සිකුරු ග්‍රහයා සුබ පරස්තාවට පමණද?

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර
දෙසැම්බර් 13, 2024

 

 

 

සිකුරු ග්‍රහයා විවාහයට පමණක්ම බලපවත්වන ග්‍රහයකුද යන්න වැලිවේරියේ චන්දි මහත්මිය ඇසූ පැනයට ඡ්‍යොතිෂ්‍යවේදීනි ගීතිකා සමරතුංග මහත්මිය ලබාදුන් පිළිතුරයි.

සිකුරු ග්‍රහලොව සුබ පල දෙන ග්‍රහයන් අතර ගුරුට පමණක් දෙවැනි වේ. සිකුරු ස්ත්‍රීකාරක ග්‍රහයෙකි. සිකුරු බලවත් වූවෝ දැකීමට පි‍්‍රය උපදින පිරිසිදු සිත් ඇති, සැපසේ ජීවත් වීමට වාසනාව ලද අය වෙති. ස්ත්‍රිය, ආලය, ප්‍රේමය, රූප ස්වභාව, කලාව ලෞකික දියුණුව කෙළිලොල් බව ආදියට සිකුරු අධිපති වේ.

රෙදිපිළි, සුවඳ විලවුන් අලෙවි කරන්නන් සංගීතකරුවන් සිකුරු බලවත්ව කේන්ද්‍රගතවූවන් වනවා. සෞන්දර්යයට ළැදිකම, ස්ත්‍රීන්ගෙන් ගරු සැලකිලි ලැබීම අකලට මහලු නොවීම සිකුරු බලවත් වීමෙන් හිමිවන යහපත් ප්‍රතිපල වේ.

සිකුරු මීනයේදී උච්ච වන අතර වෘෂභ තුලා රාශිවලදී ස්වක්ෂේත්‍ර වේ. කටක සිංහ රාශි දෙකට සතුරු වන අතර කන්‍යාවට නීච වේ. සිකුරු මේෂ රාශියේ සිටින විට විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වැඩි සැලකිල්ලක් ළෙන්ගතුකමක් ඇතිවන අතර ආදරය කරන්නාට තදින්ම ආදරය කරයි. විශ්වාසය සුරකින අතර ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. ආගමික භක්තිය ඇති හොඳ මිතුරන් ඇසුරු කරන පුද්ගලයකුද වේ. සිකුරු වෘෂභයේ නම් අනුකම්පා සහගත සිතක් ඇති අයෙකි. විශ්වසනීය වන අතර තමාට පෙර සහකරු මිය යාමට ද ඉඩ ඇත. ඇවිදීමට ප්‍රිය වන අතර වෙහෙසකර දීර්ඝ ගමන් යයි.

සිකුරු මිථුනයේ නම් ජීවිතයේ මුල් කාලයට වඩා පසු කාලය ධර්මය කෙරෙහි නැඹුරු වෙයි. මුල් කාලයේ තරමක් කෙළිලොල් ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම ඇති කර ගනියි. එක සිතකින් ආලය නොකරයි. ආදරේට අවංක නැත. අවසානයේ වෙනත් අයෙකු හා විවාහ වෙයි. විනෝද චාරිකා ආදියට ප්‍රිය කරන අතර සිතුවිලි මෙහෙයවා කරන වැඩවලට මිස බර වැඩවලට සුදුසු නැත.

සිකුරු කටකයේ සිටින අයගේ සිත නොයෙක් ඉසව් කරා දිවයයි. වෙනත් අය නොසිතන ගැඹුරු එමෙන්ම ගුප්ත දේ පිළිබඳ විමර්ශනය කිරීමට පෙලඹේ. ඒවායින් මුදල් උපයයි. සාමකාමී වේ. ගැඹුරු අදහස් දරයි. එහෙත් පහත් අයගේ ඇසුරට ලොල් වේ. ආදරේ වුවත් එක සිතින් නොකරයි. චපල අදහස් ඇති පෙම් සබඳතා කිහිපයක්ම ඇතිකර ගන්නා අයෙකි. අවසානයේ ධනය, නිලය, බලය සහිත කෙනකු විවාහයට තෝරා ගනියි. ගෘහ ජීවිතය යහපත් වේ. චංචල සිතුවිලි සහිත වේ.

සිකුරු සිංහයේ නම් ආදරය වෙනුවෙන් ජීවිතේ වුවත් පුද කරයි. ලෝභ අයකු නොවන අතර කැපී පෙනීමට වියදම් කරයි. අන් අයගේ දියුණුව බලා සිටීමට තරමක් අපහසුය. ගෞරවනීය ලෙස ජීවත් වීමට කැමති වේ. කඩිසරවේ. හවුලේ කරන කටයුතුවලට යහපත්ය.

සිකුරු කන්‍යා රාශියේ නම් පිරිසුදු සිතක් ඇති අයකු වන අතර ආදරය නිසා දුකට පත්වේ. පූර්ව ප්‍රේමයක් හෝ ඉතා දැඩි ලෙස පැවති බැඳීමක් බිඳී යා හැකිය. විවාහ වුවහොත් යහපත් යුග දිවියක් ගත කරයි. ජීවිතය පිළිබඳ අන් අයට ගුරුහරුකම් දෙන්නකු වේ. ජීවිතයේ සැඳෑ සමය යහපත් සිල්වත් ගුණවත් බවින් යුතුව ගතකරයි. ගෞරවයට සුදුස්සෙකු වේ.

සිකුරු තුලාවේ සිටින විට ධර්මයට ළැදි වේ. භෞතික හා අධ්‍යාත්මික පක්ෂය සමබරව එක ලෙස පවත්වාගෙන යයි. විවාහ වන අයගේ ආදරය මිස වෙනත් භෞතික කිසිවක් අපේක්ෂා නොකරයි. සිල්වත් වේ. උසස් මිතුරු ඇසුර ප්‍රිය කරයි. චාම් ජීවිතයක් ගත කිරීමට කැමති වේ.

සිකුරු වෘශ්චිකයේ සිටින විට ප්‍රියමනාප රූපයකට හිමිකම් කියයි. පිරිසුදු සිතක් ඇති අතර යුක්තිය සාධාරණ බව වෙනුවෙන් පෙනී සිටි. ස්ත්‍රියක නම් පතිවත තම ජීවිතය මෙන් සුරකියි. තම තනි මතයට විවාහ වෙයි. සහකරු බොහෝ විට කලින් විවාහ වූ අයෙකු වීමටද හැකිය.

සිකුරු ධනු රාශියේ නම් ඥානවන්ත අයකු වන අතර අධ්‍යාත්මික පක්ෂය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. සමාජශීලී ගතියක් ඇතිවන අතර මිතුරන් අධික වේ. ඇතැම් විට විවාහ දෙකක් විය හැකිය.

සිකුරු මකරයේ නම් කලාකාමී වේ. ලෞකික ආශාවන් වැඩි දියුණු කරයි. ආශාවන්ට වහල් වීම හේතුවෙන් ඇතැම් විට දුකට පත්වීමටද සිදු වේ. ප්‍රේම සම්බන්ධතා නිසා රැවටිලිවලට හසු වේ. විවාහය ප්‍රේමය මුල් කොටගෙන සිදුවන අතර වුවමනාවටත් වඩා ආඩම්බර අහංකාර ගතියක් ද ඇත.

සිකුරු කුම්භයේ නම් දීර්ඝ ඇසුරකින් පසු විවාහ වන අතර අසරණ අයට උදව් උපකාර කරයි.පරිත්‍යාගශීලී සමාජයේ කැපී පෙනෙන අයකු වනු ඇත.

සිකුරු මීනයේ නම් ධනය ලැබීමට යහපත් වේ. ව්‍යාපාරයෙන් දියුණු වේ. සාධාරණ ලෙස මුදල් උපයයි. අනුකම්පා සහගත සිතක් ඇති අතර අසරණ අයට කරුණාව දක්වයි. ත්‍යාගශීලී වේ. මිතුරන්ගේ ගෞරවයට ලක්වේ.

සිකුරු ලග්නයේ සිටී නම් සිත්ගන්නා සුලු පෙනුමක් මෙන්ම ප්‍රියමනාප රූප සම්පත්තියක් හිමිවේ. ජීවිතය සරලව සැහැල්ලුවෙන් ගත කරයි. දරුණු කරදර අත්දැකීම් ඇති නොවනු ඇත.

සිකුරු දෙවැන්නේ නම් දැකීමට ප්‍රිය උපදව සිත්ගන්නාසුලු කතාව ඇති අයෙකු වේ. යුග දිවිය යහපත්ය. ධනවත් වේ. දීප්තිමත් ඇස් ඇති අයකු වේ.

සිකුරු තුන්වැන්නට සුබ වේ. කලාත්මක සිතුවිලිවලින් හැකියාවන් වර්ධනය කර ගනී. සංගීත නැටුම් වැනි කලා ක්ෂේත්‍රයේ කටයුතුවලට දස්කම් දක්වයි. සහෝදරාදීන්ට යහපත් වේ.

සිකුරුට ඉතාමත්ම යහපත් තැන හතර වැන්නයි. හතරට දික් බල වන අතර යාන වාහන ඉඩකඩම් දේපළ ඇතිව සැප දිවියකට උරුමකම් කියයි. හිත මිතුරන්ගෙන් ගරු සැලකිලි ඇති අයකු වේ. ජීවිතයේ අවසන් කාලය ද සැපසේ ගත කරයි.

සිකුරු පස්වැන්නේ නම් ඉගෙනීමට වඩා කෙළිලොල් දිවියකට ප්‍රිය කරයි. ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම ඇතිවන අතර ප්‍රියමනාප දරුවන් ලබයි. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වැඩි ඇල්මක් දක්වයි.

සිකුරු හය වැන්නේ නම් එතරම් යහපත් නැත. නපුරු ගති ඇත්තන්ගේ ඇසුරට වැටේ. එයින් නොමඟ යයි. ආමාශගත රෝග නිසා පීඩා ඇතිවිය හැකිය. මෙහෙකරුවන් හා අසරණයන්ට හිතවත් වේ. සිකුරු හත්වැන්නේ නම් ලිංගික ආශාවන් වර්ධනය කරයි. හවුල් කටයුතුවලින් ලාභ ලැබේ. සුරූපී සහකරුවෙකු හෝ සහකාරියක ලබයි.

සිකුරු අටේ පිහිටා ඇති අයගේ මරණය ශාන්ත එකක් වන අතර හිටි හැටියේම සිදුවනු ඇත. දැකීමට ප්‍රිය උපදවන රූපය වන අතර විවාහයෙන් දායාද ලැබේ. සිකුරු නවයට ද ඉතා යහපත් වන අතර ධාර්මික නිවුණු ගති ඇති අයකු වෙයි. ආගම් භක්තිය වර්ධනය වේ. ආගමික නායකයන්ට ගරු කරයි. පියාට ඉතා හිතවත් වන අතර දියුණුවක්ද ඇතිවනු ඇත.

සිකුරු දහවැන්නේ නම් එතරම් මහන්සියෙන් තොරව මුදල් උපයන අයකු වෙයි. කලාකාමී කටයුතුවලින් හා වෙළෙඳාමෙන් ලාභ ලබයි. රජයේ රැකියාවන් හිමිවේ.

සිකුරු එකොළොස් වැන්නට ඉතාම සුබ වේ. වෙළඳාමෙන් ග්‍රන්ථකරණයෙන් ලිපි ද්‍රව්‍ය හා සම්බන්ධ කටයුතුවල නිරතවීමෙන් ලාභ ලබයි. ආගිය තැන පිළිගනී. තියුණු බුද්ධියකට හිමිකම් කියයි.

සිකුරු දොළොස් වැන්නට සුබ නැත. රහසේ පාප ක්‍රියාවන්ට පෙලඹේ. ඇස්වල රෝග මතු කරයි. සමාජයට හිතවත් වන අතර කුමක් හෝ කලාව හා සම්බන්ධ දේකට දක්ෂතා පෙන්වීමට හැකිය. දීර්ඝායුෂ ලැබේ.

එමෙන්ම සිකුරු එක් එක් ග්‍රහයන් සමඟ යෝග වීමෙන් ද වෙනස් ප්‍රතිඵල අත්කර දෙයි.

සිකුරු රවි සමග යෝග වී නම් ලෞකික දේ ගැන දැඩි ඇල්මකින් කටයුතු කරයි. විශේෂයෙන් සංගීතයට ප්‍රිය කරන අතර සංගීතය හා සම්බන්ධ වෘත්තියක නියැළීමට ද හැකිය.

චන්ද්‍ර සිකුරු යෝග වීමෙන් අඹු දරුවන් නෑදෑයන් සමග සතුටින් කාලය ගත කරයි. සෞම්‍ය ගතිගුණ ඇතිවේ. අසුබ රාශියක හෝ භාවයක නම් ස්ත්‍රීන් නිසා දුකට පත්වේ.

කුජ සිකුරු යෝග වීම කාමාශාව වැඩිදියුණු කරයි. හත්වැන්නේ මේ යෝගය යෙදීමෙන් ඉතා අසුබ විය හැකිය. ආශාවන් වැඩි බැවින් ඒවා අයුතු ආකාරයෙන් හෝ සන්තර්පණය කර ගැනීමට යාමෙන් සමාජ විරෝධිකයකු ලෙස අපකීර්තියට පත් වීම හා නීතියෙන් දඬුවම් ලැබීමටද හැකිය.

බුධ සිකුරු යෝග වී ඇත්නම් සමාජශීලී වේ. මිත්‍රත්වය මනාව රැක ගනියි. කලාකාමී වේ. විශේෂයෙන් සංගීතයට ප්‍රිය කරයි.

ගුරු සිකුරු යෝගය ඉතාමත් සුබ වේ. හතර වැන්නේ මේ යෝගය පිහිටීමෙන් ඉඩකඩම් යාන වාහන ලැබේ. සහකරුට මෙන්ම දරුවන්ට ද යහපත් වේ. සිකුරු ශනි යෝග වේ නම් ක‍්‍රමාණුකූලව දියුණුවේ. විවාහය පමා වුවත් හොඳ විවාහයක් සිදු වේ. යහපත් අන්දමින් ධනය උපයයි. සිකුරු රාහු සමඟ නම් කිසිවක් ගැන නොබලා ආලේ කිරීමට පටන් ගනියි. යම්කිසි කරුණක් නිසා රැවටී ආලය කරයි. විවාහ වන අයගේ නොගැළපීමක් හෝ දුර්වල කමක් ඇතිවේ. සිකුරු කේතු සමඟ නම් තමාගේ හිතේ හැටියට ආලය කිරීමට නොලැබේ. ආලය පිළිබඳ කටයුතුවලින් හිතට දුකක් ඇතිවේ. මේ කරුණු ගැන සලකා බැලීමේදී සිකුරු විවාහයට පමණක්ම බලපවත්වන ග්‍රහයකු නොවන බව පැහැදිලි වේ.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

ඉෂාරා විජේරත්න

-----------------------

සුබ මුහුර්ත පිළිබඳව

ගාමිණි ගුණවර්ධන

මහත්මියනි,

සුබ මුහුර්ත සෑදීමේදී සඳු සිටින දිශාව සුබ දිශාව ලෙස යොදා ගන්නා අතර දින, ශූල, දික්ශූල, බහිරව සිටින දිසා, මරු සිටින දිශාව ආදිය මඟහැර සුබ දිශාව ගනියි. එහෙත් ඊශාන දිශාවේ මරු නොමැති වුවත් එම දිශාව සුබ දිශාව ලෙස යොදා නොගනියි. ඊට විශේෂ හේතුවක් තිබේද? ඒ පිළිබඳ ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබසෙත පුවත්පත මගින් නිසි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.