උරහිස පැනීම පුරුද්දක් නොවීමට...

සැප්තැම්බර් 20, 2024

ගෝල කුහර ගණයට ගැනෙන උරහිස සන්ධිය ශරීරයේ චලන පරාසය වැඩිම සන්ධිය ලෙස දක්වන්නට පුළුවන්. සන්ධියක චලන පරාසය වැඩිවන විට එහි ස්ථාවරතාවය ස්වභාවයෙන්ම අඩුවනවා. එම නිසා උරහිස් සන්ධිය ශරීරය ඇති ස්ථාවරතාවය අඩුම සන්ධිය වශයෙන්ද දක්වන්නට පුළුවන්. මේ ස්ථාවර භාවය අඩු නිසා ගොඩනැඟෙන ආබාධයක් ලෙස නිදන්ගත උරහිස් අස්ථාවරත්වය (Chronic Shoulder Instability) දක්වන්නට පුළුවන්.

උරහිස සන්ධිය ආශ්‍රිතව ගොඩනැගෙන මේ අස්ථාවරභාවය නිසා උරහිසට ඇතිවන ඉතා කුඩා පීඩනයක් යටතේ වුවද සන්ධිය විස්ථාපනයකට ලක්වීමේ හැකියාව පවතිනවා. එම නිසා එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යාම ඉතාම දුෂ්කර වන්නට පුළුවන්. මේ තත්ත්වය ඔබගේ හුරු අතේ සිදුවී ඇති විට එය භාවිත කිරීම ස්වභාවයෙන්ම අඩුවන නිසා අනෙක් උරහිසට පීඩනයක් එල්ල වෙනවා. මේ නිසා එම උරහිසේද මෘදු පටක ආශ්‍රිතව විවිධ අනතුරු සහ ප්‍රදාහයික තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. අස්ථාවරභාවය නිසා ඉහළ ගාත්‍රා ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම්වලදී උරහිස සන්ධිය නිවැරදිව ක්‍රියා නොකිරීම සිදුවනවා. උපරිම චලන පරාසයකට යාමේදී උරහිස විස්ථාපනය වීමට ඇති ඉඩකඩ නිසා උරහිසේ කාර්යක්ෂම බව අඩුවනවා මෙන්ම එම උරහිස භාවිත කිරීමට ද රෝගියා තුළ බියක් හෝ සැකයක් ගොඩනැඟෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව උරහිසට එල්ලවන ඉතා කුඩා පීඩනයක් නිසා හෝ උරහිස් සන්ධිය විස්ථාපනය වීමක් හෙවත්  Shoulder Dislocation එකක් සිදුවන්නට පුළුවන්. උරහිසේ අස්ථාවර භාවය පවතින අවස්ථාවලදී නිරන්තරයෙන් මෙලෙස විස්ථාපනය වීම් සිදුවීම නිසා උරහිස් සන්ධියේ අභ්‍යන්තරයෙහි සහ බාහිරව පවතින මෘදු පටක ස්ථරවලට හානි සිදුවන්නට පුළුවන්. මේ හානි සිදුවීම ද ක්‍රමයෙන් වර්ධනය වීමේදී බටහිර වෛද්‍ය විද්‍යාත්මක ශල්‍යකර්ම හැරෙන්නට වෙන කිසිදු ප්‍රතිකාරයකින් රෝගය සුවකර නොගැනීමේ හැකියාවක් ද ඇතිවෙනවා. රෝගය මුල සිටම හඳුනාගැනීමත් ප්‍රතිකාරවලට යොමු වීමත් නිවැරදිව කළ යුතුමයි. Chronic Shoulder Instability  නිර්ණායක කිහිපයක් යටතේ වර්ග කිහිපයකට වෙන්කර දක්වන්නට පුළුවන්.

 

උරහිසේ අස්ථාවරභාවය සිදුවන දිශාව අනුව

 

1. සන්ධියේ ඉදිරියෙන් ඇතිවන අස්ථාවර භාවය (Anterior Shoulder Instability)

මෙහිදී ප්‍රගණ්ඩ අස්ථියේ මැද හිස කොටස ඉතිරි දිසාවට විස්ථාපනය වීමේ අවදානමක් පවතිනවා. උරහිස ආශ්‍රිත අස්ථාවරතාවයන් අතර වැඩි වශයෙන්ම පවතින්නේ මේ ආකාරයයි.

 

2. උරහිස් සන්ධියේ පිටුපස කොටසේ ඇති අස්ථාවර භාවය  (Posterior Shoulder Instability)

මෙහිදී උරහිසට එල්ල වන ඉතා කුඩා පීඩන තත්ත්වයක් යටතේ වුවද ප්‍රගණ්ඩ අස්ථියේ හිස කොටස පිටුපසට විස්ථාපනය වීමේ හැකියාවක් පවතිනවා. උරහිස ආශ්‍රිත අසමබරතාවයන් සැලකීමේදී අවම වශයෙන් පැතිරී පවතින ආකාරය මෙයයි.

3. උරහිස සන්ධියේ සියලු දිසාවන් වලින්ම පවතින අස්ථාවරතාවය Multi Directional Instability)

උරහිස සන්ධියේ සියලු දිසාවන්වලින්ම පවතින අස්ථාවරතාවය නිසා ප්‍රගණ්ඩ අස්ථියේ හිස ඕනෑම දිශාවකින් විස්තාපනය වීමේ අවදානමක් මෙහිදී පවතී. මෙහිදී බොහෝ විට උරහිස සන්ධියේ චලනවලදී අතරමැදි අවස්ථාවල ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස දකින්නට පුළුවන්.

Traumatic Unidirectional Instability

මෙම අස්ථාවර භාවය ඇති වන්නේ උරහිසට ඇතිවන අනතුරක් නිසා ව්‍යුහයක් වන Anterior Labrum  නම් කොටසේ ඇතිවන Bankart Lesion නම් හානි වීමේ ක්‍රියාවලිය නිසයි. බොහෝ විට ක්‍රීඩා, ව්‍යායාම ආශ්‍රිත සහ එදිනෙදා නිවෙසේදී සිදුවන අනතුරු ආශ්‍රිතව ඇතිවන පීඩනය නිසා මෙය සිදුවන්නට පුළුවන්කම පවතී.

රෝග ලක්ෂණ

 

ආබාධිත උරහිසෙහි පවතින ලිහිල් අස්ථාවර ස්වභාවය මේ නිසා එම උරහිස භාවිතයෙන් වැඩ කිරීමේ සඳහා බය ගතියක් හෝ අවිශ්වාස ගතියක් හෝ ගියාට ඇතිවෙයි

උරහිසේ චලන සමග ඇතිවන වේදනාව උරහිස් සන්ධිය දුර්වලව පවතින දිශාවට අනුව සිදුකරන චලන වලදී හට ගැනීම සිදුවනවා. මෙය බොහෝ විට උරහිස චලනය නොකර තබාගන්න අවස්ථාවලදී ඇති නොවේ.

උරහිසේ ඇතිවන දුර්වලතාවය.

රෝගී නොවූ උරහිසට වඩා රෝගී වූ උරහිසේ මාංශ පේශි දුර්වලතාවයක් හටගනී. එම නිසා උරහිසේ පවතින පිරුණු ස්වභාවය අඩු වී ක්ෂය වී යාම සිදුවන අතර චලන රටාවන් පවත්වා ගැනීමට අපහසු වේ.

අදාළ උරහිසේ ඇතිවන ඉදිමුණු ස්වභාවය හෝ තැලුම් ස්වභාවය.

වඩාත් උත්සන්න වූ උරහිස ආශ්‍රිත අස්ථාවරතාවයන්වලදී විටින් විට ඇතිවන ඉදිමීම හෝ තැලුණු ස්වභාවය ඇතිවේ. ක්‍රම ක්‍රමයෙන් උරහිසේ චලන පරාසය අඩුවීම සිදුවේ.

ප්‍රතිකාර

පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවලදී ඉතා සූක්ෂ්මව සහ නිවැරැදිව රෝග විනිශ්චයට ලක් කළ යුතු තත්ත්වයක් ලෙස නිදන්ගත උරහිස් අස්ථාවරත්වය  (Chronic Shoulder Instability)  දක්වන්නට පුළුවන්. බොහෝ වෛද්‍යවරුන් නිවැරදි රෝග විනිශ්චයකින් තොරව උරහිස ආශ්‍රිත වෙනත් මෘදු පටක ආබාධ, උරහිස් සන්ධිය ඝනවීම සහ සන්ධියේ කාටිලේජවල ගැටලු ලෙස මේ රෝගය වරදවා වටහා ගන්නවා. එම නිසා රෝගියාට ඉක්මනින් සුවය ලබා ගැනීමේ හැකියාව වියැකී යනවා මෙන්ම ප්‍රතිකාර සඳහා කාලය සහ මිල මුදල් වියදම් වීම නිසාම රෝගියා ද ප්‍රතිකාර ලබා ගැනීම අත්හැරීම සිදුවෙනවා. මෙය ඉතා දුක්ඛදායක තත්ත්වයක් වන්නේ නිවැරදිව ප්‍රතිකාර නොකරීම නිසා උරහිසේ අස්ථාවරභාවය ක්‍රමයක් ක්‍රමයෙන් වැඩි වී උරහිස් සන්ධියේ විස්ථාපන ආබාධයට රෝගියාට ගොදුරු වීමට සිදුවීමයි.

මේ රෝගය සඳහා අදාළ වන නිවැරදි පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර සැලකීමේදී තෙල් ප්‍රතිකාරවලට මූලික තැනක් හිමිවෙනවා. උරහිස් සන්ධියේ අස්ථාවරභාවය නිසා එම අදාළ වම් හෝ දකුණු පැත්තේ උරපතු ඇටය ආශ්‍රිතව පවතින මාංශ පේශීවලද අනවශ්‍ය තදවීමේ ස්වභාවයක් ඇති වන්නට පුළුවන්. එම නිසා මේ රෝගය සමඟම කොන්දේ ඉහළ හෝ පහළ ප්‍රදේශයේ වේදනාවකින් රෝගියා පෙළීමේ හැකියාව පවතිනවා. වඩාත් උත්සන්න වූ අවස්ථාවලදී උරස් කශේරුකා ආශ්‍රිතව පැතිකුද තත්ත්වයක්ද ඇතිවන්නට පුළුවන්. එහිදී කලින් සඳහන් කළ පරිදි තෛල ප්‍රතිකාර මඟින් ඉක්මන් සුවයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. තෛල ප්‍රතිකාර සිදුකිරීමේදී පාරම්පරික ඖෂධ අඩංගු පොට්ටනි මඟින් තැවීමෙන්ද සුවවීම ඉක්මන් කර ගැනීමේ හැකියාව තිබෙනවා. උරහිස සන්ධියේ අභ්‍යන්තරය ශක්තිමත් කිරීම සඳහා පත්තු භාවිත කිරීමේ හැකියාව පවතිනවා. මෙමගින් උරහිස සන්ධියට අවශ්‍ය පෝෂණය ලබාදීම සිදුකරනවා. මේ ප්‍රතිකාර සමඟම උරහිස් සන්ධිය වටා පවතින මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා ක්‍රමානුකූලව ව්‍යායාම කිරීමද සිදුකළ යුතුයි. මේ ව්‍යායාමවලදී උරහිස් සන්ධියට සහ ප්‍රගණ්ඩ අස්ථියේ හිස කොටසට අනවශ්‍ය පීඩනයක් එල්ල නොවීමටද සැලකිලිමත් වන්න. එම නිසා නිවැරැදි වෛද්‍ය උපදෙස් මතම පමණක් ව්‍යායාම සිදු කරන්න.

ප්‍රථමාධාර

 

වේදනාව සහ අසාමාන්‍යතාවයක් පෙන්වන උරහිසට දිනකට දෙවරක් පමණ අයිස් තැබීම සිදු කරන්න. මෙය එක් වරකට මිනිත්තු 15ක් පමණ සිදු කිරීම වඩාත් යෝග්‍යයි.

වේදනාව සහ අස්ථාවර භාවයේ තිබෙන උරහිස් සන්ධිය යටවන සේ සහ ඉහළ ගාත්‍රයට අනවශ්‍ය පීඩනයක් එල්ල වන පරිදි නිදා ගැනීමේ ඉරියව්වලින් හැකිතාක් වළකින්න.

ලිවීම, කියවීම සහ ජංගම දුරකථන භාවිත කිරීම වැනි ක්‍රියාකාරකම්වලදී අදාළ උරහිසෙන් වේදනාවක් හෝ වෙනයම් අපහසුතාවයක් ඇතිවේ නම් සෑම විටම විවේකය ලබාගන්න.

එම උරහිස භාවිත වන පරිදි බර එසවීම සහ ඉහළින් තිබෙන දේවල් පහළට ගැනීම වැනි ක්‍රියාකාරකම් අවම කරන්න.

පාසල් බෑග් සහ අනෙකුත් ගමන් මලු එම උරහිසේ හෝ උරහිස් දෙකේම වන පරිදි එල්ලාගෙන යාම අවම කරන්න. කුඩා දරුවන් වඩා ගැනීම අවම කරන්න.

උරහිස සන්ධිය නුහුරු සහ නොපිට අතට චලනය කිරීම අවම කරන්න. මේ රෝගී තත්වයේදී ඔබ නියමාකාරයෙන් ප්‍රවේශම් විය යුතු බව දැනගෙන දවසේ ක්‍රියාකාරකම්වල නිරත වන්න. හැකි ඉක්මනින් නිවැරදි ප්‍රතිකාර වෙත යොමුවන්න. ප්‍රතිකාර සමඟ රෝගය සුව වන විට ක්‍රමයෙන් නැවතත් අදාළ උරහිස භාවිත කරමින් දවසේ වැඩ කටයුතු කර ගැනීමට නැවත උත්සාහ කළ යුතුයි.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.