ආහාර රුචිය ඇති කරන දිරවීම පහසු කරන සියඹලා

පෙබරවාරි 24, 2023

ලොකු කුඩා සෑම දෙනාම පාහේ හොඳින් දන්නා ගසක් ලෙස සියඹලා ගස හැඳින්විය හැක. ඉතා විශාල ප්‍රමාණයේ ගසක් ලෙස වැඩෙන මෙම ගස ගම්බදව ඉතා බහුල ලෙස දක්නට ලැබේ. ආහාරමය වශයෙන් සියඹලා කරල්වල රුචිය ඇති කිරීමේ සහ ආහාර දිරවීම පහසු කිරීමේ ගුණය මල අනුලෝමනය කිරීමේ ගුණය ද දක්නට ලැබේ. අමු සියඹලා තද ඇඹුල් රසින් යුක්ත වන අතර ඉදුණු සියඹලා මධුර සහ අම්ල රසින් යුක්තය. ඉන්දියාවේ ජනයා බහුල වශයෙන් ආහාර රසවත් කිරීම සඳහා මෙය යොදා ගනු ලබයි.

 

විශේෂයෙන් අමු සියඹලාවලට වඩා ඉදුණු සියඹලාවල පෝෂණ ගුණය අධික වෙයි. ඉදුණු සියඹලා ග්‍රෑම් 100ක ඇති පෝෂණ තත්වය සැලකීමේදී

ශක්තිය කැලරි 214

ප්‍රෝටීන් ග්‍රෑම් 2.3

මේදය ග්‍රෑම් 0.2

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 56.7

කැල්සියම් මිලි ග්‍රෑම් 81

පොස්පරස් මිලි ග්‍රෑම් 86

යකඩ මිලි ග්‍රෑම් 1.3

කැරොටින් මයික්‍රො ග්‍රෑම් 10

තයමින් මයික්‍රො ග්‍රෑම් 220

රයිබොප්ලේවින් මයික්‍රො ග්‍රෑම් 80

නියැසින් මිලි ග්‍රෑම් 1.1

විටමින් සී මිලි ග්‍රෑම් 3ක් වශයෙන් පවතියි. මෙම පෝෂ්‍ය පදාර්ථවලට අමතරව ටාටරික් අම්ලය 5%ක් සියඹලා බොරවල ඇති අතර සිට්රික් අම්ලය 4%ක්ද, පොටෑසියම්, ටාටරේට්, මැලික් ඇසිඩ්, ඇසිටික් ඇසිඩ්, පෙක්ටීන් සහ ශරිකරා පදාර්ථ රසායනික උපාදාන වශයෙන් මෙහි පවතියි. මෙසේ පෝෂණීය ගුණයෙන් ඉතා බහුල මට්ටමක් සියඹලාවල දක්නට ලැබෙන අතර ඖෂධීයවද බොහෝ යෝගයන් සඳහා යොදා ගනු ලබයි. මෙහිදී ඖෂධ යෝගයන් සඳහා ගනු ලබන්නේ කොළ, පොතු, මල්, කරල්,සියඹලාබොර, කරලේ පොතු සහ ඇට ආදියයි. මේ අනුව බලන විට ඖෂධ සදහා සියඹලා ගසේ සියලුම කොටස් යොදා ගනු ලබන බව පෙනේ. මෙම ගස වැවෙන ප්‍රදේශ පිළිබඳ සලකන විට පෙනී යන්නේ ඉන්දියාවේ විශේෂයෙන් දකුණු ප්‍රදේශයේ සහ බෙංගාලයේ ද, මියැන්මාරයේ ද වැවෙන බවයි.

දේශීයව ලංකාවේ බොහෝ ප්‍රදේශවල මෙය වැවෙන බව පෙනී යයි. මෙය විවිධ භාෂාවලින් හැඳින්වෙන අයුරු පිළිබඳ සැලකීමේදී සංස්කෘත බසින් අම්ලිකා, තින්තිඩී, විඤ්චා, අම්ලි, චුත්‍රා, දන්තශඨා, අමිලා ත්‍රින්ත්‍රිනි ආදී නාමයන් රැසකි. මෙයින් තින්තිඩී යනුවෙන් හැඳින්වෙන්නේ දැකීමෙන් කටට කෙළ උනන හෙයින්ය.

ඇඹුල් රස හෙයින් මුඛයේ හිරි වැටීම ඇති කරන නිසා චිඤ්චා යනුවෙන් ද අම්ල රස නිසා අම්ලිකා යයිද කියයි. හිංදි බසින් සියඹලා හඳුන්වන්නේ චිංචා ඉම්ලි යනුවෙන් වන අතර වංග බසින් තේංතුල් නමින් ද දෙමළ බසින් පලම් යැයි කියයි. ඉංග්‍රීසි බසින් සියඹලා ගසට Tamarind Tree යනුවෙන් කියනු ලබයි. මෙහි උද්භිද විද්‍යා නාමය වනුයේ Tamarindus Indica Linnx. මෙහි කුලය Leguminosae
 

හෙවත් ශිම්බි කුලය වන අතර උපකුලය වන්නේ පූති කරඤ්ච කුලයයි.මෙහි ඖෂධීය ගුණ සැලකීමේදී රසයෙන් අම්ලද ගුණයෙන් ගුරු හා රුක්ෂද , වීර්යයෙන් උෂ්ණ ද විපාකයෙන් අම්ලද වෙයි. අමු සියඹලා කරල්වල අම්ල භාවය ඉතා අධික නිසා සෙම හා පිත වඩන අතර රත් පිතද වඩයි. එසේම උෂ්ණ ද වෙයි. ඉදුණු සියඹලා මධුර හා අම්ල රස නිසා වාතය සමනය කරයි. එසේම පරණ සියඹලා බොර වල රුචිය වඩන ක්ලාන්ත පිපාසා සමනය කරන ගුණ වෙයි. මේ නිසා බොහෝ විට අමු සියඹලා වාත රෝගයන් හිදී ද, ඉදුණු සියඹලා සෙම් වාත රෝයන්හි දීද විශේෂ වේ.

 

ව්‍යුහාගත ක්‍රියා සැලකීමේදී බාහිරව

කොළ හා ඇට ඉදිමීම් නසන හා වේදනා නසන ගුණයෙන් යුක්ත නිසා සියඹලා කොළ හා ඇට අඹරා රත්කර ආලේපයෙන් ඉදිමීම් හා වේදනාව නැසෙයි. එසේම සියඹලා මද ප්‍රලේපය සැරවා නසන අතර ව්‍රණ ද නසයි. එසේම සියඹලා කොළ තම්බා ගත් වතුර රෙදි කඩක් පොඟවා තැබීමෙන් ඉදිමුම් සුවවේ. අර්ශස්වලදී සියඹලා කොළ තම්බා අඹරා ආලේපය ගුණදායකය. එසේම කටේ තුවාල ඇති විට සියඹලා කොළ තම්බා ගත් ජලය

ගණ්ඩුෂ කිරීමද බඩවැල පහත් වීමේ දී සියඹලා ඇට බැද වතුරෙන් අඹරා ආලේපය සුදුසුය.

අභ්‍යන්තර ප්‍රයෝග සැලකීමේදී

ආහාර ජීර්ණ පද්ධතියේද සියඹලා කරල්මදය බඩගින්න වඩන පිපාසය නසන අක්මාව ශක්තිමත් කරන සහ පිත්ත විරේචන සහ භේදන ගුණ යුක්ත නිසා අරුචිය, පිපාසාව, බඩගිනි අඩුකම, අක්මා ආශ්‍රිත රෝග සහ මලබද්ධතාවය සඳහා යහපත් වෙයි.

එසේම ගසේ පොතු සහ කරල් පොතු ක්ෂාරය දීපන භේදය සහ වේදනා නසන ගුණ ඇති නිසා බඩේ වේදනා, බඩගිනි මද බව සහ ගුල්ම ආදියට ගුණදායකය. එසේම සියඹලා මදයෙන් සකස් කරන ලද අම්ලිකා පානය ද ඉහත රෝග තත්වයන් සඳහා හිතකර වේ. එසේම සියඹලා බොර හා එළකිරි මිශ්‍ර කර සාදන ලද සියඹලා මෝරු ද මල බද්ධයට ඉතා ප්‍රශස්ත පානයකි. එමෙන්ම අර්ශස් සහ අතීසාරයේදීී සියඹලා දලු සහ මල් ඉතා ගුණදායකය.

රුධිර සංසරණ ව්‍යුහාවේදී

ඉදුණු සියඹලා මදයේ හෘදයට හිත ගුණය මෙන්ම රක්තවාත සමනය කරන ගුණ ඇති නිසා හෘද රෝග හා රක්ත වාත අවස්ථාවන් හිදී ඉතා ගුණය.

මුත්‍ර ව්‍යුහාවේදී

මෙහි ක්ෂාර මුත්‍ර ඇති කරන ගුණ යුතු නිසා මුත්‍ර කාච්ජ්‍රයේදී ප්‍රයෝජනයට ගනු ලබන අතර මුත්‍රයේ අම්ල ගතිය අධික වීමේදීත් මුත්‍ර නාල ඉදිමීමේදීත් යොදා ගනියි.

ප්‍රජනන ව්‍යුහාවේදී

සියඹලා ඇටවල ශුක්‍ර ස්තම්භක ගුණ හා සංග්‍රාහී ගුණ ඇති නිසා ප්‍රදර, සෝම රෝග, ශුක්‍ර මේහ,ස්වප්ත දෝෂ (සිහිනෙන් ධාතු පිටවීම) ආදී තත්ත්වයන් හිදී ගුණ දෙන වාජීකරණ ගුණයෙන් යුතු ඔසුවකි. සියඹලා ඇට දින දෙක තුනක් වතුරේ පොගවා ඉන්පසු ගොඩ ගෙන පොතු ඉවත් කර ගත් මදය විවිධ ඖෂධ සඳහා ගනු ලබයි. මෙහිදී මෙම මදය වියලා කුඩු කර උණු දියෙන් මුලින් අනා පසුව මී පැණියෙන් ද අනා කඩලඇට ප්‍රමාණ ගුළි සාදා වරකට ගුළි 3ක් ගැනීමෙන් ක්ෂණික ශුක්‍ර මෝචනය හා ස්වප්න දෝෂ වහා නසයි. එසේම සියඹලා ඇට චූර්ණයෙන් ඵල වර්ති සාදා යෝනිය තුළ තැබීමෙන් ලිහිල් වූ යෝනි සංකෝචනය වේ.

මෙසේ වාජීකරණය උදෙසා විශිෂ්ට ගුණ දෙන ඔසුවක් වන මෙය තවත් රෝග රාශියක් සඳහා ගුණ දෙයි. අකුෂි රෝගයන් හිදී ද බොහෝ ගුණ දෙන ඖෂධ යෝග රාශියක් සියඹලාවලින් සාදන අතර ඒවා අතුරින් සියඹලා කොළ තම්බා මද උණුසුමින් තැවීම ඇස් රෝගවලදී ප්‍රශස්තය. එසේම ඇස් රතුවීම සහ කදුළු ගැලීමටද. ඇස් දැවිල්ලට ද සියඹලා කොළ යුෂය එළකිරි සමඟ තඹ බදුනක කකාරා ඇස් වටේ ආලේපය ද ඉතා ගුණ දායක වන අතර බාල කාලයේ හටගනු ලබන අක්ෂි රෝගයක් වන කුකුණක රෝගයේද සියඹලා ඇට පැළ වන අවස්ථාවේ අංකුර උදුරා ගෙන යබර සමඟ විනාකිරිවලින් අඹරා ඇස වට ආලේප කිරීමෙන් සුවය ලැබෙයි.

සර්ප විෂේ දී සියඹලා කොළ යුෂ කලං 4ක් සහිද ලුණු කලං 3ක් සමඟ පානය කිරීමෙන් විෂ මර්දනය වෙයි.

අණ්ඩ වෘද්ධි රෝග අවස්ථාවේදී සියඹලා කොළ සියුම්ව අඹරා රත් කර ආලේප කිරීමෙන් එහි හටගන්නා වේදනාව සහ ඉදිමුම් සුවවෙයි. එසේම උග්‍ර වාත රෝග නිසා ඇති වන මස් පිඩු තද වීමේ දී කොත්තමල්ලි තල, එඬරු ඇට මද බැඳ කුඩු කර සියඹලා පොත්තක ඇතුළු පස ආලේපයෙන් එම තද බව ලිහිල් වෙයි.

එසේම කැසීම් සහිත දද වලදී සියඹලා කොළ යුෂ ආලේපය ගුණදායකය.

මේ ආකාරයට තවත් රෝගාබාධ රාශියකට සියඹලා සහිත ඖෂධ ප්‍රයෝග රාශියක් මඟින් විශේෂ ගුණයක් ළගා කර දෙයි. එසේම සියඹලාවල කොටස් විවිධ ගෙන රෝග රැසක් සඳහා සකස් කරනු ලබන සංස්කාරික ඖෂධ රාශියක් ද වෙයි. ඒවා අතර කෂාය තෛල බස්න සහ ගුළි ආදී විවිධ වර්ග රැසකි.

 

සියඹලා කොළ කෂාය

මෙය රක්ත අතීසාර ආදියේ යොදනු ලබන කෂායකි.

සියඹලා නැටි ආදී කෂාය

සියඹලා නැටි කරපිංචා නැටි, අරළු හා පෙති පුවක් කෂාය ඉදිමීම හා මල බද්ධය සහිත කල් ගතවූ අතීසාරවලදී ඉතා සාර්ථක ප්‍රතිඵල දෙන කෂායකි.

පරණ සියඹලා බොර ආදී කෂාය

මී පැණි සමඟ මෙය යෙදීමෙන් කැස්ස සහිත ඇදුම ආදී සෙම් සහිත රෝගයන්ට හිතකර වේ.

සියඹලා පාතකය

පානයක් ලෙස සකස් කර ගනු ලබන මෙය බඩගින්න අඩුකම නිසා අග්නි දීප්තිය ඇති කරයි.

සියඹලා බස්නය

අරුචිය, බඩගිනි අඩු බව සහ අජීර්ණ ආදියට යෝග්‍ය වෙයි.

චිඤ්චා තෛලය

මෙය මඟින් සෙම හා වාතය නසන අතර වමනය ඇති කරයි.

සියඹලා ඇට මද වටිය

ශුක්‍ර මේහය සිහින දෝෂ ආදිය නසා ශරීර ශක්තිය ඇති කරන ඔසුවකි.

මේ ආදී කොට විශාල ඖෂධ රාශියක් සියඹලා යොදා සකසන අතර ඒවායින් ඉතා විශිෂ්ට ගුණ ලබාදෙයි.

අප රටේ ඉතා පහසුවෙන් ලබා ගත හැකි ඔසුවක් වන මෙය පිළිබදව මෙහි ඇති ගුණ පිළිබදව බොහෝ දෙනා තුළ ඇත්තේ අල්ප දැනුමකි. එනිසා ඔවුන් දැනුවත් කර මෙවන් වටිනා ඔසුවල ප්‍රයෝජනය නිරතුරුවම ලබා ගන්නේ නම් එයින් රෝග සමනයට ලැබෙන්නේ විශාල පිටුවහලකි.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.