නාට්‍යවේදී නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ ජයග්‍රහණවලට අතදුන් ඒරාෂ්ටක

නොවැම්බර් 22, 2024

කීර්තිමත් නාට්‍යවේදියකු වූ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී බලාපොරොත්තු වෙමි. 1950 වසරෙහි පෙබරවාරි 3 වැනිදා උත්පත්තිය ලබා ඇති ඒ මහතාගේ දළ උත්පත්ති කේන්දර සටහන පහත පරිදි වේ.

පූර්ණ චන්ද්‍ර අධියෝගය, අර්ධ ලග්න අධි යෝගය වැනි වාසනාවන්ත යෝගවලින් මේ කේන්දර සටහන ශක්තිමත් වී ඇත. ශනි, බුධ සහ කේතුගේ පිහිටීම්වලට අනුව, විද්‍යුත් මාධ්‍යවලට පවා සම්බන්ධ වීමට අවස්ථාව ලැබී ඇත. චන්ද්‍ර සහ සිකුරු මුහුණට මුහුණලා සිටීම කලාකරුවකු බවට පත්කර ඇති අතර, ශනි, චන්ද්‍ර සහ ගුරුගේ පිහිටීම්වලට අනුව අන්තර්ජාතික මට්ටමේ කලා කටයුතුවලට පවා සම්බන්ධ වීමට අවස්ථාව සලසා ඇත.

මේ කීර්තිමත් නාට්‍යවේදියාගේ විවාහය සිදු වී ඇත්තේ 1978 වසරෙහි පෙබරවාරි 20 වැනිදාය. ඔහුගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, ඔහුට 1977 වසරෙහි සැප්තැම්බර් 7 වැනිදාත්, 1979 වසරෙහි නොවැම්බර් 4 වැනිදාත් අතර කාලසීමාව තුළ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වන ලද බව පෙනේ. ඒ අනුව, ඒ මහතාගේ ජීවිතයේ ඉතාම වැදගත් සිදුවීමක් වන විවාහය සිදු වී ඇත්තේ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වද්දී බව පෙනේ. එසේනම් ඒරාෂ්ටක කාලවකවානු තුළ අසුබ ප්‍රතිඵලම පමණක් ලැබේ යැයි පවසන්නේ කෙසේද?

මීට අමතර ලෙස, ඩග්ලස් සිරිවර්ධන මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව, 1973 වසරෙහි ජුනි 10 වැනිදාත්, 1975 වසරෙහි ජූලි 23 වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර ගත වී ඇත.

ඒ මහතාට 1974 වසරෙහි මාර්තු 1 වැනි දින කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කලාභූෂණ සම්මානය ලැබී ඇත. ඒ අනුව පෙනී යන්නේ ඒ මහතාට මේ විශිෂ්ට සම්මානය ලැබී ඇත්තේ ඔහුට ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගතවද්දී බවය.

ඩග්ලස් සිරිවර්ධන මහතාගේ උපන් වේලාව අනුව 1975 වසරෙහි ජූලි 23 වැනිදාත් 1977 සැප්තැම්බර් 7 වැනිදාත් අතර කාලසීමාව තුළ, ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. ඒ මහතා පළමු නාට්‍යය වේදිකාගත කර ඇත්තේ, 1976 වසරෙහි දෙසැම්බර් 16 වැනිදා වන අතර, මේ අනුව පෙනී යන්නේ ඒ වන විට මේ නාට්‍යවේදියාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බවය.

සිරිවර්ධන මහතාට 1995 ජූනි 1 වැනිදාත් 1995 අගෝස්තු 9 වැනිදාත් අතර කාලසීමාව තුළ අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇත. ඒ මහතා මෙරට විකාශනය වූ ඉමහත් ජනතා ප්‍රසාදයට ලක් වූ ටෙලිනාට්‍යයක් වන “යශෝරාවය” ටෙලිනාට්‍යයෙහි දෙවැනි කොටසේ තිරනාටක රචනය සඳහා සහභාගී වීම සිදු කර ඇති අතර, යශෝරාවය ටෙලිනාට්‍යය පිළිබඳව සඳහන් කරද්දී ඒ මහතා 1995 වසර පිළිබඳව අවධාරණයෙන් සඳහන් කරයි. ඒ අනුව ඒ මහතා යශෝරාවය ටෙලිනාට්‍යය සම්බන්ධ වීම සහ ඒ මහතාට ගත වූ අතිප්‍රබල අෂ්ටම ඒරාෂ්ටකට අතර සබඳතාවයක් ඇති බව පැහැදිලිවම පෙනී යයි.

තවද 1996 වසරෙහි පෙබරවාරි 15 වැනිදාත්, 1998 අපේ‍්‍රල් 16 වැනිදාත් අතර කාලසීමාව තුළද ඩග්ලස් සිරිවර්ධන මහතාට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇත. ඒ අනුව ඒ මහතා, මහජන ඡන්දයෙන් කැස්බෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවට පත් වූ 1997 වසර වන විටද ඒ මහතාට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වී ඇති බව පෙනේ.

1980 වසරෙහි මාර්තු 15 වැනිදාත් 1980 ජූලි 27 වැනිදාත් අතර කාලසීමාව තුළ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. ඒ අනුව ඒ මහතා ඇතුළු කිහිප දෙනෙකුට 1980 වර්ෂයේදී හදිසියේ බලාපොරොත්තු රහිත මොහොතක රැකියාව අහිමි වද්දී ඒ මහතාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. එසේම ඒ මහතා නීති විද්‍යාලයට ඇතුළත්වන්නේ ද ඒ වසරේම වීම විශේෂත්වයකි.

සිරිවර්ධන මහතාට 2003 වසරේදී ජාතික නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ධුරය හිමි විය. මෙහි විශේෂත්වය වන්නේ 2003 වසරහි අපේ‍්‍රල් 11 වැනිදාත්, 2004 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත් අතර කාලසීමාව තුළ මේ කීර්තිමත් නාට්‍යවේදියාට ජන්ම ඒරෂ්ටකයේ ප්‍රථම අදියර පැවතීමය. ඒ අනුව ඒ මහතාට ඉහත කී විශේෂිත තනතුර ලැබෙන විටද ඒ මහතා ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත කර ඇති බව පෙනේ.

එමෙන්ම නාට්‍යවේදී නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා 2007 වසරේදී ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැත්වූ නාට්‍ය ප්‍රදර්ශනය සිදු කරන විට ඒ මහතාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

ඩග්ලස් සිරිවර්ධන මහතාගේ උත්පත්ති කේන්දරසටහනට අනුව 2005 වසරෙහි මැයි 29 වැනිදාත්, 2006 වසරෙහි නොවැම්බර් 15 වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති අතර, ඒ අනුව ඒ මහතා “ටවර් හෝල්” ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් පදවියෙන් පිදුම් ලබන විට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ.

ඩග්ලස් සිරිවර්ධන මහතාට, මීළඟට ප්‍රබලතම ඒරාෂ්ටක කාලවකවානුව ගත වන්නේ 2025 වසරෙහි අපේ‍්‍රල් 1 වැනිදාත් 2027 වසරෙහි ජුනි 09 වැනිදාත් අතර කාලසීමාව තුළ සහ 2027 වසරෙහි ඔක්තෝබර් 5 වැනිදාත්, 2028 වසරෙහි පෙබරවාරි 28 වැනිදාත් අතර කාලසීමාව තුළය. ඒ අනුව එම කාලසීමාව තුළ ඒ මහතාගේ ප්‍රසිද්ධිය වැඩි වීමට ඉඩකඩ ඇති අතර, නාට්‍ය ලෝකයට තවත් වටිනා නිර්මාණයක් තිළිණ කරන්නටද ඉඩකඩ ඇත. කෙසේ වෙතත් මේ ජයග්‍රහණ, ඉහත කී කාලසීමාව තුළ ඔහුට ලැබෙන්නේ රෝස මල් ඇතිරූ මාවතක් තුළින් නොවේ. එනම්, ඉහත කී කාලසීමාව තුළ, ඒ මහතා අනතුරු පිළිබඳවද, අසනීප පිළිබඳවද රැවටිලිවලට හසුවීම පිළිබඳව ද සොරසතුරු උපද්‍රව පිළිබඳව ද බෙහෙවින් සැලකිලිමත් විය යුතුය.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.