මිථුන රාශියේ වේගවත් ගමනක යෙදෙන බුධගෙන් ලග්න හතරක පැතුම් ඉටු වෙයි

ජුනි 14, 2024

බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක්

මේෂ- වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-ධනු-කුම්භ-මීන ලග්නවලට අතිශය සුබපල

කටක-තුලා-වෘශ්චික-මකර ලග්න හිමියන්ට මිශ්‍රපල

මිථුන, කන්‍යා, ධනු සහ මීන ලග්නවලට පංචමහා පුරුෂ යෝග අතරින් භද්‍රා යෝගය යෙදෙන අයුරින් බුධ අද (ජුනි මස 14 වැනිදා) රාත්‍රී 11.05ට තමාගේ ස්වක්ෂේත්‍ර භවනය වන මිථුනයට පැමිණ ජූනි 29 වැනිදා රාත්‍රී 12.27 දක්වාම එහි ගත කරයි.

සාමාන්‍යයෙන් බුධ එක් රාශියක ගමන් කරන කාල සීමාව මාසයකට ආසන්න වුවත් මෙවර එය ගමන් කරනුයේ දින 15 ක තරම් කෙටි කාලසීමාවකි. ග්‍රහයකු ශීඝ්‍රව ගමන් කරන කල එහි ප්‍රතිපල වඩ වඩාත් ශීඝ්‍රව ලබා දෙනබව ඡ්‍යොතිෂයේ විශ්වාසයයි.

ඒ අනුව බුධ තමන්ගේ කේන්දරයේ ලග්නය, 4,7, 10 වැනි ස්ථානයක බලවත්ව යෙදුණේ නම් ජන්මියා ඉතා ජයග්‍රාහී පුද්ගලයකු වන අතර, ධනය ලබන සතුට සංතෝෂය හිමි වන්නා වූ තේජෝ බලයෙන් යුක්ත, විනෝදාස්වාදය ලබන කෙළි සෙල්ලම්, නර්තන, රංගන ආදියට දක්ෂ පිරිවර බලයක් ඇති අයෙක් වනවා යන්න ඡ්‍යොතිෂ නියමයයි. මෙසේ සැලකීමේ දී බුධ මිථුනයේ සිටින කාල සීමාව තුළ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලින් උපදින දරු දැරියන් එකී යහපත් ප්‍රතිඵල භුක්ති විඳින වාසනාවන්තයන් බවට අනාගතයෙහි පත්වනු ඇත. භාෂා ශාස්ත්‍ර ශිල්ප ඥාණයෙහි ප්‍රගුණ අය වෙති. සාමාන්‍යයෙන් බුධ දසාව ගත කරන්නට ද මේ කාලසීමාව යහපත් ප්‍රතිඵල ගෙන දෙන බව කිව යුතු ය.

මීට අමතරව මේෂ, වෘෂභ, සිංහ, කුම්භ ලග්න හිමියන්ටද අතිශය සුබ කාලයක් මේ දින කීපයේ උදාවනු ඇත.

කටක, තුලා, වෘශ්චික, මකර ලග්න හිමියන්ට මිශ්‍රපල ලැබෙනු ඇත.

භද්‍ර බුධහුට යෙදෙන වචනයකි. එහි ද සෞම්‍ය යන්න අර්ථවත් වේ. මෙනිසා මිථුන කන්‍යා ධනු මීන ලග්න 4ට වඩ වඩාත් සුබපල උදාවීමටද ඔවුන්ගේ අධ්‍යාපනයට හා ඊට අදාළ අපේක්ෂාවන් මල්පල ගැන්වීමටද මේ ගමන හේතුවක් වේ. ශාස්ත්‍රීය වශයෙන් කරනු ලබන නිරීක්ෂණ, පරීක්ෂණ, විමර්ෂණ අතිශයින් සාර්ථක වේ. බුධ භද්‍රා යෝගයෙන් යුක්තවන කල ඇති කරන ප්‍රතිඵල ජාතක රත්නයෙහි දක්වා ඇත්තේ මෙසේ ය.

බුධ සිව් දස ජම්මය සත යෙනේ
සොඳ ජය දනරැස් ලැබ සිරි විඳි නේ
තෙද බල දිවනළු කෙළි පිරිවරිනේ
සොඳ ගුණ භද්‍රා යෝගෙන් පැමි නේ

මිථුන ඩවිදග්ධභාවය නියෝජනය කරන ග්‍රහලෝකයෙහි සුරතලා වශයෙන් ද බුද්ධිය, ඥානය, ඉගෙනීම ශිල්පීය අවබෝධය ශාස්ත්‍ර ඥානය නියෝජනය කරන ග්‍රහයා වශයෙන් ද පිළිගැනෙනුයේ බුධහුය.

සිකුරු හැඩරුවට කාරකයා මෙන්ම බුධහු සෞම්‍ය, සිත්ගන්නාසුලු භාවය නියෝජනය කරන ග්‍රහයාය. බුධ බලවත් වීමෙන් කෙනෙකු ප්‍රසන්න, ආකර්ෂණීය අයකු වෙයි.

සෞම්‍යං සෞම්‍ය ගුණෝපේතං

තං බුධං ප්‍රණමාම්‍ය හම් යනුවෙන් බුධහු හඳුන්වයි. සෞම්‍ය වූ ගුණයෙන් යුක්ත බුධහු සෞම්‍ය යනුවෙන් හඳුන්වන බව ඉන් ගම්‍ය වේ. මේ ආකාරයෙන් සකල විධ දැනුම් සම්භාරයට මෙන්ම ප්‍රසන්නතාවයට කාරක බුධ ශීඝ්‍ර ගමනක යෙදේ.

බුධගේ ගමන ගැන සැලකීමේ දී ලංකා කේන්දරයේ පස්වැන්නට බුධ පැමිණේ. මෙය අධ්‍යාපනික වශයෙන් රටෙහි නවෝදයක්, ප්‍රබෝධයක් හා යහපත් පෙරළියක් ඇති කිරීමට ද හේතුවක් වේ. ජනතාව අන්ධානුකරණයෙන් තොර වී දේශපාලනඥයන්ගේ වචනවලට නොරැවටී තත්ත්වාවබෝධයෙන් යුතුව තීරණ ගැනීමටත් රට ගැන පැහැදිලි අවබෝධයකින් යුක්තව ක්‍රියා කිරීමටත් පෙලඹෙන වාතාවරණයක් මේ තුළින් ගම්‍ය වෙයි.

 

මේෂ

සන්නිවේදන ක්ෂේත්‍රය, ග්‍රන්ථකරණය, මුද්‍රණ වැනි අංශයන්හි සේවයේ නියුතු අයට වඩාත් යහපත්ය. තම අරමුණු, අපේක්ෂා මල්පල ගැන්වෙන ග්‍රහ මාරුවකි. ආර්ථිකය, සෞඛ්‍යය, ධනය යහපත් වන බවක් පෙනේ.

 

වෘෂභ

ධනෝපායන මාර්ග යහපත් වේ. තමාගේ වාග් ස්වභාවය අන්‍යයන්ගේ ප්‍රසාදයට ලක් වෙයි. එමෙන්ම වෘත්තිය ජයග්‍රහණයන් ද මෙයට අදාළ වේ. වෘෂභ ලග්න හිමියන්ගේ අපේක්ෂා මල්පල ගැන්වෙනු ඇත.

 

මිථුන

සුවිශේෂී බලයක් ලබන, අපේක්ෂා මල්පල ගන්වන කාලයකි. පැතුම් ඉටුවන අතර කරන කියන කටයුතු සාර්ථක වේ. අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍යය යහපත් වන වාසනාවන්ත කාලයක් උදා වේ.

 

කටක

මධ්‍යස්ථ ප්‍රතිඵල ගෙන දේ. කෙසේ නමුත් පිනට දහමට ළැදිව ක්‍රියා කරයි. අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනුමට කල්පනාකාරී විය යුතු ය.

 

සිංහ

ආදායම් මාර්ග සරු වේ. වඩාත්ම ඉහළ මට්ටමේ ධනෝපායන මාර්ගයන්ට මඟ පෑදෙයි. ආර්ථිකය, ගෘහ ජීවිතය, සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනුමට මෙකී කාල පරාසය උපකාරී වෙයි.

කන්‍යා

විශේෂයෙන් භද්‍රා යෝගයේ ප්‍රතිඵල හිමිවේ. ගෞරවය, සම්මාන ලබන බෙහෙවින් පලදායි කාලයකි. සෞඛ්‍යය, ආර්ථිකය, අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්වේ.

 

තුලා

මධ්‍යස්ථ ප්‍රතිපල උදා වේ. කෙසේ නමුත් අධ්‍යාපනයේ යෙදෙන්නන් හට තම අපේක්ෂා අරමුණු බලාපොරොත්තු ඉටු කර ගත හැකිය. කාර්මික නැඹුරුවකින් යුක්තය.

වෘශ්චික

යහපත් ප්‍රතිඵල මධ්‍යස්ථ ආකාරයෙන් ලැබෙනු ඇත. ලොතරැයි දිනුම්, මුදල් ලැබීම් වැනි හදිසි වාසනාවන්ට ද ඉඩක් පවතී. සෞඛ්‍යය මෙන්ම අධ්‍යාපන කටයුතු ද ක්‍රමවත්ව සිදු කිරීමට වගබලා ගත යුතුය.

ධනු

භද්‍රා යෝගයෙන් ලැබෙන යහපත් ප්‍රතිපල ඉස්මතු කර ගනිමින් තම අරමුණු අපේක්ෂා මල්පල ගන්වන සුබවාදී කාලයක් වේ. සෞඛ්‍යය, ආර්ථිකය, අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.

මකර

සුබ අසුබ මිශ්‍රය. කෙසේ නමුත් බුද්ධිය ඥානය වර්ධනය වී ඒ තුළින් ප්‍රතිලාභ ලැබෙනු ඇත. සෞඛ්‍යය, අධ්‍යාපනය යහපත් වනු ඇත.

 

කුම්භ

පෙර පින ඉස්මතු වේ. දූ දරුවන්ට යහපත් වේ. අධ්‍යාපනයේ යෙදෙන්නන් ඉහළ ප්‍රතිඵල ලබයි. තම අරමුණු අපේක්ෂා ඉටු වේ. ආර්ථිකය, සෞඛ්‍යය, යහපත් වේ.

 

මීන

භද්‍රා යෝගයේ ප්‍රතිපල භුක්ති විඳිනු ඇත. ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබෙයි. පවුල් ප්‍රශ්න විසඳේ. වාසනාවන්ත කාලයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.