වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ස්නායු දුබලතා දුරු කර ශරීර ශක්තිය ලබා දෙන ගොඩකදුරු
වත්මන් සමාජය තුළ බහුල වශයෙන් දක්නට ලැබෙන රෝග තත්ත්වයන් අතුරින් ලිංගික දුබලතා නිසා ඇතිවන්නා වූ විවිධ රෝගාබාධ රාශියක් වේ. මෙම රෝග තත්ත්වයන් නිසා ඇතිවන ස්නායු දුබලතා මඟහරවා ශරීර ශක්තිය ලබා දෙන ඉතා සාර්ථක ඖෂධ යෝග රාශියක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේද දක්නට ඇත. මෙම ඖෂධ යෝග සඳහා ගනු ලබන අගනා වටිනා එක් ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් ගොඩකදුරු හැඳින්විය හැක. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී උප විෂ ලෙස ගැනෙන ද්‍රව්‍යයෝ එහි ඇති විෂ තත්ත්වය ශෝධනය කර ඖෂධ සඳහා යොදාගනු ලබයි. මෙම උප විෂ අතුරින් එක් වැදගත් ද්‍රව්‍යයක් ලෙස ගොඩකදුරු හැඳින්වීමට පුළුවන. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ දක්ෂිණ ප්‍රදේශයේද මනා ලෙස වැවෙන ගොඩකදුරුවල සුළු සුළු වෙනස්කම් ද දක්නට ලැබෙයි.
ශ්‍රී ලංකාවේ වැවෙන ගොඩකදුරු ශාකයේ කොළ ඉන්දියාවේ වැවෙන ගොඩකදුරු ශාකයේ කොළ වලට වඩා කුඩා බව පොත්වල පැහැදිලි කර ඇත. මේ අතර වඩාත් පැරණි ඉන්දියානු
සංස්කෘත පොත්වල ගොඩකදුරු ගැන සඳහනක් නැත. ඒ වෙනුවට පැරණි වෛද්‍ය ග්‍රන්ථවල දක්වා තිබෙන්නේ විෂමුෂ්ටි යන සංස්කෘත නාමයෙන් හඳුන්වනු ලබන රේරු ගස්ය.
මේ අතර ඉන්දියාවටත් ප්‍රථම ශ්‍රී ලංකාවේ ගොඩකදුරු ඖෂධයක් වශයෙන් භාවිත කර තිබෙන බව හේතු සාධක සහිතව දක්වා ඇත. එසේම ඒ බව ශ්‍රී ලංකාවේ ඇති පැරණි බෙහෙත් වට්ටෝරුවලින් ද සනාථ වේ.
ගොඩකදුරු වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන්
ඉන්දියාවේ උෂ්ණ ප්‍රදේශවල විශේෂයෙන් මදුරාසි, ට්‍රැවන්කෝර,කොචින්, මැලබාර්, ඔරිස්සා ආදී ප්‍රදේශවල හොඳින් වැවේ.
දේශීය වශයෙන්
ශ්‍රී ලංකාවේ උෂ්ණ කලාපයේ වනගතව වැවේ. මුහුදු මට්ටමෙන් අඩි 4500 දක්වා ප්‍රදේශවල වැවේ.
ගොඩකදුරු ශාකයේ ස්වරූපය
සාමාන්‍යයෙන් අඩි 20 – 25 පමණ උසට වැවෙන ශාකයකි. වියලි කලාපයේ බහුලව වැවෙන ශාකයකි. ගොඩකදුරු ශාකයේ පත්‍ර අඟල් 3 – 4 පමණ පළලින් ද අඟල් 2 – 3 පමණ ද වේ. මෙම කොළ තුනී වන අතර තද කොළ පැහැයෙන් යුක්තය. සාමාන්‍යයෙන් අගෝස්තු, සැප්තැම්බර් මාසවල කොළ හැලීම සිදු වේ. ගොඩකදුරු ශාකයේ මල් සුදු පැහැ වන අතර, කුඩාය. තවද ගොඩකදුරු ගෙඩි රවුම් හැඩයෙන් යුතු අතර මෙය සාමාන්‍යයෙන් දොඩම් ගෙඩියක් පමණ තරමට විශාල වේ. මෙම ගෙඩි සුදු පැහැ වන අතර ඒ තුළ ඇති කොහු වැනි කොටස් තුළ අඟල් 1/2 - 3/4 පමණ වූ පැතලි බීජ පවතී. මෙම බීජ පැසුණු විට දුඹුරු පැහැයක් ගනු ලබන අතර, ඖෂධ යෝග සඳහා ගනු ලබන්නේ ද මෙම බීජයන්ය.
ගොඩකදුරු පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම
පොදු සිංහල නාමය
ගොඩකදුරු වන අතර
සංස්කෘත බසින්
කුපීලු, විෂතිනුදුක, කාක තින්දුක. කාල පීලුක, ජල තීන්දුක, කුලක, විෂ ද්‍රැව, කාකේන්ද්‍ර,
විෂමුෂ්ඨික, කාලකුලක, කාරස්කර, ර්‍කටකින්දුක ආදී නාම රාශියක් වේ. ඒ අතුරින් කුපීලු - ආහාරයට නොගන්නා (නරක පලු නම් අරුතෙන්ද) විෂතින්දුක - තිඹිරි ගෙඩියකට සමාන වුවද එහි විෂ ඇති හෙයින්ද කාක තින්දුක - කපුටන් ප්‍රිය කරන යන අරුතින් ගසේ කඳ කළු පැහැ බැවින්ද කාල පීලුක - පිලු ගසක් බඳු වුවද තද කළු පැහැ කඳක් සහිත නිසාද ජල තින්දුක - ජලය සහිත දෙනිබිම්වල බහුලව ඇති නිසාද විෂද්‍රැම - විෂ සහිත ශාකයක් බැවින්ද කුලක බීජ - වංශය හඳුන්වන බැවින්ද කාකේන්ද්‍ර බීජ - චන්ද්‍රාකාර බැවින් ද යොදනු ලබයි.
හින්දි බසින් ගොඩකදුරු සඳහා කුඹිලා යයිද වංග බසින් කුඩිල යයිද දෙමළ බසින් යෙට්ටකොට්ටායි යනුවෙන්ද යෙදේ.ඉංග්‍රීසි බසින් ව්භධත ඍධථඪජචබපඥඥ, ර්‍ථධඪඵධද බපඥඥ සහ ඉබපරඥඩදඪදඥ බපඥඥ යනුවෙන් ද යෙදේ. උද්භිද විද්‍යාත්මක නාමය -
ඉබපරඥඩදධඵ දභය මධථඪජච ඹ්ඪදද වන අතර කුලය ඹ්ධඨචදඪචජඥචඥ හෙවත් කාරස්කර කුලය වේ.
ගොඩකදුරුවල ඖෂධීය අංග
බීජ, පොතු, මුල් සහ කොළ වන අතර මෙයින් බීජ ප්‍රධාන වේ.
ගොඩකදුරුවල අඩංගු රසායනික උපාදාන
ගොඩකදුරු බීජ වල 2.6% - 3% දක්වා උපක්ෂාරද 1.25% - 2.05 % දක්වා ස්ට්‍රික්තීන් (ඉබපරඥඩදඪදඥ) ද ඇත.මේ හැර බෘසින් (ඕපභජඪදඥ) 1.7% ක්ද, වොමිසින් (ඍධථඪජඪදඥ) කසාවන් රංජන පදාර්ථයක්ද, තෙල් මැලියම්, පිෂ්ඨ, ශර්කරා ආදියද අන්තර්ගතය. ගෙඩියේ ලොඳවල ලොගනින් නමැති ග්ලූකොසයිඩය සහ බෘසින් සහ ස්ට්‍රික්තීන්ද, කොළවල බෘසින් ස්ට්‍රික්තීන් සහ ස්ට්‍රික්තිසීන් උපක්ෂාරද, පොතුවල ප්‍රධාන වශයෙන් බෘසින්, ස්ට්‍රික්තීන් අල්ප මාත්‍රයක්ද තරුණ ගොඩකදුරු ගසේ පොත්තෙහි 3.1% ක්ද වයස්ගත ගසෙහි පොත්තෙහි 1.68% ක් බෘසින්ද ලීයෙහි බෘසින් සහ ස්ට්‍රික්තීන්ද අන්තර්ගතය.
ගොඩකදුරු උප විෂ පදාර්ථයක් නිසා එහි ඇති විෂ කොටස් ශෝධනය කර ඉවත් කිරීමෙන් පසු ඖෂධ සඳහා යොදාගනු ලබන නිසා ගොඩකදුරු ශෝධනයේදී 1. ගොඩකදුරු ඇට සියුම්ව කපා එළඟිතෙලේ බැද ගැනීම හෝ 2. ගොඩකදුරු ඇට සියුම්ව කපා එළු මුත්‍රයෙන් තම්බා ගැනීම හෝ කළ යුතුය.
මෙම ක්‍රම දෙකෙන්ම සම්පූර්ණයෙන්ම විෂ ඉවත් නොවන නිසා ශෝධනයට පෙර කාඩි හෝ විනාකිරිවල දින 3ක් තම්බා එහි පොත්ත හා අංකුර ඉවත් කර මදය පමණක් ගෙන ඉහත ක්‍රම වලින් ශෝධනය කර ගනු ලැබේ. මේ අතර ගොඩකදුරු බීජ විෂ නොනසා යෙදීමෙන් හෝ අධික මාත්‍රාවෙන් යෙදීමෙන් විෂ ලක්ෂණ ඇති කරයි.
මෙම විෂ ලක්ෂණ අතර පිටගැස්මේ ලක්ෂණ පෙන්නුම් කරන අතර මුළු ශරීරයේම පේශි ගැස්මට ලක් වේ. සමහර විට විනාඩි 3 – 30 දක්වා ගැස්ම පැවතිය හැක.
විෂ උග්‍ර වී ඇත් නම් ඊට අඩු කාලයකදී ගැස්ම ඇති විය හැක. මෙම ගැස්ම නිසා හනු තද වී හුස්ම හිර වීම සිදුවේ. මුහුණේ මාංස ඇදීම නිසා විකට ස්වරූපයක් පෙන්නුම් කරයි. මෙසේ ගැස්ම නිතර නිතර වුවහොත් රෝගියා ශ්වසන අවරෝධයෙන් මිය යයි.
විෂට ප්‍රතිකාර
පළමුව ආමාශය ශෝධනය කළ යුතුය. මේ සඳහා වමන හා විරේක යෙදිය යුතුය. ඉන් පසු හමන කාරක ද්‍රව්‍ය යෙදිය යුතුය.
වමනය සඳහා ලුණු වතුර හෝ අබ මිශ්‍ර උණු වතුර හෝ බීමට දීම යෝග්‍ය වේ. වමනය කළ නොහැකි නම් නලයක් මඟින් ආමාශයේ ඇති ද්‍රව්‍ය ඉවත් කළ යුතුය.
ඉන් පසු වා, පිත්, සමන ඖෂධ පෙවීමද තැඹිලි වතුර බීමට දීමද, එළකිරිවලට ගිතෙල් දමා දීමද, සුදුසය. පුහුල් දලු, පුහුල් මද හෝ පුහුල් ඇට තළා මිරිකා යුෂ බීමට දීම යෝග්‍යයි. කූර තම්පලා කොළ සහ මුල කොටා මිරිකා ගත් යුෂට එලකිරි හෝ ගිතෙල් දමා බීමට දීමද සුදුසුය.
ඉන් අනතුරුව රෝගියා උණුසුම් නිශ්ශබ්ද අඳුරු තැනක තැබිය යුතුයි. නින්දද ඇති කරන ඖෂධ දිය යුතුය. අබිං අඩංගු ඖෂධ ඉතා යෝග්‍ය වේ.
තවද ප්‍රතිකාරයට පෙර නිශ්චිතවම ගොඩකදුරු විෂ දැයි සෙවීම වැදගත්ය.
ගොඩකදුරුවල ඖෂධීය ගුණකර්ම
ශෝධිත බීජ රසයෙන් - තිත්ත හා කටුක වන අතර ගුණයෙන් - රුක්ෂ, ලඝු හා උෂ්ණ වේ වීර්යයෙන් - උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වේ.
දෝෂ අනුව සැලකීමේ දී
මෙය තිත්ත හා කටුක රසයෙන්, ලඝු ගුණයෙන් යුක්ත නිසා සෙමද උෂ්ණ වීර්යයෙන් ඇති නිසා වාතයද සමනය කරයි. එනිසා සෙම් වාතජ රෝග සඳහා මෙය ප්‍රයෝග කරයි. තවද මෙය අධි මාත්‍රාවෙන් යෙදීමේදී මෙන්ම විෂ ශෝධනය නොකර යෙදීමේ දී ඕජස ක්ෂය කර වායුව කුපිත කර ආක්ෂේපය උපදවයි.
ශාරීරික ව්‍යුහා ගත ක්‍රියා බාහිර වශයෙන්
මෙහි ආලේපය ඉදිමුම් නසයි. පූතිභර ගුණ ඇත. වේදනා සමනය කරයි. එනිසා සන්ධිවාත හා ආමවාත රෝගවලදී ගොඩකදුරු ඇට අඹරා ආලේප කිරීමෙන් වේදනාව සමනය වේ. එසේම ව්‍රණ ක්ෂණ ආදියේදී ගෙඩකදුරු කොළවල පාප්පය යෙදිය හැක.
අභ්‍යන්තර වශයෙන් නාඩි ව්‍යුහාවේදී
වාත ශාමක නිසා වේදනා සමනය කරයි. තීක්ෂණ ගුණ යුතු නිසා ස්නායු දුබලතා නසයි. එනිසා නාඩිවේදනා අර්දිත, පක්ෂාඝාත, කම්ප, බාධීර්ය, (බිහිරි බව) ගති භ්‍රංශ, ඤාණභ්‍රංශ අනිද්‍රා ආදී වෘතත ආබාධවලදී යෙදිය හැක.
ආහාර පරිපචන ව්‍යුහාවේදී
කටුක හා තිත්ත නිසා දීපනද පාචනද, ග්‍රාහීද වෙයි. වාත ශාමනද උෂ්ණද වන නිසා වේදනා සමන ගුණ ඇත. එබැවින් මෙය බඩගිනි අඩුකම, ආමදෝෂ, ග්‍රහණි, ආමාශ ශෝථ (ආමාශය ඉදිමීම) උදර වේදනා, අර්ෂස් හා ක්‍රිමිරෝග (පණු රෝග) වලදී යෙදිය හැක.
රුධිර සංසරණ ව්‍යුහාවේදී
උෂ්ණද, තීක්ෂණ වන නිසා හෘද උත්තේජන සහ ලේ වඩන ගුණ ඇත. මෙනිසා හෘදයේ ලිහිල් බව, හෘද කපාට විකෘති, හෘදයෝදර පේශි ශෝෂ ආදි ආබාධ සඳහා අතිශයින් හිතකර ඔසුවකි.
ශ්වසන ව්‍යුහාවේදී
කටුක හා තික්ත රස නිසා සෙම් නසන ගුණ යුතු අතර කාසහර (කැස්ස නසන) ගුණයද
ඇත. මෙනිසා කාසයේ දී මෙන්ම පෙනහලුවල ඉදිමුමේ දී ප්‍රයෝග කරයි. එසේම ස්වර භේදයේදී මෙය ක්‍රියා කරයි.
මුත්‍ර ව්‍යුහාවේදී
උත්තේජක ගුණ යුතු බැවින් වස්ති ලිහිල් බවද දුරු කරයි. එනිසා බිංදු වශයෙන් මුත්‍ර නික්මෙන අවස්ථාවලදී මෙන්ම කුඩා ළමුන්ගේ ශෛයා මුත්‍ර රෝගයේදී (නින්දෙන් මුත්‍ර පිටවීම) ද මෙය ප්‍රයෝග කරයි.
ප්‍රජනන ව්‍යුහාවේදී
මෙය වාජීකරණ ගුණ යුතු අතර පුරුෂ ශක්තිය හීන වීම ඇතුළු ලිංගික දුබලතා සඳහා විශිෂ්ට ගුණ දේ. මේ අතර තිත්ත බලකාරක සහ බලකාරී ගුණ යුතු බැවින් සාමාන්‍ය ශාරීරික දුබලතාවලදී මෙය යෙදිය හැකිය. එසේම මහලු බව නිසා හටගනු ලබන ශාරීරික දුබලතාවලදී ගොඩකදුරු බීජ අඩංගු ඖෂධ යෝග නිතර යෙදීමෙන් උසස් ප්‍රතිඵල ලබා ගත හැක.
ස්නායු දුබලතා, නිද්‍රා හානිය,
අරුචිය, අධික ලෙස දුම්කොළ භාවිතය නිසා උපදින අන්ධතාව සඳහා ද මෙය ප්‍රයෝග කරනු ලබයි.
ගොඩකදුරු අඩංගු ඖෂධ යෝග තුවාල සඳහා ගොඩකදුරු කොළ අඹරා සාදාගත් ආලේපය යෙදීම ගුණදායකය.
කොළරාවට
ගොඩකදුරු මුලේ පොතු හා දෙහි යුෂ යොදා සකස් කළ ගුළි යොදනු ලබයි. අතීසාරයෙන් පසුව ඇති වන ආහාර අරුචිය සහ උදර වේදනාවට
ගොඩකදුරු මුලේ පොතු යුෂය ඉතා අල්ප මාත්‍රාවෙන් යොදයි.
මී විෂට
ගොඩකදුරු ඇටවලින් සකස් කළ ආලේපය යොදයි.
වරින් වර ඇති වන උණට, අපස්මාර රෝගයට ආමවාත ශෝථයට නින්ද නොයාමට ගොඩකදුරු පොතු කෂාය යොදයි.
ගොඩකදුරු අඩංගු සංස්කාරික ඖෂධ
අග්නිතුංඩී වටිය - කෘමි මුද්ගරසය
ශ්‍රලභරණ වටිය - ලක්ෂ්මී විලාස රසය
කුටිලා වටිය - ගොඩකදුරු තෛල
මේ අනුව පැහැදිලි වන්නේ ගොඩකදුරු යනු විෂ ද්‍රව්‍යයක් වුවද ශෝධනය කිරීමෙන් පසු නියමිත මාත්‍රානුකූලව ගැනීමෙන් අගනා ඔසුවක් වන බවයි.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ
කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන