ඕනෑම දවසක ඔබට ගැළපෙන නැකැතක් සොයාගන්න

උමා ජ්‍යොතිෂයෙන්
ජුනි 9, 2023

 

මෙතෙක් “යෝනි” තත්ත්වයන් ඇසුරින් ජය භූමිය සොයා ගැනීම ජය භූමි තලය පිළිබඳව දළ අදහසක් ගැනීම සඳහා කරුණු කාරණා ඉදිරිපත් කළෙමු. තවදුරටත් නිදසුන් කිහිපයක් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ වේ.

 

“සිරිමානිස්” ට යහළුවකු හමුවී උපකාරයක් ගැනීමට සිදුව තිබේ. යාළුවා ගෙදර සිටින්නේ බදාදා – සිකුරාදා දවස්වල පමණි. සිරිමානිස්ගේ නාම යෝනිය “මුවා” ය. එසේ වන්නේ ශ,ස,ෂ,හ අක්ෂර මුවාට හිමි බැවිනි. බදාදා උදේ 6 - 9 දක්වා දිවියා වේ.

දෙවැනුව උදාවන්නේ නයාය. (පසුගිය ලිපියෙහි කාල සීමා දක්වා ඇත) නයා මුවාගේ මිත්‍රයෙකි. එබැවින් උදෑසන 9 - 12 අතර කාලයේදී මුවා හිමි ඊසාන හෝ නයා හිමි බටහිර හෝ බලා සිරිමානිස්ට ඔහුගේ ගමන යා හැකිය. එ ඒ “යෝනි” සඳහා මිත්‍ර යෝනි මෙසේ දක්වන්නට කැමැත්තෙමි.

ගුරුලාට දිවියා සහ මීයා මිත්‍රය. බළලාට නයා සහ ඇතා මිත්‍රය, සිංහයාට මීයා ද – මුවා ද මිත්‍ර වේ.

දිවියාට ගුරුලාත් ඇතාත් මිත්‍ර වන අතර, නයාට මුවා සහ බළලා මිත්‍රය. මීයාට ගුරුලු – සිංහ දෙදෙනා මිත්‍රය. ඇතාට බළලත් දිවියත් මිතුරු වන්නා සේම නයා සහ සිංහයා මුවාගේ මිතුරන් වන්නේය. මෙකී න්‍යාය අනුව සිරිමානිස්ට නයා යෝනිය මිත්‍ර වන්නේය.

යම් හෙයකින් සිරිමානිස්ට බදාදා එම කාලය තුළ යාමට අපහසුනම් හෝ උදේම පිටත්විය යුතු වේ නම් බදාදා උදේම දිවි යෝනිය නිසා කිසිසේත්ම සුදුසු නොවන්නේ දිවියා මුවාගේ පරම හතුරා වන බැවිනි.

ගුරුලු – නාග, බළල් – මී, සිංහ – ඇත්, දිවි – මුව යුගලයන් ඔවුනොවුන් කෙරේ වෛර බව දත යුතුය. ඉදින් සිරිමානිස් සිකුරාදා උදේම පිටත් වන්නේ නම් එදා උදෑසනම ඇත්තේ මී යෝනිය ය. සිකුරාදා, පාන්දරට එනම් බ්‍රහස්පතින්දා නිමාවන අවසන් යාමය ද දිවියාගේය.

දැන් අප පෙර සඳහන් කරන ලද ක්‍රමයෙන් සිරිමානිස්ට ප්‍රයෝජන ගැනීම උගහට බැව් පෙනේ.

ඕනෑම විෂයක ස්ථුල – ශූකාම යනුවෙන් ප්‍රභේද දෙකක් වන්නේය. මෙහිද එය එසේමය. ඒ අනුව සිකුරාදා උදේ 6 - 9 දක්වා මී යෝනිය උදාවන්නේ නමුදු මී යෝනිය තුළ මුවාටද ස්ථානයක් වේ.

බදාදා උදේ 6 -9 දක්වා මුවාගේ පරම සතුරු දිවි යෝනිය උදාවූයේ නමුදු ඒ තුළ මුවාටද තැනක් තිබේ. මේ ගණිත චක්‍ර විවිධ ය. විසල්ය. මෙහි දක්වනුයේ සිංහල, උමා ඡ්‍යොතිෂයෙහි එන සප්තයෝග ශාස්ත්‍රය නැමැති විෂයෙහි එන පළමු යෝගය වන “ඉන්ද්‍ර ගුරුලුව“ නැමැති අනු අංගයෙහි ප්‍රභේද රැසකින් එකක් වන “ගුරුලු සාරාංශයෙහි” එක් ප්‍රභේදයක් බැව් සිහිපත් කරන්නෙමු.

එහි එන පරිදි ගුරුලු යෝනිය හිමි ඉංගී‍්‍රසි පැය තුනක කාලය තුළ ගුරුලා පටන් බළල් – සිංහ - දිවි -නයි -මී -ගජ -මුව යන අට දෙනා වේ. එවිට එක් යෝනියක කාල පරාසය මිනිට්ටු 22 1/2කි.

සෑම යෝනියක් තුළම උදා යෝනියේ පටන් ක්‍රමයෙන් ශූකාම යෝනි අටක් උදාවන බැව් දත යුතුය. ඒ අනුව සිරිමානිස්ට බදාදා උදේම යා යුතු නම් එදා උදේ 6.00 සිට 6:22:30 දක්වා දිවියාය. එතැන් පටන් 6.45 දක්වා නයාය. මේ කාලය ද ඔහුට සුදුසුය. 6:45 සිට 7:07:20 දක්වා මීයාය. 7.30 දක්වා ඇතාය. 7:30 සිට 7:52:30 දක්වා මුවා උදාවේ.

ඉදින් ඔහුට 6:22:30 ට හෝ 7:30 ට හෝ ගමන පිටත් විය හැකිය. නයාගේ මොහොතෙහි පිටත් වේ නම් බටහිර වඩා යෝග්‍ය වන අතර, මුවාගේ මොහොතින් පිටත්වේ නම් ඊසාන බැලිය යුතු වෙයි.

මෙසේ ඔබට දවසේ උදාවන ඕනෑම ඉංගී‍්‍රසි පැය තුනක කාලය ඇතුළත සුබ දිශාවක් ජය භූමියක් ඔබේ නමේ මුලකුරු අනුව සොයා ගත හැකි වේ.

ඕනෑම ශාස්ත්‍රයක් ක්‍රම ක්‍රමයෙන් ගැඹුරට විහිදෙනු ඇත. ඕනෑම ආහාරයක රස ගුණ ඊට යොදන අතිරේක සාධක, ද්‍රව්‍ය අනුව වෙනස් කළ හැකි සේ මෙම නැකැත්ද එසේමය.

අපි ගණනය කිරීමේ පහසුවට උදේ 6.00 සේ පැවසුවත් සත්‍ය වශයෙන්ම දවස උදාවන්නේ ඉර උදාවත් සමඟය. 2023.06.09 අද ඉර උදා වන්නේ උදේ 05.54 ටය. එයත් කොළඹටය. නුවරට උදාවන්නේ 5.51ටය. ඉදින් ඔබ සිටිනා ස්ථානය අනුවම ගැන ගැනීමෙන් විශේෂ ප්‍රතිඵල ගෙනෙනු ඇත.

මේ අකුරු කලාව අපූර්ව ක්‍රීඩාවකි. ඇස් ඉදිරියේ ප්‍රතිඵල සහිතය. එහෙත් පූර්ණ ප්‍රතිඵල ලබන්නට අමුද්‍රව්‍ය නිසි පරිදි එක් කළ යුතුය.

ඔබ හෙම්බිරිස්සාව, ඉඟුරු, කොත්තමල්ලි තම්බා බොනු ඇත. එහෙත් එය කසායක් සේ 1/8ට හිඳ හෝ පත 1/4 හිඳ ගැනීමෙන් ගුණය වෙනස්වනු ඇත. ප්‍රතිවාප අනුව තවත් ගුණ වෙනස් වේ.

න - ග අකුරු හිමි වනුයේ බළල් යෝනියටය. ඔබ කරුණාදාස කීර්ති හෝ කුසුම් වුවද දළ වශයෙන් ඔබේ ජයභූමිය ගිනිකොණය. ‘කජු’ පැළය වයඹ දිශාවට වඩා හොඳින් ගිනිකොණ දිග පැළවෙනු ඇත. එයද සාපේක්ෂය. ඉදින් කොස් ගැනද කිව යුත්තේ එසේය.

කජු සහ කොස් පැළ වෙනුයේ බීජ වලිනි. කජු හෝ කොස් අතු කැබැල්ලක් ගිනිකොණ දිගින් පැළ කළහොත් එය පැළවීමේ ප්‍රවණතාවය වැඩිය. එකවර ගිනිකොණ සහ වයඹ දිශාවෙහි සිටුවා බැලුවහොත් ලැබෙන ප්‍රතිඵලය අත්විඳ බැලිය යුතුය.

මෙවැනි පරීක්ෂණ තුළින් සිංහල උමා ඡ්‍යොතිෂයෙහි එන ජයභුමි සංකල්පය කෙතරම් ඵලදායකදැයි ඔබට පෙනෙනු ඇත.

එහෙත් සිහි තබා ගත යුතුය. ඉලක්කයටම “කජු” අතු කැබැල්ල ගිනිකොණ සිටුවන විට ගිනිකොණ දිශාව රජ බලයෙන් තිබිය යුතුය. එකල්හි එය තිර වශයෙන්ම පැළවෙනු ඇත.

ඉදින් කරුණාපාල එවැනි මොහොතක ගිනිකොණ දිසාව බලා නඩුවකට හෝ වෙනත් කටයුත්තකට පිටත්ව යන්නේ නම් ඔහුගේ ජයග්‍රහණය 99%ක්ම ස්ථිරය. මෙහි 1% අත හැරියේ ලොව කිසිවක් 100%ක් විශ්වාස නොමැති නිසාවෙනි.

අප මනුෂ්‍යයන් වන බැවින් අප අතින්ද වැරදීම් සිදුවිය හැකි නිසාවෙනි. මෙසේම කරුණාපාලට ග්‍රහ අපල ඇති විටක දීර්ඝකාලීන අසනීප ඇතිවිටක ‘ක’ හිමි ගිනිකොණ දිශාවේ ඇති පූජනීය ස්ථානයක ගිනිකොණ රජකරන අවස්ථාවක බෝධිපූජා හෝ වන්දනා හෝ සිදු කිරීමෙන් මහඟු ප්‍රතිඵලම අත්පත් කරගත හැකිය.

මෙහි කී රජ කතාව සංකීර්ණ එකකි. ඔබට ඔබේ ජයභූමිය සහ කාලය, සොයා ගැනීමේ එක් සංකල්පයක් මෙහි නිරවුල්ව ඉදිරිපත් කරන ලද අතර, එය ඔබට සාමාන්‍ය මට්ටමේ යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා උපකාර වන්නේමය.

නැකැත්වලට කුමක් කළ හැකිදැයි අසන මිනිසුන්ට ප්‍රායෝගිකව ඒවා අත්විඳීමට තරම් පොහොසත් ශාස්ත්‍රයක් පුලතිසි රාවණාදීහු විසින් අපට ලබාදී තිබේ.

ඒවායෙහි කැට කැබැලිති අප මෙසේ ප්‍රතිඵල සඳහා භාවිත කරන්නේ නම් එදා සිංහලයේ සශ්‍රීකත්වය කෙසේ තිබෙන්නට ඇත්දැයි සිතාගත නොහැකි වනු ඇත.

සිංහල උමා ඡ්‍යොතිෂ නැකැත් ඇසුරින් ලැබෙන ප්‍රතිඵල ඉංගී‍්‍රසි පෑ 24ක් ඇතුළත අත්විඳිය හැකි අතර, එහි නොපෙනෙන අද්භූත බලයක් නැත. ඇත්තේ ගණිතමය නිර්මාණයක උපයෝගීතාවය පමණක්මය.

ඔබේ නම ගැන තවත් රහස් සමඟ හමුවෙමු.

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.