වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
නිවෙසට සම්පත ගෙන දෙන ආම්පන්න
නිවෙසක් ඉදිකර ගන්නේ නිදහස් ජීවිතයක් ගත කිරීමටත් තනිව හෝ දූ දරුවන් සමඟ ජීවත්වීමේ මහත් අභිප්‍රායෙනි. මවුපිය උරුමයෙන් හෝ තමා උපයාගත් මුදල් හා ආධාර උපයන මාර්ගයන්, නිවාසය ඉදිකර ගැනීමට ද මූලික වෙයි. සැලසුමක් මත හෝ තමාගේ සිතැඟි පරිදි මේ භාරධූර කටයුත්ත සිදුකර ගනී. සමහරවිට නිවෙස ඉදිකර ගැනීම සම්පූර්ණයෙන්ම අවසන් කර ගනී. සමහරවිට අඩක් නිමකර ගනී. කෙසේ හෝ මේ නිවෙසෙහි පදිංචියට යයි.
පදිංචි වූ නිවෙස තුළ ආරම්භයේදී සතුටින් කාලය ගත කරයි. කලක් ගත වන විට ලැබීම් භාග්‍ය අඩුවීම, අසනීප, හිත මිතුරු ඇසුර අඩුවීම, පි‍්‍රයමනාප නොවීම, පිළියෙළ කරගත් ආහාරය නියමිත වේලාවට ගැනීමට නොලැබීම හෝ රස මිහිර අඩුවීම ආදි විවිධ බාධක උපද්‍රව ඇති කරයි. සමහර විට පිළිගත්තත් නැතත් නිවාස දෝෂ තමාගේ ක්‍රියා කටයුතුකම් අනුවද, සැලකිලිමත් ලෙස පරිහරණය කර නොගැනීම, ආදීන් මත සතුට සෞභාග්‍යය හීන වී යාමටද මුල් වන බව නියතය.
නිවෙස තුළ ජීවත්වන විට නිවෙසට ආදර කරුණාව පෙන්වා කටයුතු කළ යුතුයි. සකසුරුවම් කරගත යුතුයි. එසේම පැවැතෙන වත් පිළිවෙත් හා චාරිත්‍රවලටද මුල් තැනක් දී කටයුතු කළ යුතුය. එවැනි ක්‍රියාකාරකම් අනුගමනය කර කටයුතු කළ හොත් පිරිහී යාමට හේතුවක් නොවනු ඇත.
එවැනි කටයුතු කරගෙන සතුට සෞභාග්‍යය උදාවනවාද වෙනසක් වෙනවාද යන්න සලකා බලන්න. ඒවායේ ගුණාත්මකභාවයක් ඇති බව කලකදී පෙනී යයි. ඒවා ගැන ටිකක් සලකා බලන්න. නිවෙස ඉදිරිපිට බුදුමැදුරක් ඉදිකරන්නේ නම් උතුර, ඊසාන, නැඟෙනහිර දෙසට ඉදිකර තමා කැමැති හැඩ වැඩ ඇති බුදුරුවක් තබා නියම කරගත් වේලාවට පහන් දල්වා කටයුතු කළයුතු වේ. තමා බෞද්ධයකු නම්, භක්තියෙන් හා සැලකිල්ලෙන් කටයුතු කළොත් ඔබටම සෙතක් උදාවේ. ආහාර පූජාව තබන්නේනම් නොකඩවා තැබීමට වග බලා ගත යුතුය. දේවත්වයට නම් විෂ්ණු, කතරගම, ගණපති, ගම්භාර, පත්තිනි ආදීන් විශේෂයි. එයද සතුට, සෞභාග්‍යය ලබා ගැනීමට උපකාරයක් වේවි.
නිවෙස පිරිසුදු කරන කොසු, ඉදල්, උදලු, රේක්ක වැනි උපකරණ නිවෙස ඉදිරිපිට තැබීම නුසුදුසුය. නොපෙනෙන සේ තැබිය යුතුය. නිවෙස පිටුපස ඒවා නියමිත පරිදි සුදුසු පරිදි හරවා තැබිය යුතු අතර ගෘහ ජීවිතයේ සාමය, සතුට, රැකියාව තුළ ඇතිවිය හැකි බාධක, ගැටලු, මඟහැර යන බවට ගැමි විශ්වාසයක් පවතී.
ළිඳ
නිවෙසේ මුල්ලකට අසුනොවන සේ අඩි 7 1/2, 9 1/2, 10 1/2, 12 1/2, 14 1/2, 19 1/2 යන දුරින්ද නැඟනහිර යහපත් සම්පත්, උතුරු දිශාව ඉතා යහපත්, ඊශාන දිශාව හැම අතින්ම යහපත්ය. බටහිර මධ්‍යස්ථයි. අපි‍්‍රයෙල්, මැයි, ජූලි, අගෝස්තු, දෙසැම්බර්, ජනවාරි, මාර්තු මාසවලදී ශුභ දින ශුභ නැකතින් ආරම්භ කළහොත් යහපත් ප්‍රතිඵල හා සෞභාග්‍ය ද උදාවේ. ළිඳ සෞභාග්‍යයේ සංකේතයයි.
නිවෙස තුළ සැකසුම
නැඟෙනහිරට නිදන කාමර, නාන කාමර , ධන වස්තුව තබන කාමරයද බටහිරට කෑම කාමරය, ලියන මේසය, පුස්තකාලය ද, කෑම කාමරය ද, උතුරට තැන්පත් ධනය, උපදවන දේවල්, ඇඳුම් කාමරය ද ගිනිකොන මුළුතැන්ගෙය, දර ළිප ද ගොවි උපකරණ වී හාල් ගබඩා වයඹ, වටිනා භාණ්ඩ, ඊසාන, බුදුමැදුර ආගම ඇදහීමට උතුර ඊසානට බෙහෙත් ගබඩාව, උතුර වයඹ, අතරද රතිගෙය හෝ කාමරය නිරිත, බටහිර අතර පොතපත් පුස්තකාලයද, මේ ආකාරයෙන් නිවෙස ආරම්භයේදීම පිළියෙල කර ගතහොත් සෞභාග්‍යය උදාකරන මාර්ගයකි. වර්තමානයේ ඉඩම - පරිසරය දිශාව අනුව හැකි ආකාරයකට සකසා ගැනීමට හැකි නම් ප්‍රතිපලය ද අත ළඟමය. පලදාව ලබන ගස් ද සුබයි. බිම ගෑවෙන අතු ඇති ගස් ධනය, අතමිට හිඟ වී යාමට හේතුවකි. නිවෙසට ගමන් මාර්ගය, ගේට්ටුවේ දිශාව හා නිවෙස අලංකාරයට සුදුසු වර්ණ යොදා ගැනීම නිවෙස තුළින් සතුට සෞභාග්‍යය ලබාදීමේ මාර්ග වේ.
ළිප
මුළුතැන්ගෙයි ප්‍රධාන වන්නේ ළිපයි. නාගරික පන්නයේ නිවෙස්වල නැතත් ගැමි පරිසරයේ නිවෙස්වල ඇත. බිම ගල් සිටුවා දර ළිප බඳියි. දුම්මැදුරක් සෞභාගයට හේතුයි. සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රය ළිප ගිනි දැල්වීමයි. දේවත්වයටද බලපායි. ළිපද වෙද ගෙදරකි. ළිප මැද, මැටිගෙන කොටිහම පිලිස්සු අළු, කුඹල්මැටි, අබ තෙලෙන් අඹරා ගෑමෙන් බෙල්ලේ වායුගෙඩිවලටද, ළිප, මැද අළු පස්තෙලින්වලින් අඹරා ගෑමෙන් පොතු කබරවලටද ඖෂධයකි.
කොරහ
මැටි කොරහ මුළුතැන්ගෙයට අවශ්‍යම භාණ්ඩයකි. සිංහල චාරිත්‍රවලටද වුවමනා වෙයි. කල්ගියත් පසුව විවිධ වුවමනාවන්ට සුරක්ෂිතව තබා ගනී. මැටි කොරහ පාවිච්චි කිරීම සුරක්ෂිත වුවත් වුවමනාවේදී අගය වැඩිය. කෞතුක භාණ්ඩයකි. සිංහල රජවරු ළදරු කාලයේදී දියනෑමට ද ගෙන ඇත. කිළි මඟහරවා ගැනීමටද කොරහට රාත්‍රි දිය පුරවා තිරිවානා ගල්, දෙහි කහ ආදිය දමා අලුයම මුහුණ සෝදා හිස ඇඟ හලා ගැනීම කොරහේ ගුරුකමකි.
මිරිස්ගල
කළුගලෙන් උඩගල හා යටගල නිර්මාණය වේ. කබලෙන් බැද ගත් මිරිස් තුනපහ අඹරා වෑංජනය පිසු විට රසය ඉමහත්ය. වට්ටක්කා, පැපොල්, ආදිය ද කළුපොල් මාළුවද පොල් අඹරා පිළියෙළ කර ගැනීමට ප්‍රයෝජනය වීමද ඉමහත්ය. මිරිස්ගලට සම්බෝලය ආදිය සඳහා දෙහි මිරිකා දැමීම, නිවෙසට විනයක් බවත්, ගල සෝදා පිරිසුදුකර උඩගල උඩුකුරුව තැබීමද නිවෙසට සුබ බවත් කියයි.
හිරමනය
‘නාඩන් හිරමනය පොල්ගානවා හෙට’ පැරැණි කියමනකි. වන්දනා ගමනටද, අවුරුදු උත්සවයේදී පොල්ගෑමේ තරගයට වැනි අවස්ථාවේදී අගය වැඩිය. හිරමනයක් නැති ගෙදරට හිරගනුවත් එපා තවත් විටෙක කියයි. ගුප්ත බලයක්ද හිමි බවද කියයි. නිවෙසේ රාත්‍රියට විවිධ ශබ්ද ඇසෙන විට ළිපට දැමීමෙන් දුරුව යයි. මේ අනුවද හිරමනය සැලකිල්ලට නොගත්තත් අගය වැඩිය. ශක්තිය බලය වැඩිය.
කුල්ල
ගොවිතැනේදී එක් අවස්ථාවකදී ද නිවෙසේ කටයුතුද මුළුතැන්ගේ කටයුතුවලට ප්‍රයෝජනයට එක්වෙයි. කුල්ල ශාස්ත්‍රීය කටයුතුවලට මෙන්ම ගුප්ත කටයුතුවලට ද විවිධ අවස්ථාවලදී එක්කර ගනී.
කුල්ල වංශාධිපතියෙකි. වංශය පිළිබඳ රසවත් කතාවකට සම්බන්ධයි. ගැමියෝ දනිති. නොදන්නෝ වැඩිය. මේවාද දැන ගැනීම රසාස්වාදයකි. විශේෂයෙන්ම ගෙට ගෙවැදීමේ හා මල්වර චාරිත්‍රයටද උත්සව අවස්ථාවලදී ද ළමයින්ගේ කුලු නැටුමට යොදා ගනී.
වංගෙඩිය
විශ්ව කර්මයාට අයත් භාණ්ඩයකි. වංගෙඩිය නිම කරන්නාගේ හිස වටා දිග ප්‍රමාණයට උස රැගෙන කොස්, වල්දෙල්, දොඹ, වායා, නැඳුන් වැනි දැවවලින් සාදයි. අලංකාර විදියට ගල්වලින්ද සාදයි. ජනභාවිතයෙන් ඈත්වී යන්නකි. ගොවි ජනතාව වෙසෙන පළාත්වල නිවෙස්වල අද භාවිතයට වී ධාන්‍ය ආදියේ පොතු කොටා ගැනීමට විශේෂ වන අතර ගැමියාගේ චාරිත්‍ර ඉටු කර ගැනීමට බෙහෙවින්ම ප්‍රයෝජනයට පත්වේ. ජනවහරේ භාවිතයට නාමය එක්කර ගනී. මහලු වංගෙඩිය පළා ළිප දැමුවහොත් නිවෙසට අනිටු පල දෙන විනයකි.
මෝල්ගස
වංගෙඩිය සමඟ උපයෝගී මිතුරෙකි. විශ්වකර්මයාට අයත් භාණ්ඩයකි. කන දක්වා උසට ගනී. කිතුල් ලීය මෙයට උපයෝගී ලීයක් වන අතර උඩ කොටස තරමක මොට ඇලක් ලෙසද පහළ කොටසට යකඩ පිල්ලක්ද යොදා නිම කරයි. විවිධ චාරිත්‍රවලට යොදාගනී. ජන වහරේ නාමය භාවිතයත් ඍජු බව පෙන්වා දැක්මට ගනී. ළිප දමා දැවීමද නිවෙසට අනිටු පල දෙන විනයක් වේ.
ගිරය
ගිරයට ග්‍රහයෝ නව දෙනාම දෘෂ්ටිය හෙළා ඇත. හොඳ නරක දෙකටම කටයුතු කරයි. ආරක්ෂක භාණ්ඩයකි. කියම් ගිරයේ උපන් විත්තිය ශාන්ති කර්මවලදී දෙහි කැපීම, වින කැපීම සඳහා ද තනිකමට ළඟ තබා ගැනීමට ද එක්වෙයි.
රනින් කිල්ලෝටෙයි
ඇඹරූ එරන් කෙන්දයි
රන් අගෑ ගිරයයි
තබා කිරිකඩ හේල පිදුවයි
විවාහ මංගල්‍යයේ දී කිරිකඩ හේල, පිදුමට ද, හදිසියකදී කාර්මික භාණ්ඩයක් ලෙසද මහල්ලාට වුවමනා වන දස භාණ්ඩයෙන් එකක් ලෙසද අවශ්‍යතාවය අනුව ප්‍රයෝජනයට ලක්වෙයි.
ගිරය හිරයයි. ගිරයට අසුවූ පුවක්ගෙඩියයි. ආදි වශයෙන් ගැමි ව්‍යවහාරයේ පවතින අතර නිවෙසට කෞතුක භාණ්ඩයකි. ආරක්ෂිතයෙකි.
නිවෙස ඉදිරිපිට රුක් රෝපණය
සැලකිල්ලටගෙන කරන රුක්රෝපණයකි.
නුග, ඇසතු, බෝ ආදිය නිවෙසට ඈතින් නැඟෙනහිර, ගිනිකොන, දකුණ අතරටද සුබයි. ඉඹුල් අත්තික්කා, කටු සහිත ගස් හා පතොක් වැනි ගස් වැවීම මරණ බිය හා සිත්තැවුල් පීඩා බවට ලක්වීමටද ගෘහ හිමියාට විපත් හා සතුරු බලවේග ඇති වීමට හේතුයි.
සඳුන්, බෙලි, දොඹ, අඟිල්, මූනමල්, කුඹුක් ආදිය ද අඹ, කොස් වැනි දෑ ඉඩ ඇති පරිදි ඈතින්ද දෙළුම්, සාදික්කා, කරාබු, මී, වදකහ, ඉඟුරු, බුලත්, කටරොළු, ඖෂධ වර්ගද සුබ බවත් පිළිවෙළකට වගා කළ යුතු අතර සෞභාග්‍යයට හා නීරෝගි බවට උපයෝගි වෙයි.
සතුටින් හා නීරෝගිව ජීවත්වීම කෙනෙකු ලබන උසස්ම ධනයයි. තමාගේ නිවෙස තමාට විමානයකි. ඒ දිව්‍ය විමානය නම්, එහි ඇති බාධක කරදර නැත්තේ නොවේ. ඒවා මඟහරවාගෙන වාසය කිරීම තමා සතුය. තමා සතු දේ ගැන අවබෝධයක්ද තිබිය යුතුය. තිබෙන ලැබෙන දේවල් ගැන දැනුවත්ව පරිහරණය කිරීමත් ගුණාත්මකය. ඉහත දක්වා ඇති දේ දන්නවාද විය හැකිය. කෙසේ වෙතත් මේවා ගැන සිතා බලා කටයුතු කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.