කොට්ට මාරු කළාට හරි නොයන බෙල්ලේ වේදනාව

සැප්තැම්බර් 27, 2024

බෙල්ලේ වේදනාව අද වන විට තරුණ වයසේ සිටම ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනාට මුහුණපාන්නට සිදුවන පීඩාකාරී තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. බෙල්ලේ වේදනාව රෝගයක් නොව රෝග ලක්ෂණයක් වන නිසා බෙල්ලේ වේදනාව ඇතිවීමට විවිධ රෝග මූලයන් හේතු වනවා. ඒ ආකාරයට බෙල්ලේ වේදනාව ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස බෙල්ල ආශ්‍රිත කොදු ඇට පේළියේ සන්දි ගෙවී යාම හෙවත් Cervical Spondylosis  දක්වන්නට පුළුවන්. ශරීරයේ ඕනෑම සන්ධියකට ඇතිවිය හැකි ර්‍ණඵබඥධචපබඩපඪබඪඵ රෝගය බෙල්ල ආශ්‍රිත කෂේරුකාවලටද වැලඳෙන්නට පුළුවන්.එහිදී ක්‍රමයෙන් බෙල්ල ආශ්‍රිත කොදු ඇට පේළිය හෙවත් කශේරුකා පද්ධතියේ පවතින කාටිලේජ් කොටස විනාශ වී යාම සිදුවනවා. මෙය බොහෝ විට C7/T1,C6/C7,C5/C6 යන පහළ කොටසේ පවතින සන්ධිවල වැඩි වශයෙන්ම සිදුවෙනවා. ඊට හේතුව වන්නේ එම ප්‍රදේශයට ශරීරයේ ස්වභාවික පිහිටීම නිසා පීඩනයක් එල්ල වීමයි. මේ නිසා දීර්ඝ කාලයක් නිවෙසේ වැඩ කටයුතුවලදී හෝ රාජකාරී කටයුතුවලදී බෙල්ල ඉදිරියට නමාගෙන සිටීමට සිදුවන පුද්ගලයන්ට මැදි වයසට එළඹීමත් සමග මේ රෝගී තත්ත්වයට මුහුණ දෙන්න දීමට සිදුවනවා.පරිගණක ක්‍රියාකරුවන්, ගුරුවරුන්, ලිවීම් සහ කියවීම ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයන් සහ ඇඳුම් මැසීම ආශ්‍රිතව රැකියා කරන පුද්ගලයන් මේ කාණ්ඩයට අදාළ වනවා. එම නිසා ඔබත් එවැනි රැකියා කටයුතුවල නිරතවන පුද්ගලයකු නම් සහ මැදි වයසට එළඹීමට ආසන්නව සිටිනවා නම් ඔබට පීඩා ගෙන දෙන බෙල්ලේ වේදනාවන් සුළුවෙන් සිතා කටයුතු කිරීම කිසිසේත් යෝග්‍ය වන්නේ නෑ. මුල සිටම ඔබගේ ඉරියවු නිවැරැදිව පවත්වා ගැනීමට හුරුවීම මඟින්ද පසුකාලීනව මේ රෝගය ඇතිවීම පාලනය කර ගැනීමේ හැකියාව පවතිනවා.

 

රෝගය ඇතිවීමට බලපාන සාධක

වයස්ගත වීමත් සමග මේ රෝගය ඇතිවීමේ අවදානම වැඩිවේ.

බෙල්ල ආශ්‍රිත කොඳු ඇට පේළියට අනවශ්‍ය පීඩනයක් එල්ලවන කටයුතු සහ ක්‍රියාකාරකම්වල වැඩි වේලාවක් නිරත වීම.

බෙල්ලට කලින් සිදුවී ඇති විවිධ වර්ගයේ අනතුරු සහ ඒවාට නිවැරදිව ප්‍රතිකාර ප්‍රතිකාර නොලබා සිටීම.

දුම්පානය කිරීමද මේ රෝගය ඇතිවීමට හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ.

ජානමය බලපෑම් මත ද මේ රෝග තත්ත්වය ඇතිවීම සහ ව්‍යාප්තිය සිදු වේ.

බෙල්ල ආශ්‍රිත කොඳු ඇට අතර පවතින අන්තර් කශේරුක මඬල නම් මෘදු පටක ව්‍යුහයේ ජල ප්‍රමාණය අඩුවීම.

බෙල්ල ආශ්‍රිත කොඳු ඇට පේළියේ අන්තර් කෂේරුක මඬල පිටුපසට නෙරා යෑම හෝ ලිස්සීම.

කොඳුඇට පේළිය ආශ්‍රිතව පවතින බන්ධනීවල චලතාවයේ ඇතිවන ගැටලු.

 

රෝග ලක්ෂණ

වේදනාව

මෙය මුල් අවස්ථාවේදී බෙල්ල චලනය කරන විට පමණක් ඇති වන අතර රෝගය උත්සන්න වීමේදී විවේකීව සිටින අවස්ථාවලදී පවා බෙල්ලේ වේදනාව ඇතිවේ. පසුකාලීනව මේ වේදනාව ඇඟිලි දක්වා ගමන් කරන අතර ඇඟිලිවල හිරිවැටීමද ඇතිවිය හැකිය.

බෙල්ලේ තද ස්වභාවය සහ චලන අපහසුතාවය.

බෙල්ල හැරවීමේ සහ නැමීමේදී එකින් එක අස්ථි ඇතිල්ලෙන ස්වභාවයක් දැනීම.

හිසරද තත්වය.

සමබරතාවය ගැටලු සහ පෙනීම ආශ්‍රිත ගැටලු.

රෝගය වැලඳීම සහ පැතිර යාම

බෙල්ල ආශ්‍රිත කොදුඇට පේළිය ගෙවී යාම ආරම්භවීමත් සමග වේදනාව සහ බෙල්ලේ තද ස්වභාවය ඇතිවීමට පටන් ගනී. නිවැරැදි ප්‍රතිකාරවලට යොමු නොවීමත් සමඟ මේ ස්වභාවය ක්‍රමක්‍රමයෙන් වැඩිවීම සිදුවේ. එසේ උත්සන්න වීමේදී ප්‍රධාන අවස්ථා තුනක් දක්නට ලැබේ.

 

1.Cervical Radiculopathy

කොඳු ඇට පේළියේ ගෙවී යාම නිසා කොඳු ඇටවලින් එළියට පැමිණෙන පර්යන්ත ස්නායු Intervertebral Foramina නම් ස්ථානයේදී තෙරපීමකට ලක්වනවා. මෙහිදී තෙරපීමට ලක්වන පර්යන්ත ස්නායුව හෝ ස්නායු නිසා වේදනාව සහ හිරිවැටීම බෙල්ලේ සිට උරහිස් දක්වා හෝ ඇඟිලි දක්වා විහිදෙන්නට පුළුවන්. මේ අවස්ථාව නිවැරදිව විනිශ්චය කිරීම සඳහා X-ray සහ MRI සටහන් භාවිත කරන්නට පුළුවන්.

 

2.Cervical Myelopathy

රෝගය ක්‍රමයෙන් උත්සන්න වීමත් සමඟ පර්යන්ත ස්නායුවලට අමතරව සුෂුම්නාවද පීඩනයකට හෝ තෙරපීමකට ලක්වීමේ හැකියාව පවතිනවා. මේ අවස්ථාවේදී සමබරතාවය ආශ්‍රිත ගැටලු සහ පාදවල හිරවැටීමේ ස්වභාවය ඇති වන්නට පුළුවන්. මෙහිදීද රෝග විනිශ්චය සහ හඳුනාගැනීම සඳහා X-ray / MRI  පරීක්ෂණ වාර්තා භාවිත කිරීම සිදුකළ හැකිය.

 

3. Vertebral Basilar Artery Insufficiency
 

බෙල්ල ආශ්‍රිත කොඳු ඇට පේළිය ගෙවී යාම නිසා එම කොඳු ඇට පේළියේ සම්පූර්ණ දිග ක්‍රමයෙන් අඩුවීම සිදුවනවා. හිසට සහ මොළයට රුධිරය සපයන ධමනිවල හැකිළීමක් සිදුවන්නට පුළුවන්. මෙහිදී මොළේට සහ හිසට රුධිරය ගමන් කිරීමේ ක්ෂණික අඩුවීම් සිදුවන්නට පුළුවන්. ඒ අවස්ථාවලදී විශේෂයෙන්ම බෙල්ල චලනය කරන විට කරකැවිල්ල ස්වභාවය, ද්විත්ව රූප පෙනීම සහ ක්ලාන්ත ස්වභාවය ඇති වන්නට පුළුවන්. මේ අවස්ථාව මේ රෝගයේ උච්චතම අවස්ථාව ලෙස දක්වන්නට පුළුවන්.

 

ප්‍රතිකාර

මූලික අවස්ථාවේදීම රෝගය හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාරවලට යොමුවීම මඟින් මේ රෝගී තත්ත්වය නිවැරැදිව පාලනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. කල්ගත වූ අවස්ථාවලදී ප්‍රතිකාරවලට යොමු වීම මඟින් සමහර අවස්ථාවලදී සම්පූර්ණ සුවයක් ලබා ගැනීම සිදුනොවන්නට පුළුවන්. එම නිසා ඔබට දැනෙන කුඩා ප්‍රමාණයේ බෙල්ලේ වේදනාවක් වුවත් දින කිහිපයක් සුව නොවී පවතිනවා නම් නොපමාව ප්‍රතිකාරවලට යොමුවීමට වගබලා ගන්න.පාරම්පරික තෛල ප්‍රතිකාර සහ තැවුම් ප්‍රතිකාර මඟින් මූලික අවස්ථාවේ සිටම මේ රෝගයට ප්‍රතිකාර ආරම්භ කරන්නට පුළුවන්. බෙල්ල ආශ්‍රිතව ඇතිවන ඕනෑම වේදනා තත්ත්වයකදී උරහිස සහ කොන්දේ ඉහළ ප්‍රදේශයේ ආශ්‍රිත මාංශපේශිවල අසාමාන්‍ය තදවීම් ස්වභාවයක් ඇතිවනවා. මේ තදවීම් ස්වභාවය නිසාද තවදුරටත් වේදනාව ඇතිවන්නට පුළුවන්. එම නිසා සිදුකරන තෛල සහ තැවුම් ප්‍රතිකාර බෙල්ල ප්‍රදේශයට අමතරව උරහිස සහ කොන්දේ ඉහළ ප්‍රදේශයටද ලබාදිය යුතු වනවා. මේ ප්‍රතිකාරවලින් අනතුරුව බෙල්ල ආශ්‍රිත කොඳු ඇට පේළියේ ගෙවී ඇති ස්ථාන සඳහා පත්තු යෙදීමද කළ හැකිය. ගෙවී ගිය සන්ධිවලට අවශ්‍ය පෝෂණය ලබාදීම සහ වේදනාව, ඉදිමීම පාලනය කිරීමද මෙමගින් සිදු කරගන්නට පුළුවන්. මේ ප්‍රතිකාර සමඟම බෙල්ල උරහිස සහ පිට කොන්ද ආශ්‍රිතව අසාමාන්‍ය වශයෙන් තද වී පවතින මාංශ පේශී ලිහිල් කර ගැනීම සඳහා ව්‍යායාම වර්ගද සිදු කළ යුතු වෙනවා. බාහුව හෝ ඇඟිලි ආශ්‍රිතව වේදනාව ගමන් කිරීමක් හෝ හිරිවැටීමක් සිදුවේ නම් ඒ සඳහා චීන කටු වෛද්‍ය ක්‍රමයෙන්ද වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන්. මේ සියලු ප්‍රතිකාර ක්‍රම සමඟම ඔබගේ ඉරියවු පිළිබඳව වඩාත් අවධානය යොමු කොට ඉරියවු නිවැරදිව පවත්වා ගැනීම මඟින් ද සුව වීමේ සීඝ්‍රතාවය ඉක්මන් කර ගැනීමේ හැකියාව පවතිනවා.

 

ප්‍රථමාධාර

නිදා ගැනීමේදී කොට්ට භාවිතය ඉවත් කර ඇඳ ඇතිරිල්ලක් හෝ තුවායක් රෝල්කර බෙල්ල පිටුපසින් තබා නිදාගන්න.

බෙල්ල නවාගෙන සිදුකරන ලිවීම, කියවීම සහ ආහාර පිසීම වැනි ක්‍රියාවන් හැකිතාක් අවම කරන්න.

ඔබ සිදු කරන කුමන හෝ ක්‍රියාකාරකමක් නිසා බෙල්ලේ වේදනාවක් ඇති වේ නම් සෑම විටම කඩ විවේකය ලබාගන්න.

ගමන්මලු කරේ එල්ලාගෙන යෑම අවම කරන්න.

බෙල්ලේ වේදනාව ඇති තැනට මිනිත්තු 15ක් 20ක් පමණ අයිස් තබන්න.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.