අමරණීය මිනිසුන් බිහි කරන ධර්ම කර්මාධිපති යෝගය

ජනවාරි 10, 2025

කේන්දරයක පවතින යෝග අතර ධර්ම කර්මාධිපති යෝගය අතිශයින්ම ඉහළ මට්ටමේ යෝගයකි. ධර්මස්ථානය යනු 9 වැන්නයි. කර්මස්ථානය යනු 10 වැන්නයි. මේ භාව දෙක අධිපතියෝ එකට එක් වී සිටියි නම් එය ධර්ම කර්මාධිපති යෝගය වේ.

ධර්ම කර්මාධිපති යෝගය රාජයෝගයක් බව පැරැණි පොතපතෙහි සඳහන් වෙයි.

මෙය භාග්‍යරාජාධිපති යෝගය ලෙසද හැඳීන්වේ.

ධර්ම කර්මාධිපති යෝගය ත්‍රිත්ව ආකාරයකින් කේන්ද්‍රයක පැන නැගිය හැකි බව ඡ්‍යොතිෂයේ සඳහන් වෙයි.

1. නම වැන්න අධිපතියා දහවැන්න අධිපතියාත් යෝගව සිටීම.

2. නම වැන්න අධිපතියා සහ දහවැන්න අධිපති එකිනෙකා පරිවර්තනය වී සිටීම.

3. නම වැන්න අධිපති හා දහවැන්න අධිපති අන්‍යෝන්‍ය සප්තම දෘෂ්ටියෙන් සිටීම යනාදී වශයෙනි.

උදාහරණයක් ලෙස මේෂ ලග්නය ගනිමු.

මේෂයට නමවැන්න වන්නේ ධනුය. එහි අධිපති ගුරුය. දස වැන්න වන්නේ මකරය. එහි අධිපති ශනිය. මේ දෙදෙනා සංයෝග වීමෙන් මේෂ ලග්න හිමියන්ට ධර්ම කර්මාධිපති යෝගය යෙදෙයි.

එලෙස අනෙකුත් ලග්නවලට නමය හා දහය අධිපතීන් එක්වීමෙන් හෝ මාරු වීමෙන් යනාදී ලෙස ඉහත දැක්වූ ආකාර තුනට මේ යෝගය හටගන්නා බව ඡ්‍යොතිෂ මතයයි.

මේ යෝගය ලග්නය, පහ, නමය, දහය ස්ථානවල යෙදීම තුළින් ජන්මියාට වාසනාව රැකීරක්ෂා දියුණුව ගෙන දෙයි. දෙක එකොළහ යෙදීමෙන් සැප සම්පත් හිමි වේ.

හත්වැන්නේ යෙදීමෙන් යුග දිවිය හවුල් ව්‍යාපාර කටයුතු දියුණුවට පත්වෙයි.

රජයේ ගරු සැලකිලි ලැබීම සමඟින් කීර්තිය හිමිකර ගැනීම, ඉහළ මට්ටමේ තනතුරු තානාන්තර ලැබීම රාජ්‍ය වරප්‍රසාද හිමි වීම දේශපාලන ක්ෂේත්‍රයේ බලවතුන් වීම, මැති ඇමැති මන්ත්‍රී ධූර හිමිවීම වැනි ඉහළ තත්ත්වයට පත් කරන යෙදුමක් වේ.

දේශපාලනයේ යුක්ත නොවූවත් තමා කරනු ලබන කිසියම් රැකියාවක ඉහළම තත්ත්වයේ ගරු ගාම්භීරත්වයක් ලැබීමට මෙය හේතුවක් වේ. මේ නිසාම සමාජය ඔහුට ගරු කරයි. දිසාපති, මහ දිසාපති, අමාත්‍යාංශ ලේකම් හා සමාන වන්නාවූ ඉහළ මට්ටමේ තනතුරු යම් යම් අංශයන්හි අධ්‍යක්ෂ ජනරාල්, කොමසාරිස් ජනරාල් වැනි තනතුරු ඉහළ පෙළේ ආයතනවල සාමාන්‍යධිකාරී, මහ කළමනාකරු ආදී තනතුරු ලැබීමට මේ යෝගය හේතු වේ. මෙවැනි යෝගයක් යෙදී පාප සංයෝගවලින් වියුක්ත නම් ඔවුහු තම රැකියාව ඉතාමත් ගෞරවණීය ආකාරයෙන් කරනු ඇත.

සමහරුන්ට යෙදෙන මේ යෝගය පාපීන්ගේ දෘෂ්ටියෙන් පීඩිත වී පෙළෙන්නේ නම් ඔවුන් ඉහළට පත්වූවත් පසුව අප්‍රසාදයට පත්වීම, චෝදනාවන්ට ලක්වීම, සිරගතවීම වැනි අමිහිරි අත්දැකීම් ලබන්නට ද හේතු කාරක වනු ඇත. සමහර දේශපාලනඥයන් ඉහළ තැනකට පත් වී අහසින් බිමට වැටුණාක් මෙන් සිරමැදිරිවල ජීවිතය ගත කරන තත්ත්වයට පත්ව ඇත්තේ ධර්මකර්මාධිපති යෝගය අශුද්ධ පීඩාකාරී තත්ත්වයට පත්වීම නිසා ය. මේ ධර්ම කර්මාධිපති යෝගය 1, 4, 7, 10, 5, 9, 2, 11 ආදී ස්ථානවල යෙදී තිබෙන්නේ නම් ප්‍රතිඵල වඩ වඩාත් උත්කෘෂ්ට වනු ඇත. මොවුහු මරණින් පසුවද සිය නම පවතින අමරණීයයන් යැයි නම් කළාට වරදක් නැත.

ලංකාවෙහි ශ්‍රේෂ්ඨ දේශපාලනඥයකු වශයෙන් සිටි ගාමිණි අතුකෝරල මහතාගේ කේන්දරයේ මේ යෝගය යෙදී තිබුණි.

මෙවැනි යෝගයන්ගෙන් යුක්ත අය විශේෂයෙන්ම විෂ්ණු ලක්ෂ්මී දෙවි දේවතාවුන් ඇදහීම බෙහෙවින් ප්‍රතිඵල දායකත්වයට හේතු වේ. විෂ්ණු පූජාව ලක්ෂ්මී පූජා වැනි දෑ පැවැත්වීමෙන් ඉමහත් ප්‍රතිඵල ලබයි. විශේෂයෙන්ම 9 යනු ලක්ෂ්මී ස්ථානයකි’ 10 යනු විෂ්ණු ස්ථානයයි. මේ නිසා මේ යෝගය විෂ්ණු ලක්ෂ්මී යෝගය වශයෙන් ද හඳුන්වනු ඇත.

ධර්ම කර්මාධිපති රාජයෝගය යම් ජන්මයකුගේ කේන්දරයේ පිහිටා තිබුණද ඔවුනට බලාපොරොත්තු වූ සුබඵල නොලැබී යාමටද හේතුවන කාරණා දක්නට ලැබේ. එනම් රාජයෝග කේන්දරයේ පිහිටා තිබුණ ද ඒවා ක්‍රියාත්මක වන දශා, අදාළ කාල සීමාවේදී නොලැබී යාම, එලෙසම රාජයෝගයක් පලදීමට සුදුසු කාල සීමාව ජන්මියාට ලබා නොතිබීම, ඒරාෂ්ටක ලබා තිබීම, මහ දශා සුබ නොවීම, ගෝචර පල වලට අසුබ පැතිකඩ යනාදිය ඇතිවීම පෙන්වා දිය හැකිය.

තවද අදාළ ග්‍රහයින් දෙදෙනාගේ බල දුබලතා අනුවද ලැබෙන පලවල සුබ අසුබ තීරණය වේ.

 

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.