පිරිමින්ගේ වඳභාවය සොයා දෙන කපු

නොවැම්බර් 15, 2024

“සර්... අද ද්‍රව්‍ය ගුණ විෂයට කපු ශාකය ගැන කියනවා කියලා සර් ඊයේ කිව්වනේද?” “ඔව්. ඔව්. අපි කපු ගැන පාඩම කරමු. පිරිමි ළමයි හරි උනන්දුයි නේද අද?.” කියූ කථිකාචාර්යවරයා පාඩම ඇරැඹුවේය.

“සමහර ළමයි කපු ගැන දන්නව ඇති.

කපු කියන්නේ ළමයිනේ ඖෂධීය වශයෙන් වගේම ආර්ථික වශයෙන් ප්‍රයෝජන ගෙන දෙන ශාක අතුරින් ප්‍රධාන ශාකයක්...මේ කපු ගස් බෙහෙත් පැළෑටියකට වඩා භාවිත කරන්නෙ රෙදිපිළි සඳහා නූල් සකස් කරන්නයි. මේ නූල් සකස් කරන්න යොදා ගන්නේ කපු ගස්වල සෑදෙන ගෙඩිවල පවතින පුළුන්.

ඉතින් කපු රෙදිපිළි නිෂ්පාදනය නිසා කපු ශාකය ආර්ථික වගාවක් විදියට වවනු ලබනවා.

හින්දු භක්තිකයන් විසින් උද්‍යාන කර්පාස සහ දේව කර්පාස කියල හදුන්වන රතු පාට මල් තියෙන ගහ සහ කළු පාටට හුරු මලක් තියෙන කාලාංජනී ලෙස හඳුන්වන විවිධ කපු වර්ග දකින්න තිබුණත් ඒ හැම කපු වර්ගයක්ම ගුණයෙන් සමානයි..”

“සර් කපු ගස් කොයි කොයි රටවලද දකින්න පුළුවන්?”

“විදේශීය වශයෙන් ගත්තාම අරාබියට සහ ආසියාවේ කුඩා කොටසකට ආවේණිකයි. සෑම ඝර්ම කලාපීය රටකම වගේ වගා කරලා තියෙනවා. මිසරය වගේ රටවල විශේෂයෙන් දකින්න පුළුවන්.

දේශීය වශයෙන් ගත්තාම ශ්‍රී ලංකාවේ අතරමැදි සහ වියළි කලාපීය ගෙවතු හා හේන්වල වගා කරනු ලබනවා. ඒ වගේම මාවත් දෙපස සහ අත් හැර දැමූ ඉඩම්වලත් වැවී තියෙනවා දකින්න පුළුවන්.”

“කපු ගස් පඳුරු වගේ නේද සර් හැදෙන්නේ.?”

“ඔව් ළමයිනේ. කුඩා පඳුරු විදියට තමයි හැදෙන්නේ. සාමාන්‍යයෙන් අඩි 10-12 ක් විතර උසට වැවෙනවා. මේවායේ කොළ එරඩු කොළවලට සාමානව කැබලි තුනක ආකාරයෙන් පිහිටනවා.. කපු ගස්වල හැදෙන මල් කහ පැහැතියි. ශීත කාලයේ තමයි මල් හටගන්නෙ. ඒ වගේම ග්‍රීෂ්ම කාලයේදී ගෙඩි හට ගන්නවා. මේ ගෙඩි වල කුටීර 3-4 ක් පමණ තියෙනවා. මේවායේ තියෙන බීජ විශාලයි. ඒ වගේම මේ කපු ගෙඩිවල බොහෝ සෙයින් සුදු පාට පුළුන් තියෙනවා.”

“කපුවලට කියන වෙනත් නම් මොනවාද සර්?”

“පොදු සිංහල නාමය කපු

සංස්කෘත භාෂාවෙන්

කර්පාස... සමුද්‍රාන්තා... තුණ්ඩිකේරී...කාර්පාසී... කුංඩකේශී... ත්‍රීපර්ණී... සූත්‍ර පුෂ්පිකා... නග්නජිත්... ස්ථූලා... භාරධ්වාජී... මරුද්භවා... ගුණාසු... ශාන පුෂ්පී... ආදි නම් රාශියක් තියෙනවා

හින්දි භාෂාවෙන්

කපාස සහ මනවා යන නම් යෙදෙනවා

දෙමළ භාෂාවෙන්

පර්තී.. පරුතී යන නම් යෙදෙනවා

ඉංග්‍රීසි භාෂාවෙන්

Cotton Plant... Common Cotton

Indian Cotton

 යන නම් යෙදෙනවා

කපුවල උද්භීද විද්‍යාත්මක නාම

Gossypium herbaceum Linn

Gossypium arboreum Linn

Gossypium wightianum Tod

Gossypium obtusifoloum Roxb

 ලෙස ගැනෙනවා. කපුවල කුලය වන්නේ MALVACEAE හෙවත් කර්පාස කුලයයි.”

“එතකොට සර් කපුවල මොන මොන කොටස් ද ඖෂධ සඳහා යොදා ගන්නෙ?”

කපුවල මුල්... ගෙඩි... කොළ... ඇට... මල් සහ කපු පුළුං ආදිය ඖෂධ සඳහා යොදා ගන්නවා.”

“එතකොට සර් කපුවල ඖෂධීය ගුණ කර්ම කොහොමද?”

“ළමයිනේ. කපුවල ඖෂධීය ගුණ සැලකුවාම

රසයෙන් මධුර සහ කෂාය රසයි

ගුණයෙන් ලඝු සහ ස්නිග්ධයි..

වීර්‍යයෙන් මද වශයෙන් උෂ්ණයි

විපාකයෙන් මධුරයි

දෝෂ අනුව සැලකුවාම

මධුර හා ස්නිග්ධ නිසා වාත සමන සහ සෙම් වර්ධකයි

උෂ්ණ නිසා පිත වර්ධකයි.

මේ නිසා වාත රෝගවලට බොහෝ සෙයින් ප්‍රයෝග කරනු ලබනවා

ඒ වගේම ශාරීරික ව්‍යුහාගත ක්‍රියා සැලකුවාම

බාහිර වශයෙන්

වේදනා සමන සහ ව්‍රණ තුවාල සමනය කරන ගුණ යුතුයි. මේ නිසා ඉදිමුම්, වේදනා සහිත ආබාධ විෂ, ගින්නෙන් පිලිස්සීම්, තුවාල, ව්‍රණ ආදියේදී කපු ඇටවලින් සකස් කරපු ආලේප යොදනු ලබනවා.

ඒ වගේම සන්ධි වාත, හිසරදය ආදියට කපු ඇටවල තෙල් ගානු ලබනවා.

එසේම වණ තුවාලවලදි කපු පුළුන් දවා ගත් අළු ඉසිනු ලබනවා.

කන් රෝගවලට කපු කොළ යුෂ කනට දමනවා.

අභ්‍යන්තර වශයෙන් ගත්තාම

ස්නායු දුබලතාව නිසා උපදින උන්මාද, අපස්මාර වගේ රෝගවලදි කපුඇටවල මදවලිනුත්, මානසික රෝගවලදී කපු මල්වලිනුත් සකස් කළ සිරප් යොදනු ලබනවා.

ඒ වගේම කපු මල්වල අක්මා උත්තේජන ගුණ ඇති නිසා අක්මා ආබාධ සහ කාමලා රෝගීන්ට කපු මල්වලින් කළ පානය යොදා ගනු ලබනවා.

එසේම මළ බද්ධයේදී කපු ඇට ප්‍රයෝගයත්..ආම අතීසාරයේදී ළා කපු කොළ ස්වරසයත්..ප්‍රවාහිකාවේදී කපු කොළ ස්වරසයත් යොදනු ලබනවා.

ඒ වගේම කපු මුලේ පොතුවල ගර්භාෂ සංකෝචන ගුණයත් ආර්ථව ජනන ගුණයත් තියෙනවා. මේ නිසා වේදනාකාරී ඔසප් වීම් සහ ඔසප් නොවීම්වලට කපු මුලේ පොතු චූර්ණය හෝ ක්වාථය යොදනවා. මේ ක්වාථයට කළුදුරු, සතකුප්ප සහ පැරණි උක් හකුරු ආදිය ඇතුළත් කළහොත් වඩාත් හොඳින් ක්‍රියාකාරී වනවා.

ඒ වගේම ප්‍රසවයේදි වැදෑමහ වැටීමන් පසු මේ ක්වාථය යෙදුවොත් ගර්භාෂය හොඳින් හැකිළී, ලේ යාම නතරවී, උණ වැනි උපද්‍රව හටගැනීමත් වැළකෙනවා. එසේම මේ ක්වාථය වැඩියෙන් ගැනීම ගර්භපාතයට හේතු වෙනවා. එසේම කපු ඇටවල මදය මව්කිරි වැඩිකිරීමටත් ලිංගික දුබලතා දුරුකරලීමටත් යොදනු ලබනවා. ශ්වේත ප්‍රදරයේදී කපු මුල්වල පොතු හාල් පානු වතුරෙන් දෙනු ලබනවා.

එසේම කපු ඇට සහ කොළ මූත්‍ර වඩන ගුණ යුක්තයි. එනිසා කපු ඇට චූර්ණය සහ පත්‍ර ස්වරසය මූත්‍ර කෘච්ජ්‍රයේදී ප්‍රයෝග කරනු ලබනවා.

ඒ වගේම කපු ඇටවල විෂම ජ්වර නසන ගුණ යුතු නිසා කපු ඇට පාණ්ඨය ශීත ජ්වරවලට සහ උණ ඒමට පෙර යොදනු ලබනවා.

එසේම කපු ඇට බලකාරක සහ විෂ නසන ගුණ යුතුයි. කපු කොළ ලේ වඩන ගුණ යුතුයි. කපු මල් විෂ නසන ගුණ යුතුයි. මේ නිසා සාමාන්‍ය දුබලතාවලට කපු ඇට ප්‍රයෝගය සුදුසු වෙනවා. කපුකොළ යුෂ පාණ්ඩුවේදී යොදනු ලබනවා. සර්ප විෂේදී කපු ඇටවල මදයත්, අත්තන විෂ සඳහා මල් පාණ්ඨයත් එසේම බීජ පාණ්ඨයත් යොදනු ලබනවා.”

“සර් කපුවල ඖෂධ අංග අඩංගු ඖෂධ යෝග තව ගොඩක් තියෙනවා නේද?”

“ඔව් ළමයිනේ...

ඖෂධ යෝග රාශියක් තියෙනවා

ඒ අතුරින්

ගෝනුසු දෂ්ඨයට

කපු මුල් හාල් පානු වතුරින් අඹරා බීමට දෙනු ලබනවා.

මව්කිරි වැඩීමට

වල්කපු මුල්, උක් මුල් අඹරා බීමට දෙනු ලබනවා

කුෂ්ඨයට

කපු ගසේ පොතු සහ මල් අඹරා ගානවා.

කපාල කුෂ්ඨයට

කපු ගසේ පංචාංගය කෂාය කර පෙරා එයට තක්‍රාම්ල සහ තල තෙල් යොදා සිඳගත් තෙල ගානු ලබනවා.

ප්‍රදරයට සහ පාණ්ඩුවට

කපු මුල් හාල් පානු වතුරෙන් අඹරා බීමට දෙනු ලබනවා.

ඉදිමුමට

වියළි ගෙඩි සහිත කපු ගසක් ගෙන කපා කොටා වියලා පිළියෙල කර ගත් කර්පාස භෂ්මය් ඇල්හාලින් කළ කිරිබතක් සමඟ ගැනීම ගුණදායකයි

අපචියට

වල්කපු මුල් පිටි කර හාල්පිටි සමඟ මිශ්‍ර කර ගිතෙලින් අනා සාදා ගත් කැවිලි ආහාරයට ගැනීම සුදුසු යි

කර්ණ ස්‍රාවයට

හල් පොතු සහ කපු ගෙඩි දෙවගය කොටා මිරිකා ගත් යුෂ මීපැණි මිශ්‍ර කර කණට දමනු ලබනවා.

ඉතින් ළමයිනේ මේ වගේ ඖෂධ යෝග රාශියක් තියෙනවා

ඒ වගේම කපුවල ඖෂධ අංග අඩංගු සංස්කාරික ඖෂධත් කිහිපයක් ම තියෙනවා. ඒ අතරින්

කර්පාසාදී තෛලය

කර්පාසාදී ප්‍රලේපය

කර්පාසාදී ස්වේදය

කපු කොළ බස්නය

ආදිය ප්‍රධාන වෙනවා.

එසේම කපු පුළුන් කපු නූල් ආදිය ව්‍රණ බන්ධනය...තුවාල... ශල්‍ය කර්ම ආදියට යොදා ගනු ලබනවා

ඒ වගේම අර්ශස් රෝගීන්ට යොදනු ලබන ප්‍රකට යෝගයක් වන ක්ෂාර සූත්‍ර සඳහා යොදා ගනු ලබන්නේ ද කපු නූලමයි.

එසේම කපු පුළුං දවාගත් අළු තුවාලවලදි ප්‍රයෝග කරනු ලබනවා.

ඒ වගේම තමයි ළමයිනේ. අපේ පැරණි දේශීය වෛද්‍යවරුන් පිරිමින්ගේ වදභාවය පරීක්ෂා කීරීමට කපුඇට පොළොවේ වළලා උදෑසන පළමුව පිටකරන මූත්‍ර සිසිල් වුණාට පසු ඒ මත හෙලනු ලබනවා. මෙසේ දින 3 ක් කළාට පසු පළමු සතියේම ඒවා පැලවෙනවා නම් එම පිරිමියා දරුඵල ඇති කිරීමට සමත් නොවන්නෙක් බවට දක්වා තියෙනවා.

ඉතින් ළමයිනේ කපු ගැන හොඳ විස්තරයක් ඔයගොල්ලන්ට ලැබුණානේ.”

“ඔව් සර් කපු ගැන ගොඩක් කරුණු අපිට ලැබුණා. සර්ට ගොඩක් ස්තුතියි.”

“හොඳයි ළමයිනේ එහෙනම් අදට ඔය ඇති .අපි අනෙක් දවසෙ අලුත් ශාකයක් ගැන ඉගෙන ගනිමු.”

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.