වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ඔසු ගුණ සපිරි කකුළු සුඟු
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ ද යෙදෙන ඖෂධ යෝග සඳහා යොදන ඖෂධ ද්‍රව්‍යවලින් ඉතා අධික ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ ඉන්දියාව සහ ඒ අවට රටවලය. භාරතය මුල්කරගෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආරම්භ වූ නිසා ආයුර්වේදයේ දක්නට ලැබෙන බොහෝ ඖෂධ යෝග සඳහා ඒ අවට හටගත් ශාක බහුල ලෙස යොදා ගන්නේය. මෙනිසා වර්තමානයේ අප රටේ ද වෛද්‍යවරුන් යොදන ඖෂධ යෝග සඳහා ඉතා විශාල ප්‍රමාණයක් ඖෂධ ඉන්දියාව ඇතුළු විදෙස් රටවලින් ආනයනය කරනු ලබයි. මෙසේ ආනයනය කරනු ලබන ද්‍රව්‍ය අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කකුළු සුඟු’ (කර්කටක ශෘංගී) හැඳින්විය හැකිය. ඉතා ඈත අතීතයේ සිටම මෙය විවිධ ඖෂධ යෝග සඳහා යොදා ගෙන තිබෙන බව මූලික සංහිතා ග්‍රන්ථ පරිශීලනයේදී අවබෝධ වේ.
කකුළු සුඟු (කර්කටක ශාංගී) වැවෙන ප්‍රදේශ
මෙය කාශ්මීරයේ සිට සීකිම් දක්වා ප්‍රදේශ හිමාලයේ මීටර් 2400 දක්වා පමණ උස් ප්‍රදේශ, නේපාල ,භූටානය ආදි ප්‍රදේශවල වැවේ. එසේම චීනය, තායිවානය , වියට්නාමය , ජපානය ආදි රටවල වවනු ලබයි.
කකුළුසුඟු ( කර්කටක ශෘංගී) ශාකයේ ස්වරූපය :–
කුඩා ශාකයක් හෝ පඳුරක් ලෙස වැඩෙන මෙය මීටර් 10 ක් පමණ උසින් යුතුය. මධ්‍යම ප්‍රමාණයේ පතනශීලි හෙවත් අවුරුද්දේ එක් කාලයක කොළ හලා දමන ශාකයකි.
ගසේ මේරීමත් සමඟ පොත්ත පුපුරා යන බැවින් කඳ රළු ස්වභාවයකින් යුතු වේ. මෘදු අතු මෙම ශාකයේ පවතින අතර ඒවා තද සුළ ඟට අසුවීමෙන් පහසුවෙන් කැඩී යා හැක. මෙම පත්‍ර බොහෝ දුරට ඇඹරැල්ලා ගසේ පත්‍රවලට සමාන කමක් පෙන්වයි. පත්‍ර කිනිති ලෙසින් වැඩේ. අතු අග පොකුරු ලෙසින් මල් හටගනියි. ඒවා කහ පැහැතිය. මෙම ගසේ ගෙඩි හටගනු ලබන්නේද පොකුරු වශයෙනි. ගෙඩි මාංශල වන අතර පැතලි ස්වරූපයකින් යුතුය. මෙම ගෙඩි වල නටු දැවමය ස්වභාවයක් ගනියි. කොළ පැහැ ළපටි ගෙඩි මෝරනවිට රත්පැහැයට හැරෙයි. මෙම ගෙඩිවල ඉටි වර්ගයක් ඇත.
මෙම ශාකයේ ශාකාවල කොළ නටු සහ කොළ වල එක්තරා කෘමි විශේෂයක් මගින් සාදනු ලබන ශෘංගාකාර කෝෂ වලට කර්කටක ශෘංගී යන නාමය යෙදේ.
කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>