හෘද රේඛාව

ජූලි 14, 2023

 

ඕනෑම පුද්ගලයකුට විශේෂයෙන් යහපත් විවාහ ජීවිතයක් ගතකිරීමට නම් සංවේදි බව සහ මානුෂික ගුණාංග තිබිය යුතුය. එසේ නොමැතිනම් එම පුද්ගලයා යාන්ත්‍රික දිවියක් ගෙවන පුද්ගලයකු වේ. මේ බව ඉතා පැහැදිලිව පුද්ගලයකුගේ හස්ත පරික්ෂාවකදි හෘද රේඛාවේ පිහිටීමෙන් සහ ස්වරුපයෙන් අවබෝධ කරගත හැකිය.

පුද්ගලයකුගේ සිත අභ්‍යන්තරයේ ඇතිවන හැඟීම නිසා ඇතිවන්නා වු ප්‍රතික්‍රියා අන්‍යයන් කෙරෙහි ප්‍රතිචාර දක්වන ආකාරය, ආදරය, අනුකම්පාව, තීරණ ගන්නේ බුද්ධියෙන්ද, හදවතින්ද හැඟීම් ප්‍රකාශය කරන ආකාරය ආදි වූ කරුණු ගණනාවක් හෘද රේඛාව ඇසුරෙන් අවබෝධ කරගත හැකිය. තවද පුද්ගලයකුගේ හෘදය, රුධිර ධාවනයේ බල දුබලතා අපට දැක ගත හැකිවන්නේ ද හෘද රේඛාව මඟිනි.

හෘද රේඛාව අත්ලේ ගුරු ඇඟිල්ලට යටින් පිහිටි ගුරු මණ්ඩලය දිශාවේ සිට බුධ මණ්ඩලය ප්‍රදේශයෙන් අවසන්වීම සාමාන්‍ය පිහිටීමයි. නමුත් එය ආරම්භ වන හෝ අවසන් වන ස්ථානය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. ඒ අනුව පුද්ගලයාගේ හෘද රේඛාවෙන් පෙන්වන ගුණාංගයන් ද වෙනස් වේ.

සෘජු හෘද රේඛාවක් ඇති පුද්ගලයා ආදර සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට පෙර කරුණු සොයා බලා කටයුතු කරයි. එක්වරම ආදරයෙන් බැදෙන්නේ නැත. එසේම සම්බන්ධතා ඇතිකර ගන්නේ තමාගේ බුද්ධි මට්ටමට ගැළපෙන අය සමඟය. සෘජු දිග හෘද රේඛාවක් ඇති පුද්ගලයා සෑම තැනකදීම මූලිකත්වය ගෙන කටයුතු කරන කෙනකු වේ. අනිත් අය ගැන තැකීමක් කරන්නේ නැත. එවැන්නකදි සහකරු ගැන නොසැලකීම ප්‍රශ්න ඇතිවීමට මුල් විය හැකිය. එසේම හෘද රේඛාව බොහෝ වක්‍ර ස්වභාවයක් ගන්නේ නම් ප්‍රබල ලිංගික ආශාවක් ඇති පුද්ගලයෙක් බිහිවේ. මොවුන් තෘප්තියක් ලබන්නේ ආදරය කිරීමෙන් නොව ලිංගික සම්බන්ධතා පැවත්වීමෙනි. අධික බෑවුමක් ලෙස හෘද රේඛාව වක්‍ර සහිතව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය රූමත් සහකරුවෙක් හෝ සහකාරියක් තෝරා ගැනීමට වෙහෙසෙයි.

හෘද රේඛාව ගුරු මණ්ඩලයෙන් පටන් ගන්නේ නම් සහකරුවාට හෝ සහකාරියට ඉතා ගෞරවයෙන් සලකන පිහිටීමකි. අවංකවම ආදරය කරන්නකු වන අතර, අනෙකාගෙන් ද එවැනිම ආදරයක් බලාපොරොත්තු වන්නෙකි. ඔවුන් ගොඩ නඟා ගන්නේ ස්ථිර සම්බන්ධතාවයකි. තත්ත්වයෙන් පහළ අයකු සමඟ විවාහ වන්නේ නැත. නමුත් හෘද රේඛාව ගුරු ඇඟිල්ලෙන් ආරම්භ වන්නේ නම් එය මෝඩ ආදරයක් වීමට ද පුළුවන. අධික ගරුත්වය සහ අන්ධ විශ්වාසය නිසා සහකරුගේ හෝ සහකාරියකගේ වැරදි නොදැකීම හේතුවෙන් අවසානයේ පසුතැවිල්ලකට හේතුවිය හැකිය. රේඛාව ආරම්භ වන්නේ ගුරු ඇඟිල්ල සහ ශනි ඇඟිල්ල අතරින් නම් සමබරව පවුල් ජීවිතය පවත්වාගෙන යන පිහිටීමකි. ආදරය මෙන්ම ජීවත්වීම සඳහා මිල මුදල් ද අවශ්‍ය බව ද තෙරුම් අරගෙන යන විවාහයකි. මෙහිදී සහකරු හෝ සහකාරිය ඉවත් වුවහොත් තැවි තැවී නොසිට ඊළඟ විවාහයකට ගමන් කරන පිහිටීමකි. ශනි මණ්ඩලයෙන් හෘද රේඛාව ආරම්භ වන්නේ නම් ආත්මාර්ථකාමි ආදරයකට පුද්ගලයා තල්ලු කරයි. යුග දිවියේ ආදරණීය හැඟුම් පෙන්නුම් නොකරයි. විවාහය ලිංගිකත්වයම මත පදනම් වේ. සෑම විටම සහකාරියකගේ හෝ සහකරුගේ වැරදි සොයයි.

හෘද රේඛාව සමහර අත්ලවල කැඩී පිහිටීමට පුළුවන. මෙය හොඳ තත්ත්වයක් නොවේ. ආදර සම්බන්ධතාවල ඇතිවන ගැටලුකාරි තත්ත්වයන් මෙන්ම ක්ෂණික සෞඛ්‍ය දුබලතාවයන් පෙන්වයි. හෘද රේඛාවේ ශනි මණ්ඩලය යටදී කැඩීම මරණය නිසා ආදර සම්බන්ධතාවල අවසානය පෙන්නුම් කරයි. ශනි මණ්ඩලය සහ රවි මණ්ඩලය අතර රේඛාව කැඩී ඇති නම් තමාගේ වරදක් නිසා ආදර සම්බන්ධතාවය වෙන්වීම සිදුවන බව පෙන්වන පිහිටීමකි. රවි මණ්ඩලය යට කොටසේදි හෘද රේඛාව කැඩී ඇත්නම් ආදර සම්බන්ධතාවය නිසා උමතු ආකාරයක් ගනී. බුධ මණ්ඩලය යටදි හෘද රේඛාව කැඩීම මුදල්වල ප්‍රශ්නයක් නිසා ආදර සම්බන්ධතාවයට කණ කොකා හඬයි.

එසේම පුද්ගලයකුගේ හෘද රේඛාවේ දූපත් සලකුණු පිහිටීම තහනම් ආදර සම්බන්ධතා ඇති කරගන්නා බවට ඉඟියකි. මේ නිසා බොහෝ විට රැකියාවට සහ විවාහයට බාධා ඇතිවේ. හෘද රේඛාවේ දූපත බුධ මණ්ඩලය යට ඇති විට ඇස්වල ආබාධ මෙන්ම මෝඩ හදිසි තීරණ නිසා හෝ පුහු අදහස් නිසා හෝ කීර්තිය, ප්‍රශංසා මුදල් ආදියට ඇති ආශාව නිසා කරදරකාරි විවාහයකට සම්බන්ධ වීම පෙන්නුම් කරයි. ශනි මණ්ඩලය යට පිහිටා ඇත්නම් වකුගඩු සහ වෘෂණ කෝෂ ආබාධ ද ගුරු මණ්ඩලය යටදි ඇති විට උගුරේ ආබාධ ද ඇතිවේ. හෘද රේඛාවේ දූපත රවි මණ්ඩලය යට නම් හෘදයාබාධ ඇති විය හැකි තත්ත්වයකි. හෘද රේඛාවේ ලප රාශියක් පිහිටා ඇත්නම් හදවත් රෝගවල මුල් අවස්ථාව පෙන්නුම් කරයි. රතු ලප හෘද රේඛාවේ ශනි මණ්ඩලය යට පිහිටා ඇත්නම් මාරාන්තික සිදුවීමක හෝඩුවාවක් පෙන්වයි. එසේම කළු ලප හෝ තිත් ඇත්නම් පුද්ගලයා ආදරයෙන් රැවටේ. නින්දාවටත්, අපකීර්තියටත් පත්වන සලකුණකි. පිහිටා ඇත්තේ සුදු ලප නම් ප්‍රේම සම්බන්ධතා සාර්ථක වන සුබ ලකුණකි.

කතිර සලකුණද හෘද රේඛාවේ සලකුණු වන්නේ නම් ආදර සම්බන්ධතා නිසා කරදර පෙන්නුම් කරන පිහිටීමකි. කතිරය පිහිටා ඇත්තේ හෘද රේඛාව උඩ නම් තමන් ආදරය කරන ළඟම කෙනකුගේ මරණයක් සිදුවන බව පෙන්වයි. තරු සලකුණද හෘද රේඛාවේ පිහිටීම එතරම් හොඳ පිහිටීමක් නොවේ. එම පිහිටීම හෘදයාබාධ නිසා හදිසි මරණයක් බලාපොරොත්තු විය හැකිය. ආදර සම්බන්ධතාවලට නුවුවමනා ලෙස කාලය, ධනය සහ ශ්‍රමය වැය කිරීම නිසා පාඩු පෙන්වන්නේ හෘද රේඛාවේ කවයක් පිහිටීමකි. ධනය හා වස්තුව ලැබීම ත්‍රිකෝණයක් හෘද රේඛාවට මෙන්ම රවි රේඛාවට සම්බන්ධ වී පිහිටා තිබීමෙන් පෙන්නුම් කෙරේ. එම වයසේදි ධනය මෙන්ම පුද්ගලයාට පිළිගැනීම ද ඇති වන පිහිටීමකි.

කෙනකුගේ හෘද රේඛාව දම්වැල් ආකාරයෙන් පිහිටා ඇත්නම් ජීවන ගමනේදි හැල හැප්පීම් බහුලය. හෘදයේ ක්‍රියාකාරිත්වයද ක්‍රමාණුකූල නොවේ. හැඟීම් සමතුලිත නොවේ. ශනි මණ්ඩලය යටදී දම්වැල ඇති විට පුද්ගලයා විරුද්ධ ලිංගිකයන්ට කැමැති නැත. බොහෝ විට එවැනි පිහිටීම් සහිත පුද්ගලයන් සම ලිංගිකත්වයට කැමත්තක් දක්වයි.

හෘද රේඛාවේ වර්ණයන්ගෙන් පුද්ගලයන්ගේ සෞඛ්‍යමය කාරණා මෙන්ම ගුණාංගයන්ද හඳුනා ගත හැකිය. හෘද රේඛාව සුදු පැහැතිව පිහිටා ඇත්නම් හදවත් රෝගවලට ගොදුරු වීමේ ප්‍රවනතාවයකි. එමෙන්ම ඔහු සංවේදිතාවයෙන් අඩු පුද්ගලයෙකි.රේඛාව රත් පැහැයට හුරු නම් ඔහු මෘග ගතිගුණයන්ගෙන් හෙබි පුද්ගලයෙක් වේ.

එම නිසාම මොවුන් ආදර සම්බන්ධතාවලදි හිංසාකාරි ලෙස හැසිරෙන අය වේ. හෘද රේඛාවේ ප්‍රබලතාවය දුබල වීම රේඛාව කහ පැහැයට හැරී පෙන්නුම් කෙරේ. ආදර සම්බන්ධතාවලදි දුර්වලතාවයක් පෙන්නුම් කරන අතර, පිත් අමාරු ඇති බව පෙන්වන සාධකයකි. ශරීරයේ රුධිර සංසරණයේ අබාධ ඇති වන්නේ නම් හෘද රේඛාව නිල් පැහැයට හැරී සලකුණු වේ.

හෘද රේඛාව අතේ පහළින් ගමන් කරන්නේ නම් සහ එසේ ශීර්ෂ රේඛාවට කිට්ටු වන්නේ නම් හදවත බුද්ධියේ තීරණවලට බලපෑම් එල්ල කරයි. නමුත් රේඛාව ඉහළින් ගමන් කරන අතර, ශීර්ෂ රේඛාව ඉහළට එසවී හෘද රේඛාවට කිට්ටු වී ඇත්නම් බුද්ධිය මඟින් හදවත පාලනය කෙරේ. තද ගති ඇති අදහස් වෙනස් නොකරන හැඟීම්වලට ඉඩ නොදෙන පුද්ගලයකු බිහිවේ.

දෛව්‍ය රේඛාව ගැන ලබන සතියේ කතා කරමු.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.