සුබසෙත සුවසෙත

සැප්තැම්බර් 20, 2024

ජී.කේ.එල්. ප්‍රදිනාන්දු, මල්වත්ත පාර

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, හතළිස් තුන් හැවිරිදි මම පෞද්ගලික ආයතනයක ලිපිකරුවකු ලෙස සේවය කරන විවාහකයෙකි. සමහර දිනවල අධික හිසරදයක් පවතින විට කැරකැවිල්ලක් ද පවතී. ඔක්කාරය එන විට වමනය ද යයි. ඒ වන විට ඇසෙන් කඳුළු ද එන අතර, පෙනීම ද අඩු වේ. සමහර වේලාවට හුස්ම ගැනීමට පවා අපහසු බව හැඟේ. මේ රෝගී තත්ත්වය නිතර නිතර ඇති වන්නේ නැහැ. ප්‍රතිකාරයක් ලබා දෙන මෙන් ඉල්ලමි.

පිළිතුර

ඔබේ රෝග ලක්ෂණ අනුව පෙනී යන්නේ අධි රුධිර පීඩනය බවයි. අධිරුධිර පීඩනයට කඩිනමින් ප්‍රතිකාර ලබාගත යුතුයි. එසේ නොවුවහොත් හෘද රෝග, වකුගඩු රෝග, මොළයට හානි සිදුවීම, ඇස්වල දුර්වලතාද වැලඳිය හැකියි. එබැවින් රුධිර පීඩනය පරීක්ෂා කරගත යුතුය. ශරීරයට අවශ්‍ය ව්‍යායාම්වල යෙදිය යුතු ය. අධික ලුණු සහිත ආහාර ගැනීම, ක්ෂණික ආහාර ගැනීම, දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකී සිටීමද විය යුතු ය. නිවුඩුහාලේ බත්, කඩල, කවුපි, මුංඇට, සෝයා, මෑ ආදියත් කෙඳි සහිත එළවළුත්, පලතුරු ආදියත් ඉතාම ගුණදායකයි. වෙරළු, ලොවි, ඇඹැරැල්ලා, කරපිංචා කොළ කැඳ, කරපිංචා මැල්ලුම, කරපිංචා කොළ සම්බෝලය ආහාරයට ගත යුතු ය. නීරමුල්ලිය, සාරණ මුල්, පොල්පලා, තම්බා පානය කිරීම, කැරට් සම්බල, තුඹ දළු, ගොටුකොළ, කතුරුමුරුංගා, සාරණ වැනි පලාවර්ගත් කුඩා මාළුත් ආහාරයට එක්කර ගැනීම වඩාත්ම ගුණදායකයි.

 

කේ.එම්. කරුණාවතී, මාතර

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මගේ එකොළොස් හැවිරිදි දරුවා පාසල් සිසුවෙකි. ඔහුට නිතර නිතර උගුරේ වේදනාවක් එනවා. කෙළ ගිලින්නත් අපහසුයි කියනවා. ඇඟපත රිදෙනවා කියා නිදා ගන්නවා. බෙල්ල දෙපැත්තත් ඉදිමෙනවා. ඉඳහිට කඩින් කඩ කැස්සත් එනවා. කඳුළු ගැලීමත් තියෙන නිසා කෝලසෙලෙස්මා තෙල් කුප්පියක් ගෙන බෙල්ල දෙපැත්තේ ගා සෙම ඇරියා. එතකොට ටිකක් ගුණයක් එනවා. නැවතත් පෙර තිබූ රෝග ලක්ෂණ මතුවෙනවා. මේ නිසා දරුවගේ පාසල් යාමටත් බාධාවක්, ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

පිළිතුර -

ඔබේ දරුවාට මතු වෙන්නේ සෙම්ගෙඩි, සීතල ආහාර වර්ගත් සීත කළ ආහාර වර්ගත්, නිතර නිතර කෑමෙන් සෙම්ගෙඩි මතුවේ. ලොවිගැට, දිවුල්, අඹගැට, අච්චාරු වර්ග නිතර නිතර කෑමෙන් වැළකිය යුතුයි. ශීත කාලයේදී සෙම්ගෙඩි බෙහෙවින් මතුවේ. දහවල් නිදාගැනීම රාත්‍රී නිදි නොලබා සිටීම සුදුසු නැත. මඳ රස්නය ඇති වතුරට ලුණු ස්වල්පයක් දමා දියකර මදරස්නය ඇතිව උදේ සවස උගුර සෝදන්න. සුදුලූනු බික් හතරක් පහක් පමණ තළා උණුවතුරට දමා කට සෝදන්න. දෙහි ගෙඩියක් හතරට කපා ගම්මිරිස් කුඩු දමා කළවම් කර දිව මදින්න. දරුවා ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගන්න.

 

එස්.එස්. එල්. සිල්වා - වේයන්ගොඩ

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, විසි අට හැවිරිදි මා අවිවාහක කාන්තාවකි. මගේ මුහුණේ කුරුලෑ ඒමට පටන්ගෙන ඇත. දැනට කුරුලෑ තුන හතරක්ම මුහුණේ පවතී. එය සුවපත් කර ගැනීමට බෙහෙතක් කියාදෙන්න.

 

පිළිතුර -

බොහෝ කාන්තාවන් පැහැපත් මුහුණක් ඇතිකර ගැනීමට බොහෝ විට උත්සාහ ගනී. මේ නිසා රූපවාහිනීවල සහ පුවත්පත්වල පළ කරනු ලබන නානාවිධ සබන්වර්ග සහ ක්‍රීම් වර්ග ගෙන මුහුණේ පෙනුම වර්ධනය කර ගැනීමට උත්සාහ කරයි. නැතහොත් ආලේප කර ගනී. සමහර අයගේ මුහුණේ සිනිඳු බවට හානි වීම නිසාත් මුහුණේ ගාන ආලේප විෂවීම නිසාත් කුරුලෑ හටගනී. එමෙන්ම රක්තවාතය, රත්පිත් ගතිය, උෂ්ණාධිකම ආදී කරුණු නිසාත් කුරුලෑ හටගනී. මුංඇට පිටි, අමුකහ, කොහොඹ දලු, සුදු හඳුන් කුඩු, වෙනිවැල් කුඩු එක ප්‍රමාණයට සම සමව ගෙන ඇල් වතුරෙන් සියල්ල එකට අඹරා කුරුලෑවල ගාන්න. පැසුණු පොල් මිටක් පමණ ගෙන, කොකුම්පොතු, කොහොඹ පොතු, පොල් සමඟ අඹරා කුරුලෑ හටගත් මුහුණේ ආලේප කරන්න. එමෙන්ම කොහොඹ දලු, සියඹලා කොළ ටික ටික ගෙන දමා තම්බා, හුමාලය මුහුණට අල්ලන්න. කලාඳුරු අල ඇල් දියෙන් හෝ දෙහි ඇඹුලෙන් දියකර කුරුලෑ මත ගෑමත් සුබයි. මේ ප්‍රතිකාරවලින් සුවයක් නොලැබේ නම් ශරීරයට ප්‍රතිකාරයක් ලබා දිය යුතු බැවින් ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම වඩාත්ම සුදුසුයි.

 

කේ.පී. යසෝදා, මාලබේ

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මගේ දෙවැනිපුතාගේ වයස අවුරුදු එකොළහකි. පුතාට නිතරම කන් කැක්කුමක් ඇතිවේ. සමහර දිනවල රෑට නිදාගන්න ගිය විටත් කන් රිදෙනවා කියනවා. ඒ තත්ත්වය පවතින්නේ දකුණු කනේයි. කනේ ඝෝෂාවක් ඇති බවත් කියනවා. පුතාට නිතරම වගේ සෙම්ප්‍රතිශ්‍යාවත් සැදෙනවා. සොටු වැගිරෙන්නේ දියරවගේ. කන රිදෙන විට පහන් තිරයක් කනට යවා ගත්තාම තෙත ගතියෙනුයි එන්නේ. මෙය සුව කර ගැනීමට ප්‍රතිකාරයක් කියන්න.

පිළිතුර -

සමහර දරුවන්ට නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවෙනවා. ඒ සමඟම කන් කැක්කුමක් ඇතිවෙනවා. කන් හොඳින් සුද්ද නොකරාමයි එසේ වන්නේ. ස්නානය කරන විට දී හෝ මුහුණ සෝදන විට දී කන් ඇතුළට වතුර ගියාමත් මෙසේ කන් කැක්කුම ඇතිවෙනවා. ඒ නිසා කන් පැසවන්නත් පුළුවන්. මේ තත්ත්වය එතරම් හොඳ නැහැ. කන් බෙරයට හානි සිදු වී කන් නෑසීමට ද හැකියාව පවතිනවා. මේ නිසා කනට වෛද්‍ය උපදෙසකින් තොරව බෙහෙත් දාන්න එපා. දරුවන්ගේ ඇස්, කන්, නාසා ආරක්ෂා කරගත යුතුයි. එබැවින් බලා නොසිට උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍යවරයකුට දරුවා හැකි ඉක්මනින් පෙන්නා ප්‍රතිකාර ගන්න.

 

 

නන්දා සපරමාදු - වේයන්ගොඩ

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, ශරීරයේ ඇතිවන වේදනාව දාහය වගේම උෂ්ණාධිකත්වයට කොළකැඳ හොඳ ඖෂධයක් බව බොහෝ දෙනකු පවසනවා. ඒත් සමහරුන්ට කොළකැඳවලින් යම් යම් අපහසුතා ඇතිවන බවත් කියනවා. එබැවින් ගොටුකොළ, මුගුණුවැන්න, රණවරා, හාතාවාරිය, කරපිංචා, පොල්පලා, ඉරමුසු, කොහිල යන කැඳ බීමෙන් ඇතිවන ගුණ සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.

 

පිළිතුර -

ගොටුකොළ කොළකැඳවල යකඩ, බහුලව ඇති බැවින් අර්ශස් රෝගීන්ට ඉතාම ගුණදායකයි. මතක ශක්තිය ඇති කෙරේ. සමේ රෝගවලට හිසකෙස් රෝගවලට අක්ෂිරෝගවලට දැවිල්ලට කටතොල පැලීමට වගේම කිරිදෙන මවුවරුන්ගේ කිරි වර්ධනයටත් ගුණදායකය.

මුකුණුවැන්න කැඳ, බඩගින්න ඇතිවීමට ඇස් රෝගවලට ශරීරගත දැවිල්ල සමනය වීමට පිත් සෙම් දොස් සමනයට ලේ පිරිසුදු වීමට විෂ නැසීමට ආයු, වර්ණ, සැප ලැබීමට නුවණ හා දීර්ඝායුෂ ලැබීමටත් හේතුවේ.

රණවරා, මුත්‍රා දැවිල්ලට මුත්‍රා රෝගවලට ශරීරගත උෂ්ණත්වයට ලිංගික දුබලතාවයන්ට අක්මා ආශි‍්‍රත රෝගවලට හෘද වේදනාවට සෙම් පිත් රෝගවලට වඩාත් ම ගුණදායක වන අතර රණවරා කොළ කැඳ සමේ පැහැපත් බව ද ඇති කරයි. කටේ ඇතිවන තුවාලවලට ද ගුණදායකයි.

හාතාවාරිය කොළකැඳ ශරීරයේ පවතින උෂ්ණය සමනය කරනු ලබන අතර මූත්‍ර දැවිල්ලට උෂ්ණත්වයට සෝම රෝගවලට ධාතු ශක්තිය වර්ධනයවීමට පාණ්ඩුවට සිරුර පෘෂ්ටිමත් වීමට රත්පිත් රෝගවලට මෙන්ම දියවැඩියාවට හා පීනසට ද ගුණදායකය. ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ගුණයක්ද පවතී.

කරපිංචා කොළ කැඳ සර්පවිෂ සමනය කිරීමට අක්මාවේ ක්‍රියාකාරීත්වයට බඩගින්න ඇති කිරීමට කොලෙස්ටරෝල් පාලනය කිරීමට හා පිත සමනය කිරීමට ද ක්‍රියා කෙරේ. පොල්පලා මූත්‍රා රෝගවලට මෙන්ම මුත්‍රා දැවිල්ලට ද ගුණදායකය. ශරීරයේ ඇතිවන දැවිලි වේදනා සමනය කරයි. මුත්‍ර ලේ දියකිරීමේ ගුණයක් පවතී. පිත් සෙම් රෝගීන්ට වඩාත්ම ගුණදායකය. ඉරමුසු කොළකැඳ, හොරි දද වන කුෂ්ටවලට වගේම චර්ම රෝගවලට ගුණාත්මක ඖෂධයකි.

ධාතු ශක්තිය වර්ධනය කරයි. ගර්භණී මව්වරුන්ට මෙන්ම කිරිදෙන මවුවරුන්ට ද ගුණදායකය. මුත්‍රා දැවිල්ලට වගේම අතුල් පතුල් දැවිල්ලටත් ගුණදායකය. කොහිල කැඳ අර්ශස් රෝගීන්ට විශේෂ ගුණයක් ලබා දෙයි. රත්පිත් රෝගවලට දියවැඩියාවට මෙන්ම තුන්දොස් සමනය කිරීමේ ගුණයක්ද පවතී. සමේ රෝගවලටද ගුණදායක කොහිල කැඳ රෝග රැසක්ම සමනය කරයි. කොළකැඳ සකස් කිරීමේදී වඩාත්ම ගූණදායක මැටි වළදේ පිස ගැනීමයි. මද රස්නයෙන් කොළකැඳ පානය කළ යුතු අතර දෙතුන් වරක් රත් කර-කර බීම සුදුසු නැත.

 

මුනිදාස - වැලිකන්ද

ප්‍රශ්නය - වෛද්‍යතුමනි

පනස් එක් හැවිරිදි මම වසර ගණනාවක සිටම කරන්නේ වැලිගොඩ දැමීමේ රැකියාවයි. දවසේ පැය හයක් හතක්ම ඉන්නේ ජලයට බැස ඒ සෑම විටකම බුලත් විටක් කනවා. හැම දිනකම ඇඟේ වෙහෙස නිවා ගැනීම සඳහා මත්පැන් ටිකක් බොනවා. දැනට සතියක දෙකක පමණ සිට බඩඑළිය යෑම හරිම ප්‍රමාදයි. තටමලා තමයි මළපහ කරන්නේ. දැන් දැන් බඩගින්නක් දැනෙන්නේවත් නැහැ. දවස් දෙක තුනක් වුවත් මලපහ යන්නේ නැතිව ඉන්න පුළුවන්. වැලිගොඩ දැමීම නවතා ප්‍රතිකාර ගන්න ගියොත් ජීවත්වෙලා ඉවරයි. එදිනෙදාට ලැබෙන කීයක් හරි නොලැබී යනවා. රැකියාව කරමින් ගන්න පුළුවන් ප්‍රතිකාරයක් ලබා දුන්නොත් බෙහෝ පින් .

 

පිළිතුර -

ඔබගේ විස්තරය අනුව නම් ඔබට වැලඳී ඇත්තේ වියළි අර්ශස් රෝගයයි. මෙය වැළදෙන්නේ උෂ්ණාධික ආහාර ගැනීම නිසයි. එය වළක්වා ගැනීමට නම් කොළ පලා වර්ග එළවළු හා අලුත් පලතුරු ආහාරයට ගත යුතුයි. කොහිළ අල ව්‍යාංජනය ඉතාම ගුණදායකයි. සියඹලා කොළ ටිකක් ගෙන තම්බා ඉස්ම පතක් ගෙන සියඹලා කොළ ඉස්ම පතයි ගොකටු කිරි කලඳයි කළවම් කර බොන්න. අරළු කලඳයි, සුදුළූණු කලඳයි ගෙන වතුර අට එකට පෙරා සිඳ පානය කරන්න. පෙරුම් කායම් කලඳක්ද සවිඳලුණු තුන් කළඳක්ද දැත්ත නව කළඳක් ද වදකහ දෙකලක්ද තිරස්තවාලු අටකලදක්ද ගෙන වියළා කුඩුකර උණුවතුරෙන් පානය කිරීම ගුණවේ. කෝමාරිකා යුෂට කිතුල් හකුරු දමා උදේ, සවස බීමත් ගුණදායකයි. ඉදුණු අඹ, ගස්ලබු, බෙලි ආහාරයට ගන්න. උෂ්ණාධික ආහාර නොගත යුතු අතර බෙහෙත් බොනවිට මත්පැන් පානය ද නතර කරන්න.

පතෝල, වැටකොළු, තලනබටු, අළුකෙසෙල්, බෝංචි, කොහිල, ඇඹරැල්ල, පොළොස්, කැකිරි, පිපිඤ්ඤා, දියලබු, කුඩාමාළු, කෙසෙල්, කංකුං , සාරණ, කතුරුමුරුංගා, ගොටුකොළ, ආහාරයට එක්කර ගැනීම ගුණදායකයි. ගුදයේ වේදනාවක් ඇතිවුවහොත් තරමක් රස්නය ඇති උණුවතුරට ලුණු ටිකක් දමා දියකර ලොකු භාජනයකට එම වතුර දමා ගුදය පෙනෙන ලෙස පහත් වී සිටීමෙන් වේදනාව අඩුවේ. කෙසේ වෙතත් වෛද්‍යවරයකුට පවසා ප්‍රතිකාර ගැනීමත් සුදුසුයි.

 

ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.