අරුම පුදුම ගිවිසුම

අද්භූත ගනුදෙනුකරුවා - 4 කොටස
ජනවාරි 10, 2025

මෙතෙක් කතාව

බරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයෙකු වූ රූපට් ඔරේන්ජ් නමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා ලේඛකයෙකු විසින් ඔහුගේ ඉරණම පිළිබඳ කතාන්තරය සොයා ගනී. දැන් ගලා යන්නේ එම කතාවය. එම කතාවට අනුව කෲර ඥාතිවරියක නිසා පාරට වැටුණු තරුණයකු වූ රූපට් ඔරේන්ජ් හට දිනක් රාත්‍රිකාලයේ ඇවිදීමට යද්දී අද්භූත මහලු මිනිසකු හමුවෙයි. මහලු මිනිසා තරුණයා කැටුව අවන්හලකට ගොඩවෙයි.

“ ධනය ”

මේ වදන මහලු මිනිසාගේ මුවින් පිටවූයේ රූපට්ගේ නෙත් යුවළ වෙත තම තීක්ෂණ බැල්ම සෘජුව යොමු කරවමිනි.

රූපට් ඔරේන්ජ් සිය දෙවැනි ෂැම්පේන් වීදුරුවද අතැතිව වශීකෘත වූවෙකු සේ බලා සිටියදී මහලු ආගන්තුකයා සිය මාතෘකාව පිළිබඳ අරුත් දැක්වීමක යෙදෙන්නට වූයේය.

“මම කියන කතාවට බොහෝ පණ්ඩිතයන් වගේ ඔබ හිනාවෙන එකක් නැතැයි කියා මා හිතනවා. මොකද මා කියන්නට යන්නේ මේ ලෝකයේ ජීවත් වන්නට වැඩිපුරම අවශ්‍ය වන්නේ ධනය බව නිසා. ඇත්තම කියනවා නම් මේ කතාවට හිනාවෙන සමහර පණ්ඩිතයන් එහෙම කරන්නේ ඇත්තටම ධනයට ආශාවක් නැති නිසා නෙමෙයි. ඔවුන්ට ධනය නැති නිසයි, ධනය ඇති අයට සිනාසෙන්නේ. ඔබ දැන් හිතන්න, භාෂා ගණනාවක නිපුණත්වයක් ඇති බොහෝ විෂයයන් ගැන දන්නා ඉතාම උගත් පුද්ගලයකු මෙතනට ගොඩ වදිනවා කියා. ඒ වගේම මුළු රට පුරා ප්‍රසිද්ධියට පත් වූ කණ අත්සන පමණක් තබන්නට දන්නා කෝටිපතියකුත් පැමිණෙනවා කියා. මෙතන බෙල්ල කඩාගෙන වෙරි මතින් සිටින අය පවා මේසය අල්ලාගෙන හෝ නැඟිට ගෞරව දක්වන්නේ අර කියන කෝටිපතියාට මිස උගතාට නෙමෙයි. හොඳයි දැන් මේ උදාහරණයට සමාන ඒකෙ අනෙක් පැත්තේ කතාවක් ගැන සලකා බලමු. ඔබ කොතරම් හොඳ රස විඳීන්නකු වුණත්, ඉතාම සංවේදී හදවතක් ඇති බවට සුපතළ විශිෂ්ටතම චිත්‍රශිල්පියකුගේ චිත්‍රාගාරයට ගිය විට ඔහුගෙන් වැඩි සැලකිල්ලක් ලැබෙන්නේ ඒ සඳහා ලක්ෂ ගණනක මිලක් ගෙවන රස හීන කෝටිපතියකුට මිස, ඔබට නොවෙයි. එයට හේතුවක් තිබෙනවා. ඒ තමයි ඔහුටත් ජීවත් වීමට ධනය අවශ්‍ය වීම. ඔහුගේ චිත්‍ර ඔබේ ඉහළම රස වින්දනයට ගෞරවයක් වශයෙන් පරිත්‍යාග නොකර කෝටිපතියාට අලෙවි කරන්නේ ඒ නිසයි. ඒ නිසා මහත්මයා මෙන්න ඇත්ත! ජීවන අරගලය සඳහා වඩාත්ම අවශ්‍ය වන මුදල් පමණයි.” සිය කබායේ සාක්කුවකට තට්ටු කරමින් හෙතෙම පැවසීය.

“ඔබ කියන දේ මම ඉස්මුදුනින් පිළිගන්නවා. මොකද මුදල්වලින් කරන්නට බැරි දේවල් මේ ලෝකේ තියෙන්නේ බොහොම ටිකක් නිසා”

“ඔව්, ඔව්, බැරි දේවල් බොහොම ටිකයි. ඒත් හුඟාක් දේවල් ධනය නිසා ලබා ගන්නට පුළුවන්. අපි කවුරුත් හිස් මුදුනින් අදහන ආගම? ඒ විතරක් ද ජීවිතයේ යථාර්ථය ගවේෂණය කරනවා යයි කියන කලාව? කලාව තුළ පවා මහත්මයා, ප්‍රධාන තැනක් ගත්නේ මුදල් පමණයි. ආගමේදී පූජකවරයා ධනවතාගෙන් යැපෙන්නෙක් බවත්, ජීවත් වන්නේ ධනවතා නිසා බවත් අප අමතක නොකළ යුතුයි. මයිකල් ආන්ජලෝ තරම් දක්ෂ කලා ශිල්පියෙකු හෝ ඩාවින්චි තරම් දක්ෂ චිත්‍ර ශිල්පියෙකු මහමඟ ඇවිද යද්දී ධනපතියෙකු ගමන් ගත් අස් රියක රෝදයකින් මඩ විසිවී අපවිත්‍ර වුවහොත් වැරදිකාරයා වන්නේ කවුද? මා හිතන විදියට ඔහුට පොලීසියට ගොස් පැමිණිල්ලක් කිරීමටවත් ඉඩක් ලැබේ යයි සිතන්නට බැහැ. ධනපතියාගේ අශ්ව කරත්තය අසලටම ගොස් ඔහුට ආචාර කරන පොලිස් නිලධාරියා අර දුප්පත් මගියාව කනෙන් අල්ලා ඵළියට දමාවී. ඉතින් ඔය ආකාරයට .................”

“ඇති. ඇති. මම ඔය සේරම දන්නවා...! ”

ආගන්තුකයාට තව දුරටත් කතා කරන්නට ඉඩ නොතබා රූපට් කෑ ගැසුවේය.

“මහත්මයා ඔබ ඔය කියන දේවල් සහ ඉදිරිපත් කරන්නට උත්සාහ කරන බොහෝ

කාරණා සිය ගුණයකටත් අධිකව මා දන්නවා. මොකද පසුගිය වසර කීපය මුළුල්ලේ දුගියෙකු ලෙස මමම ඒ සියල්ල අත් විඳ ඇති නිසා”

මොහොතකට කතාව නැවැත්තූ රූපට් තරුණයා සිය ක්‍රෝධයෙන් දිලිසෙන දෙනෙත මොහොතක් අහස් කුස දෙසට යොමු කරගෙන සිටියේය.

“ඇත්තෙන්ම කියනවා නම්... සත්තකින්ම මහත්මයා... ”

රූපට් මහලු පුද්ගලයා වෙතට සිය මුහුණු සමීප කරවමින් පැවසීය.

“එකම එක අවුරුද්දක් ඉහළම පොහොසතකු හැටියට මට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා නම් .... ඔව්! මහත්මයා සත්තකින්ම මම මගේ ජීවිතයේ ඉතිරි කාලයම වුණත් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරන්න ලෑස්තියි.”

තරුණයාගේ කට හඬෙහි මහත් ස්ථිරසාර ස්වභාවයක් පමණක් නොව සමාජය කෙරෙහි උපන් දැඩි ක්‍රෝධයක්ද ගැබ්වී තිබුණි.

මොහොතක් තරුණයා දෙස බලා සිටි මහලු ආගන්තුකයා මේසයට ඉහළින් තම මුහුණ ඔහු දෙසට ළං කළේය.

“ නෑ... පුතා, ඵක අවුරුද්දක් නොවෙයි...”

හෙතෙම පහත් ස්වරයකින් පැවසීය. එහෙත් එම හඬෙහි තියුණු හා ස්ථිරසාර ස්වරයක් වූයේය.

“....... අමතක කරන්න එපා. අවුරුද්දක් නෙමෙයි දරුවෝ අවුරුදු පහක්ම ඔබට තියෙනවා... ”

මේ ප්‍රකාශයත් සමඟ මහලු මිනිසාගේ මුහුණ මළ මිනියක මෙන් සුදුමැළිව අද්භූත ස්වරූපයක් අත්පත් කර ගත් අතර ඒ පිළිබඳ තැති ගැන්මක් හෝ වෙනයම් විශේෂ හැඟීමක් ඇති කරගැනීමට තරම් සන්සුන් මානසික තත්ත්වයක රූපට් ඔරේන්ජ් පසුවූයේ නැත. ඒ මොහොතේ ඔහුගේ සිතෙහි පැළපදියම්ව මහා වෘක්ෂයක් සේ අතු ඉති විහිදවා පැතිර යන්නට පටන් ගෙන තිබුණේ එකම එක කාරණයක් පමණි.

“ප්‍රකෝටිපතියෙකු ලෙස වසර පහක්! ”

ධනවතකු වීමේ සිහිනයක ගැලී සිටි ඔරේන්ජ් රූපට්ගේ දෙසවනට මහලු පුද්ගලයාගේ ගිවිසුම ඇසෙන්නට වූයේ එහි වූ අද්භූත හා භයංකර ස්වභාවය මොනයම් ආකාරයකින්වත් හදවතට නොදැනීමේ ඉරණමට මුහුණ දී සිටියදීය.

“අද මේ රාත්‍රී භාගයේ අන්ත දුගියකුව සිටිනා ඔබ හෙට මහා ධන කුවේරයෙක්. දැන් ඔබ හිත හදාගත යුතුයි ඉලන්දාරියා...

පස් වසරක ඉසුරුමත් ජීවිතයකින් පසු ඒ කාලයේ ණය පියවනු ලබන්නේ ඉතිරි ජීවිත කාලය ඒ සඳහා හිලව් කිරීමෙන් බව මා ඔබට කියනවා. මගේ ප්‍රතිඥාවට අනුව හෙට උදෑසන හිරු නැඟෙන මොහොත වන විට ඔබ නිව්යෝර්ක් නගරයේ සිටින සියලුම ධනවතුන් අතර ඉහළම තැනට පත් වෙනවා ඇති”

කොතරම් ඉහළ තැනකට පත් වුවත් වසර පහකින් ඉක්බිති තම ජීවිතය ඒ සඳහා හිලව් කළ යුතු මේ භයංකර යෝජනාවේ යථා ස්වභාවය රූපට් ඔරේන්ජ් හට ඒ මොහොතේ නම් කිසිසේත්ම දැනුණේ නැත. එයට එක හේතුවක් වූයේ මේ ඓශ්වර්යමත් පස් අවුරුද්ද අඩ සිය වසක් සේ ඔහුට හැඟී යාමය. අනෙක් හේතුව වූයේ අද දිනයේ සිටින අන්ත දුගී භාවය හා සසඳා බලමින් මතුවන හෙට දිනයේ සිට එළැඹෙන ඉසුරුමත් දිවි පෙවෙතේ ආශ්චර්යයන් පිළිබඳ සිතිවිලි ඔහුගේ මනස වෙන කිසිවක් ගැන සිතන්නට ඉඩ නොලැබෙන පරිදි පුරවා දමා තිබූ හෙයිනි.

අප මෙතැනදී කොයි ආකාරයකින් කල්පනා කරනු ලැබූවද, තමාව නිරන්තරයෙන් පෙළනු ලැබූ අනන්ත අපරිමාණ දුක් කම්කටොළුවලින් පරිපීඩිතව රූපට් ඔරේන්ජ්ගේ තත්වයේ සිටින අන් කවරෙකු වුවද මේ සඳහා නොපෙළඹෙනු ඇතැයි අපට සිතිය නොහැකිය.

දිවා කල එළි පහළියට බැසිය නොහැකි තරමට තමාට අපහාස කරමින් ලුහු බඳීන ණය හිමියන්ගෙන්ද, මොන විදියක හෝ සුව පහසුවක් ඇතැයි සිතා ගත නොහැකි තට්ටු නිවාසයේ අපිරිසුදු කාමර ජීවිතයෙන් මිදෙන්නටද, ණය ගෙවාගත නොහැකි වීම නිසා අනිවාර්යනේම සිදුවිය හැකිව ඇති බන්ධනාගාරගත වීමෙන් මිදෙන්නටද ඔහුට අවශ්‍ය එකම දෙස ලැබෙන්නේ මේ ගිවිසුමට එකඟවීමෙන් පමණි.

තමා ඉදිරියේ කෙනෙකු වාඩිවී සිටින බව පවා අමතකව සිය චින්ත සන්තානයේ බොහෝ දුර ගමන් කරමින් සිටි තරුණයා දෙස සැලකිය යුතු වේලාවක් බලා සිටි මහලු මිනිසා ඉතා කාරුණික කට හඬකින් ඔහුව ඇමතුවේය.

(මතු සම්බන්ධයි)

වින්සන්ට් ඕ සුලිවන්ගේ කෙටි කතාවක් ඇසුරිණිස්ස ප්‍රේමසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.