ජුනි 01 වැනිදා කුජ මේෂයට ලග්න දහයකට රුචක යෝගයෙන් ජයෙන් ජය

මැයි 31, 2024

 

ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට මූල ත්‍රිකෝණ හා ස්වක්ෂේත්‍ර වන අතර විශ්ව කේන්දරයේ පළමු වැන්න බවට පත්වේ.

කුජ මේෂ රාශියට පැමිණීමෙන් මේෂ, කටක, තුලා, මකර යන ලග්න 4ට අදාළව ඉතා බලවත් වූ රුචක යෝගය උදාවන බව සඳහන් කළ යුතු ය. රුචක යෝගය මේ ලග්න හතරට වඩාත් සක්‍රිය ලෙස ප්‍රතිඵල ලබා දෙන නිසා තමන්ගේ අරමුණු අපේක්ෂා, මල්ඵල ගැන්වෙන අවස්ථා මේ ලග්න හිමියන්ට මේ තුළින් උදාවනු ඇත. මීට පරිබාහිරව මිථුන, සිංහ, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්න හිමියන්ට ද කුජගේ ගමන හිතකර වේ. වෘෂභයට හා කන්‍යාවට මධ්‍යපල උදාකරන කුජගේ මේෂ රාශි ගමන ජූලි 12 වැනි දා දක්වා පවතිනු ඇත.

කුම්භ ලග්න හිමි ලංකා කේන්දරයට අනුව කුජ 10 වැන්න හෙවත් රාජ්‍ය භාවයේ අධිපතියා වෙයි. අනෙක් පසින් තුන්වැන්න හෙවත් වික්‍රම භාවයේ අධිපතියාය. මේ කුජ වික්‍රමස්ථානයට පැමිණීම එක්තරා අන්දමක යහපතක් සලසන්නක් බව පෙනේ. රටට රජයට යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නකි. කුජ 10 වැන්නාධිපති හෙවත් රාජ්‍ය භාවයේ අධිපති වශයෙන් බලවත් වීම රජයේ බලය තවදුරටත් වැඩි කරන්නක් වන අතර සාමාන්‍යයෙන් කේන්දරයක තුන්වැන්නේ කුජ වැනි නෛසර්ගික පාපියෙක් ගමන් කිරීම සුබපල දායක බව පිළිගත් මතයයි. ‘ත්‍රිෂඩාය පාපා’ යනුවෙන් තුන, හය, එකොළහ ආදී ස්ථානවල මේ ග්‍රහයෝ ගමන් කිරීම යහපත් බව දක්වා ඇත. අනෙකුත් ග්‍රහ මාරුවලට සාපේක්ෂව ඒ පිළිබඳව ද විමසිලිමත් වීමේ දී මේ වකවානුව වන විට බුධ, සිකුරු ද හතර වැන්න හෙවත් සුඛස්ථානයේ ගමන් කිරීම නිසා රටට, රටවැසියාට යහපතක් සලසනු ඇත. සුබෝ සුඛේ සුඛී යනුවෙන්, සුබයෝ සුඛ හෙවත් හතරවැන්නේ ගමන් කරන විට සුඛී එනම් යහපතක්ම ඇති වේ යනුවෙන් සඳහන් වීම මත මේ කුජගේ ගමන් කිරීම අලළා සිකුරු බුධගේ ගමන ද ශක්තියක් හා ආශීර්වාදයක් වේ. ජනතාවට පැවති ජීවන බර, පීඩනය බොහෝ දුරට සහනශීලි තත්ත්වයට පත්වීමට මෙය හේතුවකි.

 

මේෂ ලග්නය

මේෂ ලග්න හිමියන්ගේ අභිමතාර්ථ සාධනය වන කාලයකි. තමාගේ දිවියේ ජයග්‍රහණ, බලාපොරොත්තු මල්ඵල ගැන්වේ. රැකියා ආදායම් මාර්ග, ජීවන කටයුතු දියුණුවට කරුණු සැලසේ.

 

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමියන්ට අධික ලෙස ධනය වියදම් වීමට කරුණු යෙදෙන කාලයකි. මුදල් නාස්තියට හේතුවිය හැකිය. එනිසා ආදායම්, මුදල් ගනුදෙනු මෙන්ම ජීවිතයේ එදිනෙදා කටයුතු මනා කළමනාකාරිත්වයකින් සිදුකළ යුතු ය.

 

මිථුන ලග්නය

මිථුන ලග්න හිමියන්ගේ ධනෝපායන රැකියා ආදායම් මාර්ග සාර්ථකත්වයට පත්වනු ඇත. ආදායම් පක්ෂය යහපත් වේ. ජීවන ගමන්මඟ ද දියුණුවට පත්වීමට කරුණු යෙදේ.

 

කටක ලග්නය

කටක ලග්න හිමියන්ට මේ කාලසීමාව ඉතාම යහපත් වනු ඇත. කුජගෙන් යෙදෙන රුචක යෝගයේ ප්‍රතිඵල බෙහෙවින්ම ලැබෙනු ඇත. එදිනෙදා ජීවන කටයුතුවලට ඉමහත් සුබපල අත්වෙනු ඇත.

 

සිංහ ලග්නය

සිංහ ලග්න හිමියන්ගේ මෙතෙක් අටවැන්නේ ගමන් කළ කුජ යෝග කාරක වී නව වැන්නට පැමිණීමෙන් තමාගේ අභිමතයන් සපුරාගත හැකි වනු ඇත. එදිනෙදා දිවියේ කටයුතු ක්‍රමවත්ව පිළිවෙළකට ගලා යනු ඇත.

 

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියන්ට කුජගේ ග්‍රහ මාරුව මධ්‍යස්ථ පලදායකය. සමහරවිට හිටි හැටියේ ධන ලාභයන්ට ද අවකාශ පවතින බව පෙනේ.

 

තුලා ලග්නය

තුලා ලග්න හිමි ඔබට ද රුචක යෝගයේ ප්‍රතිඵල බෙහෙවින් ලැබේ. ආදායම් මාර්ග දියුණුවීම, වෘත්තීයමය ජයග්‍රහණ සහිතයි. තමාගේ අපේක්ෂා බලාපොරොත්තු මුදුන් පත් වේ.

 

වෘශ්චික ලග්නය

ලග්නාධිපති උපචය භාවයක ගමන් කරන නිසා ඔබගේ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධවීම් සහිතය. ලග්නාධිපති උපචය භාවගතව ගමන් කිරීම නිසා සතුරු බල මර්දනය වේ. ජයග්‍රහණයන් අත්පත් වේ.

ධනු ලග්නය

ධනු ලග්න හිමි ඔබට මේ වකවානුව සුබපල උදාකරනු ඇත. අර්ධ යෝග කාරකයකු වන කුජ ලග්නාධිපතිගේ මිත්‍රයා වී ත්‍රිකෝණගත වීම යහපතට මඟ සලසන්නේ ය. රැකී රක්ෂා ආදායම් මාර්ග යහපත් වනු ඇත.

 

මකර ලග්නය

කුජ රුචක යෝගය සහිතව 4 වැන්නේ කේන්ද්‍රගත වීම ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීමට හා ඒ සම්බන්ධ කටයුතු සාර්ථක වීමට මඟ සලසයි. මකර ලග්න හිමියන්ට සුබවාදී කාල සීමාවක් වන බව පැවසිය හැකිය.

 

කුම්භ ලග්නය

වික්‍රමස්ථානාධිපති කුජ එහිම බලවත්වීම නිසා තම අරමුණු, අපේක්ෂා, ජයග්‍රහණ ලබා ගැනීමට කුම්භ ලග්න හිමියන්ට අවස්ථාව සැලසෙනු ඇත. ධනෝපායන මාර්ග විවෘත වේ.

 

මීන ලග්නය

මීනයට ප්‍රබල යෝග කාරකයා කුජය. ඔහු නව වැන්නාධිපති බැවින් කුජ දෙවැන්නේ බලවත්වීමෙන් තමාට යහපත සලසන කරුණූු ගණනාවක් උදාවනු ඇත. මීන ලග්න හිමියන්ට සුබ වකවානුවක් බව පැවසිය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.