙන් උපතින් ලබන හා තැන්පත් ධනය පිළිබඳව කියැවෙන අතර එකොළොස් වැන්නෙන් උපයන ධනය හා හදිසියේ ලබන ධනලාභ පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකිය. එමෙන්ම හතරවැන්න ගේ දොර, ඉඩකඩම්, යානවාහන ලාභ, පිළිබඳවද දැන ගැනීමට හැකිය. මෙම භාව අධිපතින් බලයෙන් යුතුව හෝ එම ස්ථානවල ශුභ ග්‍රහයින් සිටිනවිට ධනවත්වී ගේ දොර, යානවාහන පවා හිමි වෙයි. දෙවැන්න අධිපතියා ඔබ උපදින විට ඔබේ කේන්ද්‍ර සටහනේ එකොළොස් වැන්නේ සිටියහොත් ඔබ උපතින්ම මව්පියන්ගේ ධනයකට උරුමකම් කියනු ඇත. නැතිනම් ඔබ උපතින්ම ධනවත් පවුලක උප්පත්තිය ලබයි. දෙවැන්නේ ගුරු, ශුක්‍ර, බුධ, සඳු වැනි ග්‍රහයන් සිටි විට ඔබට තැන්පත් ධනයක් උරුම වනු ඇත. දෙවැන්න අධිපතියා එකොළොස් වැන්නේත්, එකොළොස්වැන්න අධිපතියා දෙවැන්නෙත් ස්ථාන මාරු කරගෙන සිටියොත් ඔබ විශාල ධනයකට හිමිකම් කියයි. එකොළොස්වැන්න අධිපතියා අටවැන්නේ නම් එයද හදිසි ධනලාභ ඇතිවීමට හේතුවක් වේ. යම් අයෙකුගේ කේන්දරයේ තුන්වැන්න, හයවැන්න හෝ එකොළොස්වැන්න යන ස්ථානයක් මේෂ රාශිය වී කුජ ග්‍රහයා එහි තැන්පත්ව සිටීනම් එය ‘ගජකේෂරී’ නම් ග්‍රහයෝගය වේ. එබඳු අයට සැප සම්පත්, යසඉසුරු, රන්රිදී, මුතුමැණික් ආදිය ලැබීමට වාසනාව ඇත.

භූමියෙන් ලැබෙන වටිනා වස්තු සම්භාරයකට හිමිකම් කියයි. මැණික් කර්මාන්තය, පතල් කර්මාන්තය ආදියෙන් හා වැව් ආශි‍්‍රත කර්මාන්තවලින් විශාල ධනවතුන් වනුයේ මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති අය වේ. කුජ මහ දශාව, කුජ අන්තර් දශාව ගත කරන කාලය තුළදී අනිවාර්යෙන්ම සුබපල උදාවනු ඇත.

රවි ග්‍රහයා ස්ත්‍රිය කෙරෙහිද, චන්ද්‍ර ග්‍රහයා පුරුෂයා කෙරෙහිද ධනය සම්බන්ධයෙන් වැදගත් වෙයි. කිසියම් අයුරකින් රවි, චන්ද්‍ර දෙදෙනා ශුභ දෘෂ්ටි හෝ දුන්නේ නම් ධනය ලැබීම අතින් ඉතා යහපත් වන අතර, අශුභ දෘෂ්ටි වැටුණේ නම් ධන සම්පත් ලැබීම දුර්වල කරයි. එකොළොස් වැන්නෙහි සෙනසුරු සිටීමත් හොඳ ධන යෝගයකි. පොළොවෙන් වස්තුව ලැබීමටද හොඳ පිහිටීමකි. ඔබේ කේන්ද්‍රයේ කුජ හා ශුක්‍ර එකොළොස් වැන්නේ නම් කථිකත්වයෙන්, මිනිසුන් සනසන ක්‍රමවලින් ධනය විශාල ලෙස ලැබීමට හේතු වේ. ඇසුරු කරන, හමුවෙන අයගෙනුත් ධන ලාභ උදාකරන පිහිටීමක් වේ.

කේන්ද්‍රයේ හත්වැන්න අධිපතියා දෙවැන්නේ හෝ එකොළොස් වැන්නේ නම් විවාහයෙන් පසු විවාහ සහකරු හා සහකාරියගේ සහායෙන් හෝ උරුමයෙන් ධනවතකු වීමේ භාග්‍යය හිමිවෙයි. දෙවැන්න අධිපතියා හෝ එකොළොස්වැන්න අධිපතියා දොළහේ සිටීම නිර්ධන යෝගයක් වෙයි. උපතින් ධනවත් පවුලක ඉපදුණත් එම ධන සම්පත් පවා එම අයට අහිමි වී යයි. වෘෂභ ලග්නයේ උපත ලබා සඳු උච්චව එහි සිටියේද, දෙවැන්නේ ගුරුද, හයවැන්නේ සෙනසුරුද අනික් ග්‍රහයින් 11,10 ස්ථානවල සිටියේ නම් එයද ධන සම්පත් ලැබීමට හේතුවේ. ගුරු, සිකුරු , බුධ ලග්නගතව සෙනසුරු හතේද, රවි දහවෙනි ස්ථානයේද සිටි විට මහා ධනවතෙකුගේ උත්පත්තිය සිදුවේ. සියලු සම්පත් හිමිවේ.

මිථුන ලග්නය වී පස්වැන්නට සිකුරු පතිත වෙයි ද, සෙනසුරු එකොළහේ සිටී ද, එවැනි පිහිටිම් ඇතිනම් ස්වීප්, ලොතරැයි වැනි තරග ආදියෙන් ජන්මියාට හදිසි ධන ලාභ ගෙන දේ. තවද යම් අයෙක් මකර ලග්නයෙන් ඉපිද එහි කුජ ග්‍රහයා තැන්පත් වී සිටීනම් හෙතෙම රුචක නම් බලවත් යෝගයෙන් උපන්නෙක් වේ. මෙවැන්නෝ කුමන ආකාරයකින් හෝ ධනය, වස්තුව, මිල මුදල් ලබා සැපවත් ජීවිත ගත කරති. තම සතුරන් මර්දනය කරමින් කිසිවෙකුටත් නොබියව හැම තැනකදීම ජය ලබමින්, කීර්ති, ප්‍රශංසා ලබමින් වාසනාවන්ත ජීවිත ගත කිරීමට භාග්‍ය ඇත්තෝ වෙති.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.