සත හට සෙත දෙන සෙත් කවිය

ජුනි 7, 2024

සෙත් කවිය ඡ්‍යොතිෂය හා භාෂාව පදනම් කරගනිමින් බිහි වූ ඉතා අසීමිත බලයකින් යුතු වූ ශාන්තිකර්මයක් ලෙස හැඳින්විය හැකිය. භාෂාවේ තිබෙන සියලුම අකුරු කවර හෝ ග්‍රහයෙකුට අයිතිය. සාමාන්‍යයෙන් ලිත්වල ඒ ඒ නැකැත්වලට අයත් අකුරු දක්වා ඇති අතර ග්‍රහයන් නියෝජනය කරන අකුරු මොනවාදැයි සඳහන්ව නැත. එය පැහැදිලිව විවරණය කොට නැත.

 

සෙත් කවිය හා බැඳුණු අක්ෂර

 

විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ ඡ්‍යොතිෂ ග්‍රන්ථ කතුවරයකු වන ඉන්දියාවේ බ්‍රාහ්මණවංශික පැවිදි ස්වාමීන් වහන්සේ නමක් වූ අනවමදර්ශී හිමියන් දෛවඥකාමධේනුව නමැති ග්‍රන්ථයෙහි රවි ආදී සියලු ග්‍රහයන්ට හිමි අක්ෂර දක්වා ඇත.

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සූර්යයා වෙයි. එම සූර්යයා නිසා සියලු ග්‍රහයෝ පවතිනු ඇත. තෛ‍්‍රලෝක දීපෝ රවිඞ යනුවෙන් සූර්යයා හඳුන්වයි. අනෙක් පසින් ජගදාත්මය ලෙස ද හඳුන්වයි. ග්‍රහයෝ තම තම කක්ෂ වටා ගමන් කරමින් සමබර ලෙස කක්ෂානුකූලව ගෝචරයෙහි යෙදෙනුයේ සූර්යය ශක්තිය පදනම් කරගෙනය.

ලෝකයේ පැවැතීම හෙවත් ග්‍රහලෝකයන්ගේ පැවැත්ම, ඇතිවීම, විනාශය සූර්යයා නිසාම ඇතිවේ. වරහමිහිරයේ ලෝකානාම් ප්‍රලයොද් භවස්ථීති විභූග්ඞ යනුවෙන් සූර්යයාව හඳුන්වනුයේ ලෝකයන්ගේ ප්‍රලය හෙවත් විනාශය, භව හෙවත් ඇතිවීම සජිවි හෙවත් පැවැත්ම සම්බන්ධයෙන් සූර්යයා පොහොසත් බවයි. මේ ආකාරයට භාෂාවේ පවා සියලු අකුරුවල පැවැත්ම ඇතිවනුයේ සූර්යයා මතය. සූර්යයාගේ අක්ෂර නම් අ, ඉ, උ, එ, ඕ යන අක්ෂරයි. මේවා ස්වර වේ. නැතහොත් ප්‍රාණ අක්ෂර වේ. ග්‍රහලෝකයන්හි සප්‍රාණිකත්වය සූර්යයා ඇති කරන්නා සේම භාෂාවේ සප්‍රාණිකත්වය ද සූර්යයාම ඇති කරයි. ඕනෑම ව්‍යංජන අකුරකට ස්වරයක් සම්බන්ධ කිරීමෙන් එය උච්ඡාරණය කළ හැකිය. එනිසා සියලු අකුරු සූර්යයාගේ සම්බන්ධයෙන් සප්‍රාණික වනු ඇත. මෙසේ සැලකීමේ දී අනවමදර්ශී හිමිපාණන්,

කචට තපාදී වර්ගක්ඞ

කුජ ගුරු බුධ ජීව භානු පුත්‍රනාම යනුවෙන් දක්වා ඇත.

ග්‍රහයන්ට හිමි අක්ෂර

මේ අනුව ‘ක’ වර්ගයට අයත් සියලු අකුරු කුජට අයත්ය. ච වර්ගයට අයිති අකුරු භෘගුª හෙවත් සිකුරුට අයත්ය. ත වර්ගය ගුරුට හෙවත් ජීව ග්‍රහයාට අයත්ය. ට වර්ගය බුධට අයත් වේ. ‘ප’ වර්ගය සෙනසුරුට අයත්ය. මෙහි ශ්ලෝකයේ භානු පුත්‍ර ලෙස දක්වා ඇත්තේ ශනිය. අනවමදර්ශී හිමියන් ‘ශශීනෝ යකාරාදී වර්ගඞ’ යනුවෙන් සඳහන් කරනුයේ ය ර ල ව ශ ස ෂ හ ල යන අක්ෂර චන්ද්‍රයාට අයත් බවය.

මේ ආකාරයට සියලු ස්වර අර්කක් හෙවත් රවිට හිමියැයි සඳහන් වේ. ලංකාවේ පළ වූ මහා ඡ්‍යොතිෂ ග්‍රන්ථය දෛවඥ කාම ධේනුවයි. එහි සියලු දෑ විස්තර කොට ඇත. මේ හැර තව තවත් නොයෙක් නොයෙක් ග්‍රන්ථවල සෙත් කවි රචනය සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත. ‘වෘත්ත තරංගනී’ ආදී ග්‍රන්ථයන්හි සෙත් කවි රචනයට අදාළ සුවිශේෂ රහස් විස්තර කොට ඇත. අද ලංකාවේ සෙත් කවි රචනයෙහි යෙදෙන්නේ මේ කිසිවක් නොදැන කිසියම් අකුරු කීපයක් රිද්මයකට ගළපා කවියක් තනනු විනා සෙත් කවියක් සෑදීමෙහි ඉතාමත් දුර්වල වී ඇත. සෙත්කවි සෑදීමේ දී ‘ලඝු තන්ත්‍ර බන්ධනය’ නැමැති ඉතා කුඩා රහස්‍ය ග්‍රන්ථයක් හා ඊට අදාළ විවරණාත්මක අදහස් 1970 වසරේදී බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමියන්ගෙන් අප හට ලැබුණි. එය සෙත් කවි රචනය සම්බන්ධයෙන් බොහෝ කරුණුවලින් පිරී ඇත.

සෙත් කවියේ බලය

සෙත් කවි සම්බන්ධයෙන් සඳහන් කිරීමේ දී “යහපතට සවියෙකි. සතුරන්ට නම් අවියෙකි” යනුවෙන් එහි දැක්වේ. මේ ආකාරයට තමාගේ දියුණුව, අභිවෘද්ධිය, යහපත, අපේක්ෂා ඉටුවීමේ ජයග්‍රහණ ආදී සියල්ල සඳහා සෙත්කවිය අවියක් හෙවත් ශාන්තියක් වන්නා සේම එය සතුරු බල මර්දනයට ද ආධාරයක් වෙයි. මෙයින් අදහස් කරනුයේ වස් යන්න නොවේ.

නිවැරැදි සෙත් කවි සාදනය

සෙත් කවි සාදනයේ දී අදාළ පුද්ගලයාගේ නමෙහි මුලකුරට මෙන්ම ඔහුගේ නැකතට ගැළපෙන ලෙස සුදුසු ගණයකින් කවිය ආරම්භ කළ යුතු වේ. ම ගණ, න ගණ, බ ගණ, ය ගණ, එම ගණයි, ම ගණ යනු ගුරුම තුනකින් යුක්ත ගණය වේ. එය භූමි ගණය ලෙසද නම් කරයි. ලඝු තුනකින් යුතු ගණය දේව ගණය වේ. මීළඟට මුලට ගුරු හා අගට ලඝු වූ අක්ෂරවලින් යුක්ත ගණය චන්ද්‍ර ගණය වේ. මුලට ලඝු හා අගට ගුරු වූ ගණය ජල ගණය වේ. යම් යම් ගණ වරද්දා දක්වා ඇති ගණහිමි ග්‍රහයන් පිළිබඳව නිවැරැදි අවබෝධය ලබා තිබිය යුතුය. තවදුරටත් ප්‍රසිද්ධ ලිත්වල පවා ‘ම’ ගණය ‘න’ ගණය ‘බ’ ගණය ‘ය’ ගණය ආදී ගණ හිමි නැකැත් හරිම නිවැරදිම ලෙසට ප්‍රයෝජනයට ගන්නේ නම් ‘ම’ ගණය සුවන නැකතට ද ‘න’ ගණය දෙට නැකතට ද ‘බ’ ගණය මුවසිරස නැකතට ද ‘ය’ ගණය සියාවස නැකතට ද අයත් ලෙස නිවැරැදිව තේරුම්ගත යුතු ය. ලංකාවේ ප්‍රසිද්ධ ලිත් 2ක මෙය වරද්දා ඇත. තවත් ලිතක එය හරියටම දක්වා ඇත.

මේ ආකාරයට අකුරු ගණ ආදිය සුදුසු ලෙස යොදා ගනිමින් අභිධාන හිමියාට හෙවත් අවශ්‍ය පුද්ගලයාට ගැළපෙන ආකාරයෙන් ප්‍රබන්ධය කරවා සුදුසු ආගමික ස්ථානයක මේ සෙත් කවිය භක්ති පූර්වකව ගායනා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය සුළුපටු නොවේ. දශක හයක් පුරා අත්දැකීමෙන් සෙත් කවිය යනු කෙතරම් ප්‍රබල ශාන්ති කර්මයක් ද යන්න අප හට වැටහී ඇත. සෙත් කවි රචකයා ද ගුණ නුවණින් යුතු යහපත් පැවැත්මක් ඇති සමබර ජීවිතයක් ගත කරන අයෙක් විය යුතු ය. ඔහු මහා පරිමාණයේ ඉහළම ධනවතෙක් නොවුවත් ඔහු සෙත්කවි ප්‍රබන්ධයෙහි ලා සුදුසුකම් ලබා ඇති සමෘද්ධිමත් ජීවිතයක් ගත කරන්නෙකු විය යුතු බව අමුතුවෙන් කිවයුතු නොවේ. බොහෝ සෙත් කවි රචකයෝ භාෂාව ගැන අනවබෝධයෙන් යුතුව කවි සාදා මිනිසුන්ව රවටන බව එක එල්ලේම කීම නුසුදුසු වුවත් ජනතා සුබසිද්ධිය උදෙස ඒ පිළිබඳ දැනුම්වත් කිරීමද වගකීමක් ලෙස සිතන්නෙමි. එනිසා සෙත් කවි රචනය ආවාට ගියාට නොකළ යුතු වේ. එහි සුබපල අත් විඳින්නට නම් ඉහත කරුණු පරිදි නිවැරැදි සෙත් කවි රචනයක් සිදුවිය යුතු වේ.

උපදෙස්

ආචාර්ය ජී.ඇම්. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.