බුද්ධ දේශනාව සහ තාරකා ශාස්ත්‍රය

සැප්තැම්බර් 29, 2023

සම්මා සම්බුද්ධ පච්චෙක බුද්ධ චතු සච්චය බුද්ධ සුත බුද්ධ යනුවෙන් හැඳීන්වෙන සිවු උතුමන් අතුරින් අනාවරණ ඥානයෙන් සියල්ල ඇති සේ දකිනුවෝ සම්මා සම්බුදු වරයෝමය. අප ලොව්තුරා බුදු හිමියෝ වරෙක “උග්ගණහාථ භික්ඛවේ නක්ඛත්තං” යනුවෙන් භික්‍ෂූන් වහන්සේලාට තරු සතර උගෙනුම අනුදැන වදාළහ. එහෙත් එක්විසි අනේසන හැඳීන්වීමේදී වෙදකම හා නැකැත් කීම තිරශ්චීන විද්‍යා ගෙණෙහිලා දුටහ. මෙයින් පෙනී යනුයේ ඒවා සත්‍ය බවත් සමාජයට වැඩදායි බවත් දුටු සම්බුදු රදුන් ඒවායෙහි ව්‍යාවෘත වන භික්‍ෂූන් වහන්සේලාගේ සීල සමාධි භාවනා ආදියට බාධා පැමිණෙමින් විනය පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවන හෙයින් ඒවා හෙළා දුටු බවයි.

තරු සතර සැබෑ වුවත් එයින් නිවන් මඟ හෙළිකර ගැනීමට පිටි වහලක් නොලැබෙන හෙයින්

“කිං කිරිසසනති තාරකා” යයි වදාළහ. ඡ්‍යොතිෂය තිරශ්චිත විද්‍යාවක් නම් අපට එය කුමකටදැයි කෙනෙකු අසනු ඇත. ජ්‍යෝතිෂය මෙන්ම වෛද්‍ය ශාස්ත්‍රය උන්වහන්සේ තිරශ්චිත විද්‍යා ගණයෙහිලා දුටු නමුත් බුදු රදුන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇති බව ඔවුනට සිහිපත් කර දිය යුතුව ඇත.

තිරශ්චිත යන්න හරහට ගමන් කරන යන ඇරුත දෙයි. ඉහතින් සඳහන් විද්‍යාවන් ලොව පුරාම (හරහට) පතුරුවාළිය හැකිය. එහෙත් ඉන් ඉහළට යාමේ සවියක් , ලෝක තත්වය ඉක්මවා යාමේ බලයක් ඒවාට නැත. සම්බුදු හිමියන් මේවා තිරශ්චිත විද්‍යා ලෙස නම් කළේ එහෙයිනි. දැන් අපි සම්බුදු දහමත් තරු වගත් අතර ඇති සමාන අසමාන කම් සැකෙවින් සොයා බලමු.

තරු ඇසුරින් බාහිර තතු හෙළි කරනුයේ එනම් පියවි ඇසින් හෝ යම් යම් උවාරණ මඟින් හෝ දැක ගැනීමට සලස්වනුයේ තරු මඟයි. එහි නොපෙනෙන අභ්‍යන්තර තතු හෙළි කරනුයේ තරු සතරයි. මේ දෙකම අයත් වන සේ අපි “තරුවග යැයි නම් කරමු”.

කෘත යුගය ලබා අවුරුදු පන් ලක්ෂ හැත්තෑහයදාහක් ඉක්ම ගිය පසු ශ්‍රී විෂ්ණු දෙවියන් නාරසිංහ අවතාරයෙන් මෙලොවට පැමිණ වේදය හැදෑරවූ බවත් වේද පුරුෂයාගේ චක්ෂුසය නමින් හැඳීන්වෙන ඡ්‍යොතිෂය ඒ හාම එළි දුටු බවත් කල්පලතා හා ග්‍රහ ලාඝවයද එක සේ සඳහන් කරයි.

“සෘෂටකාදෞ ලංකායාං සමා” යනුවෙන් එහි ලංකාව ගැන ද සඳහන් ඇති බව ද අප අමතක නොකළ යුතුය. සිරිපති (විෂ්ණු) විසින් ප්‍රකාශිත හෙයින් සිරිපති ඡ්‍යොතිෂය නම් වනුයේ ද එයමය. කෘත යුගයෙහි පවා සිංහල ජාතියක් ලංකා නාමයත් ඒ නම් වලින්ම පැවති බවට තවත් සාධක ඇත. කල්පාරම්භයෙහි බිහිවූ වේද ග්‍රන්ථයන් අතර සම්භාවනීයත්වයට පත් සජත යාම, ග්‍රන්ථ අතුරෙහි අග්‍රගණ්‍ය වූ විෂ්ණු යාමල තන්ත්‍රයෙහි දැක්වෙන විශ්ව (කුර්‍ම) චක්‍රයෙහි වාම කුක්ෂියට අයත් වූ ලංකා භූමියත් සිංහල ජාතියක් සටහන් වී තිබෙනු දැක්ම මෙහිලා විශේෂත්වයක් දරයි. එම යුගයේ පවා සිහලයන්ගේ හා ඔවුන්ගේ ලංකා භූමියේ යශෝරාවය ලොව පුරා පැතිර පැවති බව මෙයින් පෙනේ මේ දියුණුව රාවණා යුගය තෙක් පැවති බව “අස්ති ලංකෙති නාමානි රාජධානි සුරද්විශාමි” ආදී වශයෙන් අනවමදර්ශි මා හිමියෝ දෛවඥ කාම ධේනුව තුළින් හෙළි කරති. මේ විස්තර මා ඔබ ඉදිරියෙහි තැබූවේ කල්පාරම්භයෙහි පටන්ම මෙරට ඡ්‍යොතිෂය සංවර්ධනය වෙමින් පැවති බව පෙන්වීමට සහ ඉදිරියෙහි පැවසෙන තොරතුරු පහසුවෙන් වටහා ගැනීමට මඟ පෙන්වීමක් ලෙසිනි.

 

විභජ්ජ වාදීය

භාරතීයයෝ සූර්යයාගේ අංශක 360ක් සම්පූර්ණ කිරීමට පෘථිවිය ගන්නා කාලය ඒකකයක් ලෙස ගෙන එය වර්ෂ යැයි නම් කළහ. ඉරිදා, සඳුදා ඈ නම් විමසා බලත්වා.

මේ දහ තුළ දොළොස් රැස් ගෙවී යන සැටිත්, එක් දහක් තුළ සත්විසි නැකැත් හා එම නැකතක් තුළ දොළොස් රැසක් ගෙවී යනු සැටිත් දුටු ඔවුහු ඒ ඇසුරින් ඉන්දු ගුරුළු, පංච පක්‍ෂ සිවාලිත්, යමකාලය, දඬමරණ, ඊසක යන නැකැත් ක්‍රම සොයා ගත්හ. (උමා ඡ්‍යොතිෂය) චතුරාර්ය සත්‍යයෙන් සුවාසු දහසක් ධර්ම ස්කන්ධ බිහිවන අයුරුත් එකම දහ තුළින් මෙම සියලු නැකැත් ක්‍රම උදාවන අයුරුත් සලකා බලන විට මේ දෙකම විභජ්ජවාදි වන බව පෙනේ.

 

ඡ්‍යොතිෂය පිළිබඳ දැනුමද අන්තර්ගතය

දිනක් අපේ සම්බුදු පියාණන් වහන්සේ සිතා වනයෙහි අනඳ හිමියන් අමතා කිමෙක්ද මා අත මිටෙහි කොළ වැඩිද නො එසේ නම් මේ වනයෙහි කොළ වැඩි දැයි පිළිවිසූහ. “ ස්වාමිනී බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේගේ අතෙහි ඇත්තේ අතළොස්සකි මහ වනයෙහි වූයේම වඩා අධික විය” යන අනඳ හිමියන්ගේ පිළි වදන විය.

ආනන්දය ම විසින් හෙළි කර ඇති සියල්ල මිටෙහි වූ කොළ සමයයි. සම්බුදු හිමියයෝ වදාළහ. මේ අනුව සලකා බලන විට අනාවරණ ඤාණයෙන් පරිපෝෂිත බුදු ඇසට ඡ්‍යොතිෂය ලක් නොවේ යැයි කාට කිව හැකිද?

යම් යම් අවස්ථාවන් හිදී උන්වහන්සේ ඡ්‍යොතිෂය හා තාරකා විද්‍යාවට අයත් යම් යම් තොරතුරු නිරාවරණය කළ සේක. මෙහි පහත එනුයේ එවැන්නකි.

සිඛී බුදු සස්නෙහි අගසවු තනතුර හෙබවූ අභිභූ මහ රහත් හිමියන් මුළු සක්වළට ඇසෙන සේ ධර්ම ඝෝෂා පැවැත්වීමට සමත් වූ බව වරෙක සම්බුදු හිමියෝ අනඳ තෙරුන් වහන්සේ අමතා වදාළහ. මින් මහත් කුතුහලයට පත් එහිමියෝ තථාගත ධර්ම විකාශන ශක්තිය කෙතෙක් දුර විහිද යා දැයි සම්බුදු රජුන් විචාළ හ.

එක් එක් ඉර සඳ යුවළින් පෝෂිත දහසක් සක්වළ චූල නිකා සහස්සී ලෝකධාතු නම් වන බවත් එබඳු දහසක් මහා සහස්සී ලෝක ධාතු නම් වන බවත් තථාගතයන් වහන්සේ මේ සියල්ලට ඇසෙන සේ දහම් දෙසීමෙහි සමත් බවත් ඊට පිළිතුරු විය.

මේ අසා අතිශයින් ප්‍රීතියට පත් උන්වහන්සේ මුව නොසෑහෙන සේ තිලොගුරු හිමියන් පසසා ස්වාමිනි මෙය සිදුකරනුයේ කෙසේදැයි යළිත් පිළිවිමසූහ. තථාගතයන් වහන්සේ තෝජෝ කසින සමාපත්තියට සම වැදී ආලෝක ධාරාවක් නිකුත් කරමින් ශබ්ද තරංග ඒ හා මුදා හරින බව එහිදී පිළිතුරු වශයෙන් හෙළි විය. අද වැඩිම වේගයකින් ගමන් කරනුයේ ආලෝකය බව නවීන විද්‍යාව ඔප්පු කර ඇත. එදි චන්ද්‍රිකා මඟින් කරුණු ඉටුකෙරේ. මේ සියල්ල සලකා බැලීමේදී අපට කරුණු කිහිපයක් අනාවරණය වේ.

1) මෙතෙක් නවීන විද්‍යාවට අසුවූත් නොවූත් ග්‍රහලෝක තාරකා හා ඒවායේ ක්‍රියාකාරිත්වයද බල ශක්තිය ද තථාගතයන් වහන්සේ දැන සිටියහ.

2) අද නවීන විද්‍යාව උපයෝගී කරගෙන කරන සියල්ල ධ්‍යාන සමාපත්ති බලයෙන් උන්වහන්සේ ඉටුකළ සේක.

3) නවීන විද්‍යා දැනුමෙහි යම් යම් අඩුපාඩු නිසා ඒවා කලින් කල වෙනස් කරන්නට සිදුවන නමුත් සම්බුදු දහමෙහි එවැනි අඩුවක් නොවේ.

4) සියලුම ලෝකධාතු වළයාකාර බවත් ඒවා අපේ පෘථිවිය මෙන්ම පංච මහා භූතයන් නිර්මිත බවත් පළමු වරට ලොවට හෙළි කළේ උන්වහන්සේය.

5) මිනිසාට විශේෂයෙන් සෘධිමතුනට ඒවා ඇසුරු කළ හැකි බව උන්වහන්සේ වදාළහ.

6) තමාගේ කය නුවණින් විමසා බැලීමෙන් සියලුම ලෝක ධාතුන් හඳුනාගත හැකිය.

7) මේ අනුව බුදු දහමෙහි ඡ්‍යොතිෂය එනම් ග්‍රහ තාරකා පිළිබඳ තොරතුරු ගැබ්ව ඇති බව පෙනේ.

මේ සියල්ලටම වඩා ඉතා වැදගත් රහසක් ඉහත සඳහන් අරුණවතිය සූත්‍රයෙන් හෙළි වේ. අභිභූ හිමියන් දහම් ගොස් පැවැත්වූයේත් තථාගතයන් වහන්සේ කෙළ ලක්ෂයක් සක්වලට ඇසෙන දහම් දෙසූවෙත් ජීවින් උදෙසා නම් බුද්ධිමත් ජීවින් සිටින තවත් ග්‍රහලෝක ඇති බව එයින් ස්ථුට වේ.

කර්මය පිළිබඳ තොරතුරු ද ප්‍රකටය බුදුරදුනට පෙර විසූ ඉසිවරයෝ මෙම ඡ්‍යොතිෂයම සංඛ්‍යා දර්ශනය සේ දුටහ. සිදුහත් උපත අසා තිදසපුර සිට පැමිණි අසිත තවුසාද සංඛ්‍යා දර්ශනයෙහි කෙළ පැමිණියෙකි. බින්දු සංකල්පය මත බින්දුව ශුන්‍යයෙකැයි ගත් ඔහු ඉන් ඔබ්බට යා නහුනහ. එය බ්‍රහ්මාණ්ඩය සේද පරමාත්මය සේද දුටු ඔහු එහිම රැඳි ගත්හ.

එහෙත් සම්බුදු හිමියෝ එහි අගයක් ඇති බව පෙන්වා දෙමින් “නච සො නච අඤ්ඤ” යනුවෙන් ඔහුත් නොවේ ඔහු නොවන්නේත් නොවේ යයි පවසමින් ඉහත මතය ඛණ්ඩනය කළහ.

මීළඟට අප පිවිසෙනුයේ ඡ්‍යොතිෂයේ ඉතා රයඹර එහෙත් අතිශය ගැඹුරු සන්ධියකටයි.

පුනර්භවය පිළිබඳ රහස් සෙවීමට උපයෝගී කර ගන්නා නාඩි ඡ්‍යොතිෂය ගැන ඔබ අසා ඇත.

කල්පාරම්භයෙහි විසූ මහා බලවත් ඉසිවරයන් සත්දෙනෙකු එක්ව එදා විසූවන්ගේ ග්‍රහ පිහිටීම් විමසා බලා මේ කල්පය තුළ ඔවුන්ගේ චර්යාවන් උපදනා භූමි සහ මවුපියන් ඇතුළු සියලු තොරතුරු සටහන් කර තැබූහ. මොවුන් මෙසේ ගැන ඇත්තේ යාමල ග්‍රන්ථයන්හි එන තුම්බුරාවතී චක්‍රය උපයෝගී කර ගැනීමෙනනැයි හැඟේ. සිදුහත් උපත ඊට වසර පන්දහසකට පෙර කාක භූජංග නාඩියෙහි සඳහන්ව තිබිණ. මෙයින් බුදු දහමෙහි සඳහන් පුනර් භවය ඡ්‍යොතිෂයෙන් මනාව ස්ඵුප කර ඇත.

මෙකී තුම්බුරාවතියෙහි එන රාශි දොළොස් අතිශය සියුම්ය. ඉන් 1 ජනක කර්මය 2 ආචීණ්ණ 3 ආසන්න 4 ගරුක 5 කෘත්ත 6 උපපීඩක 7 උපස්ථම්භක 8 උප ඝාතක 9 දිට්ඨි දම්ම 10 අපරාපරිය උප පඡ්ඡවේදනීය 12 අහෝසි කර්ම දක්වයි. මෙහිදී පාලි නම් සඳහන් කළේ පහසුවෙන් අවබෝධ කර ගැනීමටයි.

මෙකී දොළොස් රැසින් එක් රැසක් තුළ අටවිසි නැකැත් යයි එම නැකත් අටවිසි රූප කලාප හා සමාන ගුණ ඇති ඒවා බුදු දහමෙහි ප්‍රකට රාග, ද්වේශ, මෝහ යන අකුසල් මුල් හා සමාන ඵල දෙති.

අපේ දේශිය ඡ්‍යොතිෂය අනුව දැක්වෙන ද්වාදසාංශ ගණිතය මීළඟට විමසා බලමු. මෙහිදී යම කාලයෙහි එන සියුම් ගණිත ප්‍රකාර පසළොස් පැයක් තුළ මේ ද්වාදසංශ ගෙවී යයි. මේ එක් එක් අංගය (පට්ච්ච සමුප්පාදය අයුරින් ) තුළ අෂ්ටවිංසති තාරකාවෝද උදාව ගෙවී යති. මීළඟට මේ අංග දොළොස පුර පෑලවියෙන් ක්‍රමයෙන් අරඹා පසළොස්වක දක්වා උදාවේ.

මෙම නැකැත් ක්‍රමය තුළ පලාඵල දේහ ලක්ෂණ විද්‍යාව, වාස්තු විද්‍යාව, රෝග විනිශ්චය හා ජන්ම පලාඵලද අඩංගු වේ. මෙම අවිජ්ජාදී අංග දොළොස සිරස පටන් දෙපතුල් දෙක දක්වා ක්‍රමයෙන් හිමිකම් ලබයි. බුදු දහමෙහි මෙන්ම ඡ්‍යොතිෂයෙහිද කර්ම විපාක තාවකාලිකව හෝ වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් පෙන්වා දී ඇත. ඒ සඳහා ඡ්‍යොතිෂයෙහිදී උපයෝගී කර ගනුයේ ඉහත කී ක්‍රමයයි. සුප්පියා මාතාවගේ දරු ගැබ සුවපත් කිරීම අපා ගත වීමට සිටු එවුන් දෙව්ලොව හෝ නිවනට යොමු කිරීම පුංචි කුමරුගේ ආයු රැක දීම (දීඝායු) ආදී විමසත්වා.

නව අරහාදී බුදු ගුණ අතුරින් එකම අරහත් යන පදය ගත් කළ “අ” යනුවෙන් බුද්ධ රත්නයද “ර” යනුවෙන් සංඝ රත්නයද “හං” යනුවෙන් ධර්ම රත්නයද නියෝජනය කෙරේ. මේ අනුව අරහං යන එකම පදය තුළ ත්‍රිවිධ රත්නය අඩංගු වන අයුරින් ඡ්‍යොතිෂය තුළ සකල විශ්වයම අන්තර්ගත වේ.

දහමෙහි ලෝභ, දෝෂ, මෝහ නම් අකුසල් මුල් ඡ්‍යොතිෂයෙහි රජස්, තමස්, සත්ව යනුවෙනි. අටවිසි රූප කාලප- අටවිසි නැකැත් , දොළොස් අංග - දොළොස් රැස් , සතර පරමාර්ථ - සතර පන්තා , පංච මාර - පංච පදාර්ථ ක්‍රමයෙන් දහමෙහි සහ ඡ්‍යොතිෂයෙහි ප්‍රකට වේ. මෙසේ බුද දහම සහ ඡ්‍යොතිෂය බොහෝ දුරට සමගාමී වන්නේ නමුදු සසරින් එතෙර වීමේ මඟ නිසා සම්බුදු සසුනම ඉදිරියෙන් සිටී.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.