ඔක්තෝබර් 25-31 අතර උපන් ඔබ...

ඔක්තෝබර් 25, 2024

ඔක්තෝබර් 25

(පෞද්ගලික අංකය 2/7)

සඳු, නෙප්චූන් මෙන්ම බුධගේද බල කදම්භය ගැබ්ව පවතින ඔයා ප්‍රබල හැකියාවන් රැසක් උපතින් ගෙන ආ කෙනෙක්. ඔයා සතු නිර්මාණ කුසලතාවය පවා සුළුපටු නෑ. ඒ වගේම තමයි ස්වභාවයෙන්ම තරමක් තද ගතිගුණ ආදියටත් හිමිකම් කියනවා. එහෙම වුණත් ග්‍රහයන්ගේ සම්ප්‍රයුක්ත බලපෑම මත මනා සමබරතාවයකින් යුතු මනසක හිමිකාරත්වයත් තිබෙනවා. ඔයාගේ අමුතුම ආකාරයේ ක්‍රියාවන් නිසා මොහොතක් පාසා එදිරිවාදී පිරිස් වැඩි කරගන්නා බවත් දැනගෙන කටයුතු කරන්න. සැලසුම් සහගතව, උපක්‍රමශීලීව වැඩ නොකළොත් නම් ඔයාගේ විවාහ හා ව්‍යාපාර වැනි කිසිම හවුල් කටයුත්තක් නම් කිසි දවසක සාර්ථක කරගත හැකි බවක් පෙනී යන්නේ නෑ. ප්‍රභූ සමාජ පැළැන්තිය තුළ ඇති නිරුවත්භාවය නිර්දය ලෙස විවේචනය කළ ඔස්කා වයිල්ඩ් වැනි මහා ගත්කරුවන් සේම ඔයාත් දැඩි විවේචකයෙක්. ඔයාලගේ ආර්ථික තත්වය පවා කාලයෙන් කාලය ඉහළ පහළ යන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ නිසා සූදු ඔට්ටු ඇල්ලීමේ කටයුතුවල පුරුද්දක් හැටියට එල්බ ගෙන හිටියොත් දවසක මහා ප්‍රපාතයකට වැටිලා තමයි නවතින්න වෙන්නේ. ඔයාගේ ජීවිතේ අන්තිම කාලේදී ආර්ථික අපහසුතා වලට මුහුණ පෑම සිදුවෙන එක නම් සැහැල්ලුවෙන් හිතන්න එපා. පොලී ආදායම අඩු වුණත් රජය සම්බන්ධ විවිධ අංශයන්ගේ ආයෝජනය ඔබ වැනි අයට වඩා ප්‍රතිපලදායක වන බව මෙහිදී නොකියාම බෑ. මෙවර ජනාධිපතිවරණයට පෙනීසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ (1975) මහතාගේ චරිතය අධ්‍යනය කළොත් ඔයාගේ ජීවිතය ගැනත් බොහෝ කරුණු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති.

ඔක්තෝබර් 26

(පෞද්ගලික අංකය 8)

සඳුගේ සෞම්‍ය බව වගේම සිකුරුගේ ආකර්ෂණීය බව ඔයාගේ පෞද්ගලික අංකය තුළ සැඟව පවතිනවා. අතමිට සරු නැතිව මෙවැනි අංක රටාවකට හිමිකම් කියාගෙන උපත ලැබුවොත් ජීවිතයේ මුල් කාලයේ විඳීන්න වෙන දුක් කන්දරාවත් සුළුපටු නැහැ. ඔයා වැඩි වශයෙන් සමාජයෙන් හුදෙකලාව ගත කරන්නයි කැමති. ඒ අතර වටිනා කාලය අපතේ නොයවා ශාස්ත්‍රීය අංශයේ හැදෑරීම්වල නිරත වෙනවා. මේ අංක රටාවෙන් උපන් ඔයා කාන්තාවක් නම් සමාජ විප්ලව සබැඳී නිර්මාණකරණයට වැඩි වශයෙන් නැඹුරු වනු ඇත. විදේශීය අත්දැකීම් ඇසුරින් සමාජ විප්ලව තුළින් පොදු මහජනයාට අත්විය හැකි සුබසෙත සබැඳීව තොරතුරු ගවේෂණයටත් ඔබ ඉතා ළැදි වෙනවා. නව දේශපාලන දර්ශන සමාජගත කරවීමට වගේම සමාජ සුබසාධනය අරමුණු කරගත් විවිධ සංවිධාන පිහිටුවා ගැනීමටත් ඒවායේ දිවා රෑ නොබලා සක්‍රිය ලෙස ක්‍රියාත්මක වීමටත් ඔබ විසින් යුහුසුළු වනු ඇත. ඔබ පිරිමි පාර්ශවයේ අයෙක් නම් වෛද්‍ය හා නීතීඥ වැනි අංශයන්ගේ නිම්වළලු පුළුල් කරගත හැකියි. විද්‍යාත්මක ගවේෂණ හා රෝහල් ආශ්‍රිත කටයුතුවල පෙරමුණ ගෙන ක්‍රියා කරන්නේ ඔයාලා වගේ අයයි. කොහොම වුණත් වෘත්තීය වශයෙන් වඩාත් සාර්ථක වෙන්නේ ප්‍රධානියකුගේ භූමිකාව තුළ පමණමයි. කලකිරීම් හා කඩා වැටීම් හේතුවෙන් හිසරදය හා අමාශගත ආබාධ ආදියටත් මුහුණ දෙන්න සිදුවනවා. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට විස්මත නිර්මාණ රැසක් දායාද කළ ප්‍රවීන ඉංජිනේරු ඒ.එන්.එස් කුලසිංහ (1919) මහත්තයත් උපන් දිනය සමරණු ලැබුවේ ඔබේ දිනයේදියි.

ඔක්තෝබර් 27

(පෞද්ගලික අංකය 9)

සඳුගේ සෞම්‍ය බව මෙන්ම නෙප්චූන්ගේ ගුප්ත බව ඔයාගේ පෞද්ගලික අංකය තුළ අන්තර්ගත වෙනවා. මේ අංක සංයෝගයට හිමිකම් ඇතිව උපදින ශල්‍ය වෛද්‍ය වෘත්තිකයන් ඉතා සාර්ථකත්වයට පත් වන බව සඳහන්. ඔබට විරුද්ධ ලිංගික ආර්ෂණයත් හොඳීන් පවතිනවා. එසේ වුවත් යම් හෙයකින් පරිණත වියට පෙර විවාහ බන්ධනයට එළැඹීමට සිදු වුවහොත් එය ඔබට මුළු ජීවිත කාලයටම නීරස අත්දැකීම්ක් ගෙන දීමට හේතු වනු ඇති. එසේ වුවද ඔබගේ දරුවන් ඔබට ඉතා ආදරණීය වන බවද ඔබව හොඳීන් රැක බලා ගැනීමට කැප වන බවද සුවිශේෂී කරුණක් වෙනවා. හදිසි කෝපය හා ආවේගශීලීභාවය ඔය චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක්. වචන හරඹයෙන් කෙසේ හෝ ජය ගන්නා අරමුණින් යුතුව භාවිත කරනු ලබන තද කතා විලාසය නිසා නිරායාසයෙන්ම සතුරන් ඇති කර ගන්නා බවත් නොකියාම බෑ. මෙම ස්වාභාවය ඔයාට එරෙහි විරෝධාකල්ප හා විවේචන බහුලව පැන නැගීමටද හේතු වනු ඇති. පහරදීම්, පිපිරීම් හා ගිනි ගැනීම් ආදියෙනුත් හදිසි අනතුරුවලින් හිස් කබලට හානි සිදුවීමේ හැකියාවත් දිගටම පවතිනවා. ඔයා වගේ අයට වරින් වර සුපිරි බලතල සහිත ඉතා බලගතු තනතුරු හෙබවීමට පවා නියමිත වෙනවා. ඒ කාලය තුළ අතමිට හොඳීන් සරු වන බවත් සහතිකයි. එහෙම වුණයි කියලා දෛවයෙන් හිමිව ගෙනා යම් අයහපත් බලවේගවලින් ඔබට මිදීමක් වෙන්නෙත් නෑ. මේ තත්ත්වයන් අනිවාර්යයෙන්ම ඔයා බුද්ධිය මෙහෙයවා පාලනය කරගත යුතු දේවල්. හිටපු ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර (1977) මහත්තයත් ඔයාට සමීප පෞරුෂයක් ඇති සුප්‍රසිද්ධ චරිතයක්.

ඔක්තෝබර් 28

(පෞද්ගලික අංකය 1/4)

මෙදින උපත ලද ඔයාගේ පෞද්ගලික අංකය තුළ සඳුගේ සෞම්‍ය ස්වභාවයත් ශනි ගේ දැඩි අධිෂ්ඨානශීලී ස්වභාවයත් ගැබ්ව පවතිනවා. එසේම රවි හා යුරේනස්ගේ බලයත් අන්තර්ගත නිසා එහි මාත්‍රාවට අනුව ඔබගේ සමාජශීලී භාවය හෝ හුදෙකලා භාවය තීරණය වේවි. මේ උපන් දිනය ගුප්ත විද්‍යා හා අධිමානසික කටයුතු හදාරන්න කියාපු දිනයක්. මොකද කියනවා නම් නූතන අංක විද්‍යාවේ පියා වන කයිරෝතුමා වාගේම ක්‍රිෂ්ණ මූර්තිතුමා පවා ඉපදිලා තියෙන්නේ ඔයාගේ උපන් දිනයෙමයි. වයස 21න් අනතුරුව මනා ඔරොත්තු දීමේ හැකියාවක් හා ප්‍රතිශක්තියක් තමන් තුළින්ම මතුවනවා. ස්වශන පද්ධතිය අශ්‍රිත ගැටලු රැසක් ද පැවතිය හැකි වුවත් සූර්යාලෝකයට නිරාවරණය වන්න වන්ටම සිරුර වඩා ශක්තිමත් වනවා. පොදුවේ මේ කාලය විවාහ ගැටලු වැඩි මාසයක්. ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යහපත් වන අතරම ඉතිරි කිරීමේ පුරුද්ද එතරම් යහපත්ව පිහිටා නෑ. ශාස්ත්‍රීය ලෝකය, කලා මාධ්‍ය හා දේශපාලන පොරපිටිය තුළ ද ඔයාලට හොඳ ඉඩක් තිබෙනවා. විශාල ව්‍යාපෘති ආදිය සාර්ථකව දියත් කිරීමේ හැකියාවක් ද ඔයා තුළ කැපී පේනවා. ඔයා හරිම හරිම හරි සංවේදී චරිතයක්. සතුරට පවා සමාව දෙන උසස් හදවතක් තමයි ඔයාට හිමිව තියෙන්නේ. හාස්‍ය රසයට ඉතාමත් ළැදි නිසා ඕනෑම සංකීර්ණ කාරණයක් වඩාත් රසවත් ආකාරෙයෙන් සරළව කියා දාන්න ඔයාට තියෙන්නේ මසුරන් වටින හැකියාවක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු (1978) මහත්තයත් ඔයා වගේම ජීවන අත්දැකීම්වලට වැඩි වශයෙන් මැදිවන අයෙක්.

ඔක්තෝබර් 29

(පෞද්ගලික අංකය 2)

සඳු හා කුජ යන එකිනෙකට පරස්පර විරෝධී බලවේගයන් දෙකක් විසින් තමයි මෙහිදී ඔයාගේ පෞද්ගලික අංකය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසාම ඔයාට ඇති ප්‍රවණතා හොඳීන් හඳුණාගෙන බොහෝම සැලසුම් සහගත විදියට සාර්ථකත්වය වෙත ගමන් කිරීමට උපක්‍රමශීලීව, ඉවසීමකින් යුතුව වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා. බොහෝ විට ජීවිතයේ බලාපොරොත්තු කඩවීම්වලටද මැදිවීම් නිතර ඇති නිසා හොඳ දරා ගැනීමක් නොවන්නට ජීවිතය ඉතා දුෂ්කර අත්දැකීමක් විය හැකියි. ජීවිත කාලය තුළ දුක් කරදර සහිත ආදර සබඳතා ගණනාවකට පැටලීමට ද නියමිතයි. එහෙත් රෑ වැටුණු වලේ දවාලෙත් ඔයා වැටෙන එක වැටෙනවා ම තමයි. ආදරයට ඇති වෙස්සන්තර ගතිය යටපත් වූ තැනයි ලේඛනය, සිතුවම්කරණය, කාව්‍යකරණය හා සංගීතය වැනි අංශයවල විස්මිත හැකියාවන් ඔයා තුළින් පෑදෙන්න ගන්නේ. ජීවිත කාලය තුළ යම් යම් අංශ වලින් හිණිපෙත්තටම ලඟා විය හැකි ස්වභාවයක් ඔයා සතු වෙනවා. එහෙත් යම් දෛවෝපගත කරණාවක් මත සමස්තය කඩා හැළෙන්න පුළුවන්. ඔයාගේ උපන් දිනයේම උපන් දේශමාන්‍ය ලලිත් කොතලාවල (1938) මහත්තයාගේ ජීවන වගතුග ප්‍රවේශමෙන් පරිශීලනය කර බලා ඔබේ ජීවන ගමන සුබවාදී කරගන්න.

ඔක්තෝබර් 30

(පෞද්ගලික අංකය 3)

මේ වන විට, නොවැම්බරයට හිමි කුජ(-) ගේ බල පරාක්‍රමය හොඳීන් ක්‍රියාත්මක වෙනවා. ඒ සමගම ගුරුගේ බලයත් ප්‍රබලව චක්‍රයක් දිගේ ගමන් කිරීම දැකිය හැකි වෙනවා. මේ පිහිටීමේ ප්‍රබලත්වය හරි හැටි ඔයා වටහා ගත යුතු වෙනවා. එවිට ඕනෑම අංශයකින් විශිෂ්ටයකු ලෙස ඉහළට පැමිණීමේ හැකියාව ඔප්නැංවෙනවා. ඔයා සතු කැපවීම හා විශ්වාසවන්තභාවය තමයි ඔයාගේ දියුණුවේ රහස කියන එක කිසිවිටෙකත් අමතක කරන්න නම් එපා. පැවරෙන ඕනෑම අමාරු වැඩ කොටසක් පිළිවෙලට, පිරිසිදුවට කරන්න ඔයාට වඩා සමතෙක් නැති බව දැකලා අනික් අයගේ ඇස් නිතර උඩ යනවා නේද? ඒ මොනවා වුණත් ඔයාගේ ජීවන ගමන් මඟ රැඳීලා තියෙන්නේ රෝස මල් ඇතිරූ මාවතක නම් නෙමෙයි. කුඩා කාලයේදී ඔයාගේ දෙමාපියන්ගෙන් අයෙකුගේ වියෝවයක් හෝ බලය පිරිහීමක් විය හැකියි. කටේ කිරි සුවඳ යන්නත් කලින් ජීිවතේ වගකීම් දරන්න වුණාම අනෙක් දේවල් මොන අභියෝගද? ඔයාට මුහුණ පාන්න සිදුවන දුක් කමොටොළුම තමයි දවසක සාර්ථකත්වයට වෙස්වලා ගෙන පැමිණ ආශිර්වාදය වෙන්නෙ. මුලින්ම පවුලේ නායකත්වයට නිතරගයෙන්ම පත් වෙන ඔයා ඊලඟට සමාජ නායත්වය ලැබෙන මුල් අවස්ථාවේදීම පොඩි පුටුවක ඉඳ ගන්නේ මහා පුටුවට ඇහැ ගහා ගෙනමයි. හිටපු කතා නායක චමල් රාජපක්ෂ (1942) මහත්තයත් ඔයාගේ පෞරුෂයට සමාන ගති ලක්ෂණ ඇති සුප්‍රසිද්ද චරිතයක්.

 

ඔක්තෝබර් 31

(පෞද්ගලික අංකය 1/4)

කුජගේ (-) බලයට හොඳීන් නතුවන කාල සීමාවකයි ඔයාගේත් උපත සනිටුහන් වෙන්නේ. ඒ වගේම ගුරු හා රවි එක්ව නැවත රවි/යුරේනස්ට අයත් පරිසරයක් නිර්මාණය කෙරෙනවා. මෙහිදී ඇති සුවිශේෂී කරුණක් වන්නේ ඔයාගේ පෞද්ගලික අංකය තුළ නායකත්වයට මුල්වන ගුරු හා රවි යන ග්‍රහයින් දෙදෙනාම ඇතුළත් බවයි. ගුරු විසින් ජනතා ප්‍රසාදය මැද ලබන නායකත්වයත් නිරූපණය කරද්දී රවි විසින් නීති-රෙගුලාසි හා දැඩි අණ-පණත් මඟින් පාලනය සිදු කරන නායකත්වයක් ගැනත් කියැවෙනවා. පොදුවේ යුරේනස්ගේ බලපෑමට නතු පුද්ගලයන් සෑම විටම පාහේ අසාමාන්‍ය විෂයන් ගැන පරතෙරට ඉගෙණීමට උනන්දු බව පතපොතෙහි සඳහන් වෙනවා. ඒ වගේම නවීන යන්ත්‍ර සූත්‍ර පිළිබඳ හැදෑරීමට මෙන්ම ඒ ආශ්‍රයෙන් නව නිර්මාණ කිරීමටත් ඔයාලා වැනි අය සමතුන් බව වැඩි දුරටත් විස්තරාත්මකව දැක්වෙනවා. මේ කාලයේ උපදින පුද්ගලයන් අනිවාර්‍යයෙන් ම පුද්ගල කොට්ඨාශ 3 කට බෙදා දැක්වෙනවා. ඉන් මුල් කොටස යොමු වන්නේ විද්‍යාත්මක පර්යේෂණ අංශයටයි. මැද කොටස අබිරහස් ගවේෂණයට යොමු වෙද්දී අග කොටස අසාමාන්‍ය ලිංගික චර්යා සහිත කාමාතුරයන් බවට පත් වෙනවා. මේ අතරින් ඔයා හිටගෙන ඉන්න තැන ඔයාම නිවි හැනහිල්ලේ තෝරා බේරා ගන්න උත්සහා කරන්න. වැඩකට බැස්සම පිස්සුවෙන් වගේ වැඩ කරන ස්වභාවයක් ඔබ තුළ පවතිනවා. හදවතේ බුදුන්-දෙවියන් වෙනුවෙනුත් ඉඩක් වෙන්කර ගෙන විනාශයට ගමන් කරන එක නවත්වා ගැනීම වැදගත්. සාමූහික කටයුතුවලින් ඔයාට ලාභ හිමි නෑ. බොහෝ දෙනෙක් ඉලෙක්ට්‍රෝණික්, රූපවාහිනී හා ගුවන් විදුලි තාක්ෂණ අංශයවලින් හොඳට හම්බ කරන බව පෙනී යනවා. ඔයාටම සමාන මාස රාශි බලයකින් හා ග්‍රහ කම්පනයන්ගෙන් හෙබිව සිටි මහාචාර්ය නන්දදාස කෝදාගොඩ (1929) මහත්තයාගේ චරිතාපදානය පොඩ්ඩක් හොයලා බලන්න. ඇහුවම ඔයාට මුලින්ම දුක හිතිලා පුදුමත් හිතෙයි, හොඳටම ආසත් හිතෙයි

 

පාරවිද්‍යා පර්යේෂක එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.