ජන්ම පත්‍රයෙන් හෙළිවන රෝගාබාධ

ජූලි 21, 2023

“අසනීපයක් වුණාම දොස්තර කෙනකු බලන්න යනවා යැයි කියන්න බොහෝ දෙනෙක් අකමැති වෙති. එහෙත් “වෙද මහත්මයෙක් වැඩිය හොඳයි කියන්නට හේතුව වන්නේ, ජන්ම පත්‍ර පරීක්‍ෂා කිරීම මඟින් බොහෝ දේශීය වෛද්‍යවරුන් රෝග හඳුනා ගැනීම නිසාවෙයි.

ජන්ම පත්‍රයක 6 වැනි භාවය රෝග ස්ථානය වෙයි. මෙම භාවය රෝග මෙන්ම, ලැබීම් ගැනද පෙන්වයි. බොහෝවිට ඒවා තවත් කෙනකුගෙන් ලැබෙන මුදල් විය හැක. එසේ වන්නේ ජන්ම පත්‍රයේ 1 වැනි භාවය මඟින් එහි හිමිකරු පෙන්වන අතර, ඔහු සමඟ කටයුතු කරන සහකරුවන් මෙන්ම විරුද්ධවාදීන්ද 7 වැනි භාවය මඟින් පෙන්වයි. 7 වැනි භාවය මඟින් පෙන්වන අයගේ 12 වැනි භාවය ඔවුන්ගේ වැය ස්ථානයයි. එසේම එය ජන්මියාට 6 වැනි භාවය ලෙස ඔහුට ලැබෙන දේවල් පෙන්වයි.

ජන්ම පත්‍රයක 6 වැනි භාවය, රෝග ස්ථානය ලෙස සැලකිල්ලට ගත්විට එම භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා රෝගාබාධ මොනවාද යන්න පෙන්වයි, එනම්, උපස්ථානය අධිපති ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා ලැගුම්ගෙන සිටි රාශියේ පිහිටීම අනුව රෝගාබාධ වැළඳෙන ශරීර කොටස් හඳුනා ගත හැකිය. මේ සඳහා කාල පුරුෂයාගේ ශරීර කොටස් වෙන්කර ඇති ආකාරය බලන්න.

ජන්ම පත්‍රයක 1 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා, 1 වැනි සහ 6 වැනි භාව නිවේදක ග්‍රහයෙකුවන විට, ජන්මියා රෝගාබාධවලට ගොදුරුවෙයි. 8 වැනි භාව නිවේදක ග්‍රහයෙකුවන විට, බරපතල රෝගාබාධවලට ගොදුරුවීමෙන් ශල්‍යකර්මවලටද යොමු වෙයි. 12 වැනි භාව නිවේදක ග්‍රහයකුවන විට, බරපතල රෝගාබාධවලට ගොදුරුවීමෙන් රෝහල් ගතවීමටද සිදුවෙයි.

මෙම ජන්ම පත්‍රයේ 6 වැනි භාවය, ගුරු හිමි ධනු රාශියේ, සිකුරු හිමි නක්‍ෂත්‍රයේ සහ රාහු හිමි උපස්ථානයක යෙදී ඇත. රාශිය අධිපති ගුරු ග්‍රහයා. 6 වැනි සහ 9 වැනි භාවය හිමියා විය. උපස්ථානයේ අධිපති රාහු ග්‍රහයා. 2 වැනි භාවයේ තැන්පත්ව සිටියේය.

රාහු ග්‍රහයා, බුධ සහ සඳුගේ නියෝජිතයෙකු ලෙස ක්‍රියාත්මක වෙයි. බුධ, 3 වැනි සහ 12 වැනි භාව හිමියාව 1 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මෙම ජන්ම පත්‍රයේ දැන් පවතින්නේ ශනිගේ මහ දශාවයි. දශාව අධිපති ශනි ග්‍රහයා තැන්පත්ව සිටියේ, 8 වැනි භාවයේ තැන්පත්ව සිටින කේතුගේ නක්‍ෂත්‍රයකය. කේතු ග්‍රහයා, ගුරු සහ ශනිගේ නියෝජිතයෙකු ලෙස ක්‍රියාත්මක වෙයි. ගුරු, 6 වැනි සහ 9 වැනි භාව හිමියාව 4 වැනි භාවයේ තැන්පත්ව සිටියි.

ක්‍රිස්තු වර්ෂ 2022 ජූනි මාසයේ 15 වැනි දින සිට 2024 ජනවාරි මාසයේ 14 වැනි දින දක්වා ශනිගේ මහ දශාවේ, සඳුගේ භුක්තිය පවතියි.

භුක්තිය අධිපති සඳු ග්‍රහයා, 1 වැනි භාවය අධිපතිව 2 වැනි භාවයේ සහ රවිගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. රවි ග්‍රහයා, 2 වැනි භාවය අධිපතිව 12 වැනි භාවයේ තැන්පත්ව සිටියි.

ක්‍රිස්තු වර්ෂ 2023 මැයි මාසයේ 05 වැනි දින සිට 2023 ජූලි මාසයේ 29 වැනි දින දක්වා ශනිගේ මහ දශාවේ, සඳුගේ භුක්තිය සහ බුධගේ අන්තරය පවතියි. අන්තරය අධිපති බුධ ග්‍රහයා, 3 වැනි සහ 12 වැනි භාව අධිපතිව 1 වැනි භාවයේ සහ ස්වකීය නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි.

මේ ජන්මියා මේ දිනවල, රෝගාතුරව රෝහල් ගතවී සිටියි. දශාව සහ අතුරු දශා අධිපති ග්‍රහයන්ගේ සහ දීප්ත ග්‍රහයන්ගේ ගෝචර ගමන් අධ්‍යයනය කළවිට මේ බව තවදුරටත් තහවුරු වෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.