මානසික රෝග සඳහා ආයුර්වේදයෙන් පිළියම්

ජුනි 14, 2024

 

ආයුර්වේදය යනු ශරීරය,මනස හා ආධ්‍යාත්මය නීරෝගීව පවත්වා ගනිමින් තුලනාත්මක සමාජ සම්බන්ධතාවයක්පවත්වා ගැනීම සඳහා ඉහළ ප්‍රවණතාවයක් ලබාදෙන ශාස්ත්‍රයකි. මානසික යහපැවැත්ම හා සමතුලිතතාවය පිළිබඳ අවධානය යොමු නොකළ රෝග විග්‍රහයක් හෝ චිකිත්සාවක් ආයුර්වේදයෙහි අන්තර්ගත නොවන තරම්ය.

මීට අමතරව ආයුර්වේදය තුළ හුදෙක් මනස පදනම් කරගෙනම හටගන්නා වූ මනෝ රෝග හෙවත් උන්මාද රෝග නම් කාණ්ඩයක් සඳහන් කර ඇත. මානසික රෝග හට ගැනීම, හේතු, ස්වරූප ආදිය පිළිබඳ පුළුල් විග්‍රහයක් හා සාර්ථක මනෝවෛද්‍ය ප්‍රතිකාර පද්ධතියක් මෙහි අන්තර්ගතය. මේ සියල්ල වර්තමාන සංකීර්ණ ජීවන රටාව තුළ හටගන්නා වූ මානසික අසහනය හා ආතතිය ඇතුළත් මානසික රෝගයන් සඳහා ද මනා සේ යොදා ගතහැකිය.

ආයුර්වේද සුශ්‍රැත ආචාර්ය වරයාගේ අර්ථ දැක්වීමට අනුව,

“මදයන්ත්‍යුද්ගතා දෝෂා- යස්මාදුන්මාර්ගමාගතා:

මානසෝ යමථෝ ව්‍යාධි -

රුන්මාද ඉතිකීර්තිත: ” (සු.උ.62 අ)

ලෙස සඳහන් වේ. එනම්, වැඩුණා වූ වාතාදි දෝෂයෝ ඌර්ධව හෘදයට (මොළයට) ගමන් කිරීමෙන් මනසෙහි විභ්‍රමය (ව්‍යාකූලබව) උපදවා සිත මත් කිරීම මඟින් මනස පීඩාවට පත් කරයි.මෙමඟින් මනසෙහි සිහිනුවණ දෙකහි පියවි බව පහ වී මනසේ අවුල් සහගත තත්වයක් ඇති වීම හෙවත් මනෝ විභ්‍රමයට පත් වේ.

ආයුර්වේදයට අනුව ශරීරය වාත, පිත්ත, කඵ යන ත්‍රිදෝෂයන්ගේ සංකලණයකි. මනස සත්ත්ව, රජස්, තමස් යන ගුණයන් මූලික ව ක්‍රියාත්මක වේ. මේ ශාරීරික හා මානසික දෝෂයන් අතර ඍජු සම්බන්ධතාවයක් පැවතීම ම ශාරීරික හා මානසික රෝග අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කිරීමට සාධක සපයයි. විෂම වූ දෝෂයන් ශරීරයේ මෙන්ම මනසේ ද සමබරතාවය බිද දමන බැවින් මෙසේ මානසික හා ශාරීරික රෝගලක්ෂණ පහළ වේ.

උන්මාදය නිජ හා ආගන්තුජ වශයෙන් දෙයාකාරය. නිජ යනු ශාරීරික තත්ත්වයන්ගේ වෙනස් වීම අනුව ඇතිවන්නා වූ උමතුවයි. ආගන්තුජ යනු බාහිර හේතූන් නිසා ඇතිවන්නා වූ උමතුවයි. රෝග තත්වය උත්සන්න වීමේදී මේ ස්වරූපයන් එකිනෙකට පරිවර්තනය වීමේ ස්වභාවයක් දක්වයි.

වාත, පිත්ත, කඵ යන ත්‍රි දෝෂයන් ගේ තනි කිපීම් වශයෙන්ද, සියලු දෝෂයන්ගේ එකතුව කිපීමෙන්ද ලෙස උන්මාද රෝග සතර ආකාර වන අතර, ශෝකය ආදිය හේතුවෙන් හට ගන්නා පස් වැන්නක් ද වස විෂ හේතුවෙන් හටගන්නා සය වැන්නක් ද වෙයි. ප්‍රතිකාර කිරීමේදී මේ හට ගැනීමට අනුව ඖෂධ උපචාර යෙදිය යුතුය. එතරම් තදින් නොවැඩුණා වූ මූලික අවස්ථාවේ පවතින උන්මාද රෝගයම “මද හෙවත් මත් බව” ලෙස හදුන්වනු ලබන අතර චරක සංහිතාවට අනුව මදාත්‍ය ස්වතන්ත්‍ර රෝගයක් සේ වෙනම සලකා ඇත. ශාරීරික රෝගයන් මානසික රෝග බවටද, මානසික රෝග ශාරීරින රෝගයන් බවට ද පරිවර්තනය වන බව මින් පැහැදිලි වේ.

උන්මාද රෝග සාමාන්‍ය හේතු ලෙස එකිනෙකට පටහැනි ආහාර, දුෂ්ඨ, විෂාදියෙන් දූෂිත වුද, අපවිත්‍ර වුද ආහාර වර්ග, දෙවි ගුරු පැවිදි උතුමන්ට අවමන් කිරීම, තදබල බිය හා තදබල සතුටද පෙරදැරි කොට ඇති වූ සිත් තැලීම, එකිනෙකට ප්‍රතිවිරුද්ධ සිතිවිලි ආදිය දක්වා ඇත.

මේ අනුව වර්තමාන සමාජය තුළ මානසික ආතතිය හා මානසික පීඩාවන් සුලභ වීම සාමාන්‍යය. මන්ද බහුලවම ශරීරයට ඇතුළු කරන්නේ එකිනෙකට විරුද්ධ වූ, දුෂ්ඨ, විෂාදියෙන් දූෂිත වුද, අපවිත්‍ර වුද ආහාර වර්ග වීමයි. ක්ෂණික හා කෘතීම ආහාරවල බහුලවම ඇත්තේ අහිතකර විෂ වර්ගයන් බව ප්‍රසිද්ධ රහසකි. ස්වභාවිකවම සරුසාර රටක ජීවත් වන අපට නිවෙසේ පිළියෙළ කරන ලද වස විෂෙන් තොර පිරිසුදු ආහාරයක් පහසුවෙන් ලබා ගත හැකිව තිබියදීත් මහ මාර්ගයේ ඇති ක්ෂණික හා පිසූ ආහාර කෙරෙහි රුචියක් දක්වන ප්‍රවණතාවයක් ඇති වීම සෝචනීය තත්ත්වයකි. සත්ත්ව ගුණය අඩු වාණිජ පරමාර්ථයෙන් සකස් කරන්නා වූ මේ ආහාරයම පාරිභෝගිකයාගේ මනසේ සත්ත්ව ගුණය හීනවීම කෙරෙහි බලපාන බව පැහැදිලි වේ.

දෙවියන්ට අවමන් කිරීම යනුවෙන් ගම්‍ය වන්නේ ආගම දහමට පිටු පා යෑමයි. ගුරුවරුන්ට අවමන් කිරීම යනු ඔවුන් නොසලකා හෝ අභිබවා යාමයි. එයින් අරුත් වන්නේ යම් කිසි පුද්ගලයකු සමාජ ආචාරධර්ම හා අත්දැකීම් බහුල පුද්ගලයන්ගේ උපදෙස් නොසලකා කටයුතු කිරීම මඟින් එම පුද්ගලයා තුළ ආධ්‍යාත්මික සහනය බිද වැටෙන බවයි. ප්‍රතිපලය වන්නේසමාජයීය තුලිතතාවය ද බිඳ වැටී මානසික පීඩාවන්ට ගොදුරු වීමයි. අධික හර්ෂය හා අධික දුක්ඛයද මානසික ගුණයන්හි සමතුලනය බිඳ දමයි. එයම ත්‍රිදෝෂයන්ගේ කෝපයටබලපායි. භය හර්ෂ දෙකෙන් කාම, ක්‍රෝධ, ලෝහ, මෝහ, ශෝක බඳු දුර්වල මානසික තත්ත්වයන් හට ගනී.

ආයුර්වේද උන්මාද චිකිත්සාව පුළුල් පරාසයක විහිදී ඇත. උත්සන්න වූ දෝෂයන් අනුව වාත පිත්තාදී දෝෂ සමනය කිරීමට කටයුතු යෙදීමට අමතරව උපහාර, බලි, මන්ත්‍ර සහ පූජා යන ක්‍රමයන්ද, වමන, නස්‍ය කර්ම ආදී පංචකර්ම ප්‍රතිකාර ක්‍රම වේදයන් ද මෙහිදී උපයෝගී කර ගනී. තවද දේශීය චිකිත්සාවෙහි හිස කුඩිච්චි දැමීම නමින් හැදින්වෙන ශිරෝ ලේපන ක්‍රමයද ප්‍රචලිතය. විවිධ ඖෂධ යෝගයන් හි භාවිතය ද ආයුර්වේදය තුළ සුවිශේෂී වේ.

මේ අනුව සලකා බැලූ විට මානසික රෝග යනු පහසුවෙන් වළක්වා ගත හැකි රෝගයන් කාණ්ඩයකි. අවශ්‍ය වන්නේස්වයං විනයක් සහිතව නීරෝගී කමට අදාළ වත් පිළිවෙත් අනුගමනය කිරීමයි.

ආයුර්වේද ස්වස්ථවෘත්ත, සද්වෘත්ත හා ආචාර රසායනය ආදී පිළිවෙත් පිළිපැදීම මඟින් මානසික සංතෘෂ්ටිය මූලික කරගන්නා ලද නීරෝගී බව පවත්වාගෙන යාමේ සඳහා විසදුමයි. යම් හෙයකින් පුද්ගලයකු මානසික රෝගයකට ගොදුරු වුවද එය සාමාන්‍ය ව්‍යාධි තත්ත්වයක් මිස සමාජයේ අවමන් ලැබිය යුතු රෝගයක් නොවේ. එක් එක් රෝගියාට සුවිශේෂී වූ සුවිශාල ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේදයෙහි අන්තර්ගත වේ. අවශ්‍ය වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීම හා අවශ්‍ය ප්‍රතිකාර සැපයීමෙහි අනලස් වීමයි. මානසික රෝගවලින් සමාජය මුදවා ගැනීමේ සම්පූර්ණ හැකියාවක් ආයුර්වේද හා දේශීය වෙදකම ආශ්‍රිතව ඇති බව මේ අනුව පැහැදිලි වනු ඇත.

ආයුර්වේද ජාතික රෝහලේ

වෛද්‍ය එස්.ඒ.ජේ.සී. සමරනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.