වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
බුදුහිමියන්ගේ පළමු ලංකාගමනය සිදු වූ දුරුතු පෝයදා කැලණි විහාරය වඳීන්නේ ඇයි?
සම්මා සම්බුද්ධත්වයෙන් නවවැනි මස උරුවෙල් දනව්වේ වැඩ සිටිමින් උරුවෙල් කසුප්, නදී කසුප් හා ගයා කසුප් යන තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් ශ්‍රාවකයන් හට දහම් දෙසා ආර්ය මාර්ගයට පිළිපන්නවා පිරිවර සමඟ මගධය වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට දහම් දෙසා රජු සහ ඒ නුවර වැසියන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් කළේ ද දුරුතු පෝය දිනකය.
බිම්බිසාර රජතුමා විසින් රජගහනුවර ඉදි කරන ලද වේළුවනාරාමය බුදුන් වහන්සේ ප්‍රමුඛ මහසඟරුවනට එදා පූජා කරන ලද්දේ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව ලෙසිනි. එතැන් සිට ආරාම පිළිගැනීම භික්ෂූන් වහන්සේට කැප බවට බුදුන් වහන්සේ විසින් අනුමත කරන ලද බව ද සඳහන් වේ. ඉන්පසු බුදුහිමියන් එතැනින් අතුරුදන් වී වදාළ සේක. ඒ හෙළ දිව බින්තැන්නේ මාවැලි ගඟ අසබඩ මිනිපේ දනව්වට වැඩීමටය. ඒ දුරුතු පෝය දා එහි අහස් කුස බැබළෙන සඳටත් වඩා ආලෝකයක් දෙමින් සවනක් රැස් විහිදුවමින් බුදු හිමියන් අහසෙහි වැඩ වදාළේ මහානාග වනය නමින් හැඳීන්වූ උයනෙහි යක්ෂ හා නාග කුල පිරිසගේ ප්‍රවේණි උරුමය ඇති බිමේය.
ඒ වන විට නාග හා යක්ෂ ගෝත්‍රිකයන් සිටියේ සටනක නිරතවය. මේ දුටු කුල දෙකෙහිම සෙබළුන් සිය සටන පසෙක තබා තම භූමියට වැඩි අමුත්තාට එරෙහිව කඩු දුනු හී අමෝරාගෙන සටන් වදින්නට සූදානම් විය. දහම් දෙසීමට සූදානම් වුවද එයට විරුද්ධ වූ මේ සෙබළුන් දමනය කිරීම සඳහා පෙලහර පාමින් බුදුහිමියන් මහ වැසි, අකුණු සහ මහ සුළං මවාලූ බව පැවසේ. බියට පත් පිරිස සද්ධර්මය ශ්‍රවණය කරන්නට සැරසුණහ. දෙපිරිසගේ බිය පහ කරමින් දහම් දෙසුමෙන් පසු යක්ෂ ගෝත්‍රිකයන් ගිරි රටට පලා ගිය බව වංශකතාවල සඳහන් වේ. එසේ කඳුකරයට ගිය යක්ෂයන්ගෙන් සැදි ගම යක්කුරේගම ලෙස ද සැලකේ. ඉන් පසු පාලනය අනුව රුහුණු, මායා, පිහිටි යන තුන් හෙළය බිහි වූ බවද ඉතිහාසයේ සඳහන් වැදගත් කරුණකි.
එදා එහි පැමිණ සිටි සුමන සමන් නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදු හිමියන් කෙස් මිටක් දී ඇති අතර සුමන සමන් දෙවියන් විසින් බුදුරජුන් වැඩ සිටි ස්ථානයෙහිම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10ක් උස ස්ථූපයක් කර වූ අතර එය නමින් මියුගුණ ස්ථූපයයි. එසේම දෙවියකු විසින් ඉදි කරන ලද ප්‍රථම දාගැබ වන්නේ ද මේ මහියංගණ දාගැබයි.
තවද මිණි පළඟක් අරභයා චූලෝදර – මහෝදර සහෝදරයන් අතර ඇතිවන්නට ගිය සටන සන්සිඳුවීම සඳහා බුද්ධත්වයෙන් 5 වැනි වර්ෂයේ බක් මස පුර පසළොස්වක පොහෝ දා අමාමෑණියන්වහන්සේ නාගදීපයට වැඩම කළ බවත්, කැලණියේ විසූ මණිඅක්ඛික නා රජු ද එම අවස්ථාවේ බුදුන් පිදූවන් අතර සිටි බවත් සඳහන්ව තිබේ. එහිදී නා රජු බුදුන් වහන්සේගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධත්වයෙන් 08 වැනි වර්ෂයේ වෙසක් මස පුර පසළොස්වක පොහෝ දා රහතන් වහන්සේ සමඟින් බුදුරජාණන් වහන්සේ කැලණි පුදබිමට වැඩම කළ බව ද මහාවංශයේ සඳහන් වේ. ඒ අවස්ථාවේ බුදු හිමියන් වැඩ සිටි මැණික් පුටුව නිදන් කොට මනිඅක්ඛික නාරජුන් විසින් සැට රියන් උස දාගැබක් ඉදිකරවූ බව සැළලිහිණි සංදේශයේ පවා මෙසේ සඳහන් වෙයි.
අහසින් ඇවිත් මණිඅක් නයිඳු යැදුමට
රහතන් මැදෙහි මුනි නිද මිණි පළඟ වට
දහමුත් දෙසූ තාන කළ සැට රියන් කොට
මහ දාගැබ් හිමිත් වැඳු සොඳය තැන් සිට
ඊට අමතරව කැලණිය පිළිබඳ ඇති ඉතිහාස කතා අතර ප්‍රධාන තැනක් ගන්නේ කැලණිතිස්ස රජු සමයේදී රජ බිසවගේ රහසිගත ප්‍රේම සම්බන්ධතාවක් හෙළිදරව් වීමෙන් රාජ උදහසට ලක් වූ නිර්දෝෂී රහතන් වහන්සේ නමක් උණු තෙල් කටාරමේ දවා අපවත් කරවීමේ ශාපයට මහ මුහුද ගොඩගැලූ බවත්, එකී විපතින් දේශය මුදා ගැනීම පිණිස තම රූමත් ‘දේවී’ නම් කුමාරිකාව මුහුදට බිලි දීමත්, පසුව මුහුදේ පාවී ගිය ඒ කුමාරිය කිරින්ද වෙරළට සේන්දු වූ බවත් අනතුරුව ඇය මාගම්පුර එවකට රජකළ කාවන්තිස්ස රජු විසින් සරණපාවාගත් පසු විහාර මහා දේවී නමින් ප්‍රකට වූ බවත්ය.
එවන් මාහැඟි ඉතිහාසයකට හිමිකම් කියන කැලණි පුරවරය මායා රටේ අගනුවර ලෙසින් ද පතළය. විවිධ රාජ්‍ය පාලකයන්ගේ පාලන ප්‍රදේශයක් මෙන්ම ආගමික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද ගෞරවාදරයට පාත්‍ර වී ඇත. මීට අමතරව මණිඅක්ඛික නා රජුගේ වාසභූමිය වීමත්, රාම රාවණ යුද්ධයට සම්බන්ධ වීමත් ඒ යුද්ධය අනුව රාවණ සොයුරු විභීෂණගේ සිංසාසනාරූඪ වීම හා අනතුරුව විභීෂණ දෙවිඳුගේ බලසම්පන්න දේවභවන පිහිටීම ද කැලණිපුරවරය පිළිබඳව යටගියාවේ සඳහන් වෙයි.
එහෙත් මෙරට ආක්‍රමණය කළ පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් විනාශ කළ මේ බුදු සිරිපා පහස ලද බුද්ධ භූමිය සෑම විටම කණිට්ඨ තිස්ස, උත්තිය, තෙවැනි විජයබාහු, යඨාලතිස්ස, වෝහාරික තිස්ස, දෙවැනි පරාක්‍රමබාහු, 6 වැනි බුවනෙකබාහු සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජදරුවන් විසින් යළි යළිත් ප්‍රතිසංස්කරණය කෙරුණු බව ද වංශ කතාවල සඳහන්ය.
වර්ෂ 1780 දී පමණ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කැලණි පුදබිම නඟාසිටුවීමේ ආගමික හා ශාසනික මෙහෙවර ඇරඹිණි.
කෙසේ වෙතත් මහියංගනය බලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම සමරනු වස් දුරුතු මහා පෙරහැර කැලණි පුරවරයේ ආරම්භ කෙරුණේ මීට දශක නවයකට පෙර එනම් වරෂ 1927 දීය. එහෙත් අනුරාධපුර යුගයේ මුල් කාලයේ පටන් කැලණිය වාණිජ නගරයක් ව පැවති බවට සාධක පවතී. කැලණි විභිෂණ දේවාලය අසල සවි කර ඇති 10 වැනි සියවසට අයත් පුවරු ලිපියෙහි සෙනෙවිරත්දීපය යනුවන් එම වෙළෙඳපොළ හඳුන්වා ඇත. එම පුවරු ලිපියේ බුදුන් වහන්සේගේ කැලණි ගමනත්, සිවුරු දාගබ පිළිබඳත් සඳහන් වේ.
එමෙන්ම 12 වැනි සියවසේ පොළොන්නරු යුගයේ කීර්ති නිශ්ශංකමල්ල රජු වැඳ පුදා ගත් විහාර අතර කැලණිය ද වන බව රජ විසින් වෙනත් ස්ථානවල පිහිට වූ සෙල්ලිපිවල ද මහාවංශයේ ද සඳහන් වෙයි.
කැලණිය රජමහා විහාරය පිහිටි කැලණි ගං තෙරේ එගොඩ ඉවුරේ පිහිටා ඇත්තේ එගොඩ කැලණියෙහිය. අතීතයේ මේ විහාර දෙක ම එක ම විහාරයක් ලෙස පැවතී ඇත. එගොඩ කැලණිය විහාරයේ ප්‍රාකාරය අසල පුවරු ලිපියක් දැකගත හැකි අතර එය පිහිටුවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1333 පමණ කාලයේය. එහි සඳහන් වන්නේ, ජරාවාසව පැවති මේ විහාරයේ දාගැබ, පිළිම ගෙය සහ බෝධි ප්‍රාකාරය අලගක්කෝණාර නම් අමාත්‍යවරයා විල්ගම්මුල නම් හිමියන්ගේ අනුශාසනා පරිදි පිළිසකර කරවූ බවත් එයට කිත්සිරිමෙවන් විහාරය යන නාමය පුරාණයේ පටන් භාවිත කළ බවත්ය.
එම විල්ගම්මුල නාහිමිගේ සෙල්ලිපියේ පරිදි පින්කමට බාධා පමුණුවන්නන් අපායගාමී වන බවද මේ පූජාව ඉර හඳ පවතින තුරු සාංඝික දේපළක් ලෙස පවතින අතර ඒවා පෞද්ගලික පරිහරණයට යොදා ගන්නන් බල්ලන් හා කපුටන් වන බවත් සංකේතවත් කර ඇති බව ද පැවසේ. එවක සංඝරාජ පදවිය හෙබ වූ ශ්‍රීමත් ගඟතලා කරඹවලානේ ශ්‍රීවන්ත විල්ගම්මුල මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ බෝධිවංශය, සඳකිඳුරුදා කව ඇතුළු ග්‍රන්ථ කිහියපක් ම ලියාඇති ස්ථවිරනමකි. එමෙන්ම කිත්සිරිමෙවන් විහාරයේ පිළිමගේ අසල උළුවාසල් තුන, දාගබ, බෝධි කොටු දෙක, පවුරු පදනම්, පසු දොරටුවේ තණගෙවල් පහ ඇතුළු කොටස් පිළිසකර කරවන ලද අතර මහා බෝධිය වටා කොත් දහතුනක් පළඳවන ලද බෝධි ප්‍රාකාරය පිළිසකර කරවා එහි මතු පැවැත්ම පිණිස රජ අණින් අද කොළොන්නාව ලෙස සැලකිය හැකි පාණබුන්නෙහි පොළොන්නරුවෙන් කුඹුරු සහ ගෙවතු, වන ලැහැබ, තුරු ලතා සහිත ව දෙයාල පස් අමුණක් ඉඩකඩම් කිත්සිරිමෙවන් වෙහෙරට පූජා කර, සේවකයන් තිස් දෙනකු විහාරස්ථානයේ කටයුතු සඳහා ද පත් කොට ඇත.
මෙවන් මහා ඉතිහාස කතා රැසක් ඇති කැලණි පුරවරය දුරුතු පෝයට බැතිමතුන්ගෙන් පිරෙන්නේ වසරේ පළමු පොහොය ලෙස මෙන්ම බුදුහිමියන්ගේ පළමු ලංකාගමනය සිහිකරනු වස් පැවැත්වෙන පෙරහර වෙනුවෙනි.
පාරම්පරික ජ්‍යොතිෂවේදී
ජ්‍යොතිෂ ප්‍රභාෂ්වර මොරටුවේ
තිස්ස මහානාම