කය තරණය කරන තාරකාවෝ

නොවැම්බර් 24, 2023

ඡ්‍යොතිෂය තුළ සාකච්ඡා කෙරෙන ග්‍රහ වස්තු සහ පෙනෙන විද්‍යාත්මක ග්‍රහ වස්තු අතර සම්බන්ධයක් නොවේ. එය අනෙකකි යන මතයද ඡ්‍යොතිර්වේදින් තුළ පවතී. එවැන්නක් පළකිරීමට හේතු කීපයක් තිබිය හැකිය. විශේෂයෙන් සිංහල අවුරුදු කාලයේ මීනයේ සිට මේෂය දක්වා වන සංක්‍රාන්තියේදී නූතන විද්‍යාඥයෝ ඒ කාලයේ සූර්යයා ඇත්ත වශයෙන්ම ඉන්නේ මේෂ රාශියේ නොවේය අහවල් රාශියේය යනාදි වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමද විය හැකිය. කෙසේ වෙතත් මේ තර්කය බොහොම පහසුවෙන් බිඳිය හැකිවේ.

ඡ්‍යොතිෂයෙහි දෛනික රාශි උදාව ගණනය කරනුයේ ඉර උදාව සහ ක්ෂිතිජය මුල්කර ගනිමිනි. ඉදින් ඒ සූර්යයා අපට පෙනෙන සූර්යයා මිස අන් සූර්යයෙක්ද යන්න විමසිය යුතුය. එසේම ඡ්‍යොතිර්වේදීහු ඡ්‍යොතිෂයෙහි සුවිශේෂ අංගයක් වන පංචාංගය විමසති. ගැන බලති. එහි ‘තිථිය’ කියා කාල ඒකකයක් වේ. එය මනිනුයේ මේ අපට පෙනෙන ඉර සහ සඳ අතර දුරස්ථ බව විමසා බැලීමෙනි. බොහෝ තැන්වල ග්‍රහයන්ගෙන් අපට සිදු වන බලපෑම් ගැන කතාබහ සිදු වන විට වඩදිය - බාදිය ගැන සාකච්ඡා වේ. එයද සිදු වනුයේ මේ අපට පෙනෙන සඳ ගමන අනුවම නොවන්නේද යන්න විමසීමට නුවණැත්තා කටයුතු කළ යුතුය.

කේන්ද්‍රය තුළට යොදන රාහු කේතු යන ග්‍රහයන් තාවකාලිකව පසෙකින් තැබුවහොත් කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි සහ රවි චන්ද්‍ර යන ග්‍රහයන්ගේ අංශක කලාදිය මනිනු ලබන්නේ සූර්ය කේන්ද්‍රීයවමය. එම ගණිතයට පෘථීවියට සාපේක්ෂව විමසා බලනු ලැබේ. නවීන තාරකා විද්‍යාවෙන් කතා කරන බ්‍රහස්පති, අඟහරු, සිකුරු ඈ ග්‍රහයෝම ඔබේත් මගේත් කේන්ද්‍ර සටහනෙහි වෙයි. එය එසේ නොවන්නේ යැයි කීම කොතරම් දුරකට සාධාරණදැයි සිතිය යුතුය.

ඡ්‍යොතිෂය එක්තරා දුරකට මායාවකි. එහෙත් ඒ මායාව පෙනෙන ග්‍රහ තරු මුල්වම ග්‍රහතරු මුලටම ගැණ තිබේ. නිර්මාණය කර තිබේ. මා එසේ කීවේ ඡ්‍යොතිෂයෙහි සාකච්ඡා කෙරෙන ආරූඪ රාශි, පාක රාශි, භවොත් භාව ආදි න්‍යායන් කෙරෙහි අවධානය යොමු කිරීමෙනි. ඡ්‍යොතිෂයෙහි සායන සහ නිරයන යනුවෙන් රාශි චක්‍ර දෙකක් පවත්නේ යැයි ප්‍රකට මතයකි. නිරයන කෙන්ද්‍රයක්, නිරයන අහසක් නොමැති බවට නවසිය මුල් ගණන්වල ‘නිරයන සංහාරය’ නමැති ග්‍රන්ථයකින් පවා කරුණු කාරණා හෙළිදරව් කොට තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳ ලංකාවේ පමණක් නොව ලොව විද්වතුන් අතර තර්ක විතර්ක පවතී. එහෙත් සායන රාශි චක්‍රයකුත් නිරයන නක්ෂත්‍ර චක්‍රයකුත් ඇති බව තේරුම් ගැනීම බොහෝ විට අපහසුය. එහෙත් සප්ත ඍෂි නාඩි ඉගැන්වීම්වල ඒ බව ඉතා මැනවින් පැහැදිළි කෙරේ. රාශි සහ නක්ෂත්‍ර යන සංකල්පය පසෙකින් තැබුවහොත් කේන්ද්‍රය තුළ සනිටුහන් වන රවි – චන්ද්‍ර – කුජ – බුධ – ගුරු– ශුක්‍ර – ශනි යන ග්‍රහයන් ඡ්‍යොතිෂයට පමණක් අදාළ අමුතු අද්භූත වස්තූහු නොවේ. ඒවා මේ නවීන විද්‍යාවෙන් සාකච්ඡා කරනු ලබන ඒවාමයි.

රාශි සහ නක්ෂත්‍රද දෘෂ්ටි ආදීහුද කිසියම් ආකාරයකට නවීන විද්‍යාවෙන් බැහැරව යති. එසේ වුවත් ඡ්‍යොතිෂයේ එන සියලුම ඉගැන්වීම් කිසියම් වූ තාර්කික – ගණිතමය පදනමක් සහිත වූවක් වන අතර එය ප්‍රායෝගික අහසින් බැහැර නොවන බව ඉතාමත් පැහැදිලිය.

ජන්ම කේන්ද්‍රයක උදෑසනම උදාවන රාශියෙහි සූර්යයා සිටී. සවස උදා ලග්නයෙහි හිරු සිටින්නේ හත්වැන්නේය. බටහිරය. ඉදින් අපට පෙනෙන හිරුද බටහිරින් බැස යන බව අප දනී. දවල් කාලයේ අපේ හිස මුඳුනෙහි හිරු වේ. කේන්ද්‍රයෙහිද මුඳුන් රැස යනුවෙන් හඳුන්වන දහවන භාවයෙහි හිරු එකල්හි වේ. සෙසු ග්‍රහයෝද ඒ ඒ ග්‍රහයන්ගේ උදා අස්ත අනුව එසේ අවබෝධ කරගත හැකිය. ඉදින් පෙනෙන ග්‍රහලෝක සහ කේන්ද්‍රයේ අපට පෙනෙන ග්‍රහලෝක දෙකක් නොව එකක්ම වන්නේය.

එහි ප්‍රකාශනය ඡ්‍යොතිර් විද්‍යාවයි. එනම් එම ග්‍රහ වස්තූන් අතර ඇති අන්තර් සබඳතාවය විමසා බලා ලෝකය ගැන සත්ත්වයා පුද්ගලයා ද්‍රව්‍ය ගැන තොරතුරු විමසා බැලීමේ විෂය ඡ්‍යොතිෂයයි. නවීන විද්‍යාවෙන්ද දැන් දැන් එය සිදු කරනු ලබන බව පෙනේ. ලංකාවේ අපට වඩා දැන් දැන් විදෙස් රටවල ඡ්‍යොතිෂයේ භාවිතය වැඩිය. ට්පඥඥද,ට්චපඤඥද, ඉධභදඤඵ වැනි මාතෘකා අන්තර්ජාලයෙන් සොයා බලන්නෙකුට බොහෝ කරුණු සොයා බැලිය හැකිය.

ග්‍රහ තාරකා දෙස නවීන විද්‍යාත්මක කෝණයෙන් බැලුවත් ඡ්‍යොතිර් විද්‍යාත්මක කෝණයෙන් බැලුවත් ලැබෙන පිළිතුර ආසන්න වශයෙන් සමානය. නූතන තාරකා විද්‍යාව අනුව සූර්යයාගේ සිට ඒ ඒ ග්‍රහ ලෝකවලට ඇති දුර දැන් ගණනය කර ඇත. එහෙත් ඊට බොහෝ වර්ෂ ගණනකට කලින් එම දුර ගණනය කොට වේදාන්ත ග්‍රන්ථවල සඳහන් කර තිබේ. මේ ගණනය කිරීම් අතර වෙනස නොසලකා හැරිය යුතු තරමේ දුරක් බව තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතාගේ දේශනවලට සවන් දුන්නෙකුට අමුතුවෙන් කිවයුතු නොවේ. එනම් ඔහු ඒ බව සනාථ කරනු ලබන බවයි. ඉදින් තාරකා විද්‍යා යන ඡ්‍යොතිෂය අද විෂය පථ දෙකක්ව පැවතියේ නමුදු එහි පූර්වයේදී ඡ්‍යොතිර් විද්‍යාඥයාම තාරකා විද්‍යාඥයා වූ බව පෙනේ. කය තරණය කරනු ලබන බැවින් තාරකා වෙයි. තාර+කා - තාරකා , තාර යන්නෙන් තරණය කරනු ලබන බවත් ‘කා’ යන්නෙන් ශරීරයත් නියෝජනය වේ. ‘තාර’ යන පදය චන්ද්‍රයාටද යෙදේ. කය තරණය කරනු ලබන්නේ මනස ආශ්‍රයෙනි. එසේම මෙකී තාරකාවෝ අපේ මනස අල්වාගෙන ග්‍රහණය කොට සිටී. එහෙයින් ‘ග්‍රහ’ යන නාමයද ඊට ලැබේ. එහෙත් අවබෝධයේ පහසුව සඳහා මණ්ඩල ග්‍රහයෝය, තාරකා ග්‍රහයෝය නක්ෂත්‍ර තාරකාවෝ ය, යනාදී වශයෙන් ඒවා බෙදා වෙන් කොට දක්වනු ලැබේ. ඉදින් මේ සියල්ල වස්තූන් වශයෙන් සලකා බලන්නේනම් ඒවා නූතන විද්‍යාවට අනුවත් ඡ්‍යොතිර් විද්‍යාවටත් අනුව එකක්ම වන්නේය. ප්‍රකාශනය අනුව එහි වෙනස්කම් ඇත්තේය.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.