වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සෞභාග්‍යා ගෙවත්තට පෝෂණීය ඔසු පැළයක් හාතාවාරිය
ගතට සුවයත් සිතට සතුටත් ලැබෙන සෞභාග්‍ය ගෙවත්තට පෝෂණීය ඔසු පැළයක් වැවීමෙන් ගෙවත්තට අලංකාරයක් මෙන්ම සිතට සතුටක් ලැබේ. මුළින්ම අප කළයුතුවන්නේ ගෙවත්තේ තිබෙන ඉඩ ප්‍රමාණය අනුව නිවසට අලංකාරය ගෙනෙන ඔසු පැළ වගාවට පියවර ගැනීමයි. සමහර නිවෙස්වලට ගෙවත්තක් ඇත්තේම නැත. ඒ අතර තට්ටු නිවාස ප්‍රමුඛස්ථානයට පත්වේ. එම නිවෙස්වල ඇත්තේ නිවසට ඇතුළුවන ප්‍රධාන දොර ඉදිරිපිට ඇති සුළු ඉඩ ප්‍රමාණයක් පමණි. එහි යමක් වගා කළයුතු වන්නේ පෝච්චියක උරයක හෝ බඳුනක පමණි. එම නිසා ඒ සඳහා සුදුසු ඖෂධ පැළ පමණක් තෝරාගෙන වගා කළයුතුව ඇත. ඒ අනුව බඳුනක පෝචිචියක උරයක හෝ වෙනත් සුදුසු බඳුනක වගා කළ හැකි අත් බෙහෙත්වලට වැඩියෙන්ම අවශ්‍යවන ප්‍රබල ඖෂධ පැළෑටියක් වන හාතාවාරිය පැළෑටිය වගා කිරීමට කටයුතු කරයි.
හාතාවාරිය ඖෂධ සඳහා ම පමණක් නොව නිවසේ අලංකාරය සඳහා වුවද බඳුනක හෝ සුදුසු භාජනයක වගා කොට ආධාරයක් මගින් හෝ ලනුවක් ඇද හෝ ලස්සනට වැල යැවීමට සැළැස්වීමෙන් නිවසට අලංකාරයක් ගෙන දෙන සුන්දර මල්පොකුරු දැකගත හැකි ය. සිහින් දිගැටි පත්‍රවලින් යුත් හාතාවාරිය ඉතා අලංකාර මල් ලෙසට ද පාවිච්චි කළ හැකි ය.
හාතාවාරිය දේහ ශක්තිය වඩන වාජීකරණ ඖෂධ සඳහා ගනු ලබන වටිනා ඖෂධයකි. හාතාවාරිය වැලේ සහ අලවල සෑදෙන ප්‍රමාණය අනුව ලොකු හා කුඩා මහ හාතාවාරිය හා කුඩා හාතාවාරිය යනුවෙන් කොටස් දෙකකින් යුක්ත වේ. හාතාවාරියවල ටිකක් දිග හීනි කොළ හටගන්නා බැවින් සූක්ෂම පත්‍රමිණි ජවිහා යන නාමයන් හා හාතාවාරිය අල වැඩිවශයෙන් බෙහෙත් තෙල් සඳහා යොදාගන්නා බැවින් තෛල වල්ලී යන නමින්ද සංස්කෘත භාෂාවෙන් ව්‍යවහාර කෙරේ. පත්‍ර හෙවත් කොළ සිහින් වී කටු බවට පත්වේ. කක්ෂීය ශාකා කොළ පැහැති හා පැතලිවන අතර එය පත්‍රවලට සමාන වේ. හාතාවාරිය මල්, සුදු පැහැති වන අතර සුවඳවත් ය. අතු පුරා මල් හට ගනී. මල්වලින් හටගන්නා ගෙඩි තුළින් බීජ එකක් හෝ දෙකක් දැකිය හැකි ය. මේරූ ඇට මගින් රෝපණය කරගත හැක. මේරූ ඇට සුළඟට විසිරී යෑමෙන් පැළ පැළ හටගනී. එම පැළ හෝ තවාන් දැමූ ඇටවලින් ඇදෙන පැල අඟල් තුන, හතරක් පමණ උස් වූ පසු ඉහළට ඇදුණු පසු සිටුවාගත හැකි ය.
එමෙන්ම බීජ රෝපණය සඳහා මාස තුනක පමණ කාලයක් ගත වේ. එබැවින් වඩාත් සුදුසුක්‍රමය වන්නේ වෙනත් ප්‍රචාරණ ක්‍රම අනුගමනය කිරීමයි. ඒ අනුව පැළ ලබා ගැනීම සඳහා හාතාවාරිය ශාකයේ වායව කොටස් හා ආකන්දිය මුල් අඩංගු අල කැබලි භාවිතා කළ හැකි ය. මෙසේ මවු ශාකයෙන් වෙන්කරගන්නා පැළ කරගත හැකි කොටස් තවාන් මිශ්‍රණයක සිටුවා ගත හැකි ය. හාතාවාරිය සිටුවා මාස හතරකින් හෝ මාස පහකින් මල් හටගනී. ඉන්පසු හටගන්නා ගෙඩි මේරීමට සති තුනක පමණ කාලයක් ගත හැකි වේ. නෙළාගත් බීජ මාස තුන හතරක් කල්ගත වූ පසු පැළ තවානක තැන්පත් කළ හැකි ය. හාතාවාරිය බීජ තවාන් කිරීම සඳහා හොඳින් සකස් කළ උස් පාත්ති හෝ කොහුබත් සහ වැලි එකට මිශ්‍රකර ගැනීමෙන් සකසා ගත් පොලිතීන් මලු, මල් පෝච්චි, උර වෙනත් සුදුසු භාජනවල හෝ පාත්තිවලද තවාන් කළ හැකි ය. හාතාවාරිය ශාකය පඳුරක් මෙන් වැඩෙන වැලකි. වළවල්වල හෝ බඳුන්වල උරවල පස් හා කාබනික පොහොර දමා සිටුවා ගත හැකි ය.
පැළ සිටුවීමෙන් පසු වියළි කාලගුණයක් පවතින්නේ නම් අවශ්‍ය ආකාරයට ජලය දැමිය යුතු ය. හාතාවාරිය වැල් සකස් කරන ලද ආධාරකවලට යැවීමට කටයුතු කළ යුතු ය. හාතාවාරිය බහු වාර්ෂික බෝගයක් බැවින් වසර පුරාම පලදාව නෙළාගත හැකි ය. වසර දෙක, තුනක් කල් ගතවීමෙන් අල නෙළාගත හැකි ය. හාතාවාරිය වගාව ව්‍යාපාරයක් වශයෙන් කරන්නේ නම් හොඳ ආදායම් මාර්ගයක් ඇති කර ගත හැකි ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ කීප වතාවක්ම අස්වනු නෙළාගැනීමට හැකිවීමයි. හාතාවාරිය අල හොඳින් මේරීමට වසර දෙක තුනක් ගත වේ. මේරූ අල හොඳින් ගලවා පස් ඉවත්කොට සෝදා හැර පෙති කපා හොඳට වියලා වෙළඳ පොළට යැවිය හැකි ය. අස්වනු ගලවා ගැනීමේ දී මුළු ශාකයේම අල ගලවා නොගත යුතු ය. වරින්වර එක දෙක බැගින් ගලවා ගැනීමෙන් වැල නොමැරී කලක් රඳවා ගත හැකි ය. එමෙන්ම වරක් සිටුවන ලද වගාවකින් වසර ගණනාවක්ම අස්වනු නෙළා ගත හැකි ය. එම අස්වනු ආයුර්වේද ඖෂධ නිෂ්පාදනායතනවලට අළෙවි කළ හැකි ය.
හාතාවාරිය අල සහ කොළ ඉතා ගුණාත්මක ඖෂධයකි. අලවල ප්‍රධාන වශයෙන් පිෂ්ඨය සීනි හා ශක්ති ජනක රසායනික ද්‍රව්‍ය රැසක්ම අඩංගු වේ.ශරීර ශක්තිය ඇති කරන අතර රුධිරයේ ආම්ලික බව නැතිකර ලේ පිරිසුදු කරයි. සන්ධි ඉදිමුම්, හෘද රෝග, ස්නායු ආබාධ හා මුත්‍රාආබාධ ඇතුළු රෝග රැසකටම හාතාවාරිය ගුණගෙන දේ. හාතාවාරිය ඉතාමත් වටිනා ඖෂධීය හා ආහාරමය ශාකයකි. රසායනික හා වාජීකරණ ගුණය පවතින නිසා බඩගින්න සමනයකර සිරුර පුෂ්ටිමත් කිරීමේ ගුණයක් පවතී. ඇසට හිතකර වන හාතාවාරිය ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. කාන්තා රෝග සඳහා ද අසීමිත ගුණ ලබාදෙන හාතාවාරිය ශ්වේත ප්‍රදර රක්ත ප්‍රදර සහ ගර්භාෂ රෝග සඳහාත් ගුණදායකය. හාතාවාරිය මධුරය, ශීතලයි. වීර්යය වඩයි. රසායනකයි. බරයි. මිහිරියි. කිරිවඩයි. ගිනි වඩයි. බලවඩයි. ශුක්‍ර ධාතුව වඩයි. ඇසට හිත වගේම තර කරයි. පිත, සෙම, වාතය, ක්ෂය රෝග, අර්ශස්, අතීසාර යන මේ රෝග නැතිකරයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>