වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අතීසාර ,මධුමේහය ඇතුළු රෝග රැසකට ගුණදෙන බබ්බුල
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ චිකිත්සාව සඳහා යොදාගනු ලබන ඖෂධ යෝග අතුරින් බහුල ලෙස යොදා ගනු ලබන්නේ ශාක ද්‍රව්‍යයෝ වෙති. යම් ප්‍රමාණයකට සත්ව හා පාර්ථිව ද්‍රව්‍ය යොදා ගනු ලැබුවද බහුල ලෙස දැකිය හැක්කේ ඖෂධීය ශාකයෝ ය. මෙම ඖෂධීය ශාක ගත් කල ඒවායේ අමුවෙන් හෝ වියලා ගත් ඖෂධාංග ඖෂධ සඳහා යොදනු ලබයි.
වත්මන් සමාජය තුළ බහුල ලෙස පැතිරී ඇති බෝ නොවන රෝගයක් වන මධුමේහය හෙවත් දියවැඩියාව මෙන්ම අතීසාර ඇතුළු රෝගාබාධ රාශියකට ගුණදෙන අගනා ඖෂධ ද්‍රව්‍යයක් ලෙස ‘බබ්බුල’ ශාකය හැඳින්විය හැක. මෙම ශාකය ශ්‍රී ලංකාව තුළ එතරම් දක්නට නොමැති අතර ඖෂධ සඳහා ගෙනෙනු ලබන්නේ ඉන්දියාව ඇතුළු විදේශ රටවලිනි. ශ්‍රී ලංකාවේ මෙය දුලබ හෙයින් බොහෝ ඖෂධ නිෂ්පාදකයන් මෙන්ම වෛද්‍යවරුන් බබ්බුල පොතු වෙනුවට එහි ප්‍රතිනිධිය වන සීනිද්ද පොතු යොදා ගනු ලබයි. එසේ වුවද නියම ගුණාගුණ සඳහා බබ්බුල ම යොදා ගැනීම වැදගත් වේ.
බබ්බුල වැවෙන ප්‍රදේශ
භාරතය මුළුල්ලේම වැවේ. සීන්ද් සහ ඩැකාන් ඒ අතුරින් ප්‍රධාන වේ. තවද මෙයට අමතරව ඊජිප්තුව මෙන්ම නිවර්තනමය අපි‍්‍රකාව ආදි රටවලද දක්නට ලැබේ.
ශ්‍රී ලංකාවේ මෙම ශාකය ඉතා දුර්ලභ වන අතර වියළි කලාපයේ පමණක් දැකිය හැක.
බබ්බුල ශාකයේ ස්වරූපය
මීටර් 8-15 දක්වා උසට වැඩෙන සෙ.මී. 80 ක පමණ විෂ්කම්භයකින් යුතු මධ්‍යම ප්‍රමාණයේ සදාහරිත ශාකයකි. මෙය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද ශාකයකි. මෙම ශාකයේ පිටත පොත්ත තද දුඹුරු පැහැති වේ. සෙ.මී. 1 ක් පමණ ඝනකම් ඇතුළත පොත්ත තැඹිලි පැහැයට හුරු කහ පාට වේ. මෙම ශාකයේ ළපටි අතුවල සියුම් බූවක් දක්නට ලැබේ. පත්‍රවල නටුව අසල සෙ.මී. 5 ක් පමණ දක්වා දිගු විය හැකි උප පත්‍ර ආකාරයේ තියුණු කටු පිහිටා තිබේ. මෙහි පත්‍ර ඒකාන්තර වන අතර ද්වි පක්ෂවත්ය.සංයුක්තය. කුඩාය. කණ්ඨකාග්‍ර උපපත්‍රී වේ. කක්ෂීයව හටගන්නවා දිගු නටුවක් සහිත තද කහ පැහැති මල් ගෝලාකාර හැඩයක් ගනියි. මෙම මල් තරමක් ක්‍රමවත් වන අතර ද්විලිංගිකය. ප්‍රසන්න සුවඳකින්ද යුක්ත වෙයි.
මෙම මල් හට ගැනීම සාමාන්‍යයෙන් පෙබරවාරි සහ ජූලි මාස වල සිදුවේ. මෙහි හටගනු ලබන ඵලය සෙ.මී. 5 -15 අතර දිගින් යුතු දුඹුරු පැහැති කරලකි. ඍජු හෝ තරමක් වක්‍ර දැඩි බවින් යුතු කරල් මේරීමේදී කළු පැහැයට හැරෙයි. මෙම එක් කරලක් තුළ කළු පැහැති පැතලි බීජ 8-12 අතර ප්‍රමාණයක් පිහිටයි.
කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන