රෝග රැසකට ගුණදෙන ප්‍රබල ඖෂධයක් වූ ඔසු පැන්

අගෝස්තු 30, 2019

රෝග ගැන නොතකා පිපාසය සංසිඳුවා ගැනීම සඳහා විවිධ ඔසු වර්ග තම්බා පානය කිරීමට බොහෝදෙනකු පුරුදුව සිටිති. වර්තමාන සමාජයේ ගෘහණියන්ට ඇති අවිවේකී තත්ත්වය නිසා අලෙවියට සකස්කර ඇති ඔසු පැන් රණවරා, නෙල්ලි, නීරමුල්ලිය, කොත්තමල්ලි, ගොටුකොළ, බෙලි, ඉරමුසු, පොල්පලා ආදී ඖෂධීය පාන වැඩිවැඩියෙන් පානය කිරීමට උනන්දු වෙති. තේ කෝපි පිටිකිරිවලට වඩා දරුවන් ද කොළ කැඳට මෙන්ම ඔසු පැන්වලට යොමුකිරීමෙන් දරුවන්ගේ නිරෝගීතාවයට මෙන්ම සෞඛ්‍යාරක්ෂාවට ද උපකාරී වේ. රණවරා ඉතා ගුණදායක ඖෂධ පානයකි. මේ සඳහා යොදාගනු ලබන්නේ රණවරා මල් සහ රණවරා පත්‍ර හෙවත් කොළය.

රණවරා ඇට බැද කුඩුකර කෝපිමෙන් පානය කිරීම ඉතාම ගුණදායකය. ඉන් සමේ පැහැපත් බව වර්ධනය කෙරේ. දියවැඩියාව නොහොත් මධුමේහ රෝගීන්ට ද වඩාත්ම ගුණදායකය. ඖෂධ වශයෙන් ගත් කල රණවරා, ශාකයේ කොළ, පොතු, මල්, මුල් සහ බීජය යන පංචාංගයම ඖෂධ සඳහා යොදාගැනේ. රණවරා මල් ප්‍රදර රෝග තත්ත්වයේ දී ද ඖෂධ හා සංයෝග කර ගනිති.

රණවරා ඇස්වලට හිතකර සමේ වර්ණය ඇතිකරන සෙම්පිත් සමනය කරන ප්‍රමේහ රෝග සමේ රෝග නසන මහඟු ඖෂධයකි. නෙල්ලි ඔසු පැන්වලට අමු නෙල්ලි වගේම වියළි නෙල්ලි ද යොදාගැනේ. නෙල්ලි ඔසු පැන් පානය කිරීමෙන් ආහාර රුචිය ඇති කරන අතර පිත් සමනය කිරීමේ ගුණයෙන් යුක්තය. මුත්‍රා දැවිල්ලට හා කැස්සට ද යහපත් ය. රුධිරගත කොලෙස්ටරෝල් තත්ත්වය අඩු කිරීමට ද සමත් නෙල්ලි, දියවැඩියාව, අජීර්ණ, සන්ධිපත් රුදාවට ද බෙහෙවින්ම ගුණදායකය. ඇස් පෙනීම හොඳ අතට පත්කරන අතර සමේ ඇතිවන ලප කැළැල් ඉස්මතුවීම වළක්වාලන ගතියක් ද පවතී.

පිත නසන ගුණයෙන් යුත් කොත්තමල්ලි, කොත්තමල්ලි තම්බාබීම දහඩිය දැමීම ඇති කෙරේ. වැඩියෙන් මුත්‍රා පහ කිරීම සිදු වේ. පිපාසාගතිය තුනී කෙරේ. කොත්තමල්ලි කබලේ බැද කුඩුකර උණුවතුරට දමා කෝපිමෙන් පානය කිරීමටද හැකිය. උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිට කොත්තමල්ලි බීමෙන් එය ගුණවේ. කොත්තමල්ලි ශීත ගුණයෙන් යුත් බැවින් තම්බන විට ඉඟුරු මිශ්‍රකර බීමෙන් වඩාත්ම රසවත් මෙන්ම ගුණවත් වේ. ගොටුකොළ පලා වර්ගයක් ලෙස බොහෝදෙනා ආහාරයට එක්කර ගත්තද ගොටුකොළ පානය කිරීමද ගුණදායකය. යකඩ ඛනිජ වැඩි ප්‍රමාණයක් අඩංගු ගොටුකොළ පීනසට අපස්මාරය ආදී රෝගවලට වැඩියෙන් යොදා ගන්නා ඖෂධයකි. අපස්මාර රෝග හා වෙනත් ස්නායු පද්ධති රෝගවලට ද ගුණදායකය. අර්ශස් රෝගීන්ට ද ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ආයුර්වේද වෛද්‍ය
සුමිත්.එම්.පී. රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.