ඔබත් උපන්නේ ඔක්තෝබර් 18-25 අතරද?

ඔක්තෝබර් 18, 2024

ඔක්තෝබර් 18:

(පෞද්ගලික අංකය 9)

විමසා බැලීමකින් තොරව ඉදිරියට කඩාගෙන බිඳයන ඔබගේ උපන් දිනයේ අය බොහෝ දෙනකු නීති සහ විශේෂයෙන්ම ශල්‍ය වෛද්‍ය වැනි අංශවලින් සුවිශේෂී දක්ෂතා දක්වා ඇති බව වාර්තා අතර සඳහන්. ඔබට ප්‍රබල විරුද්ධ ලිංගික ආකර්ෂණයක් ඇති බවද කැපී පෙනෙනවා. කෙසේ වෙතත් වයසින් මුහුකුරා යෑමට පෙර යුගදමේ පැටලුණොත් මාංචුවක් පටලවා ගත්තා වැනි භයංකර අත්දැකීමක් වන බව නම් නොකියාම බෑ. ඒ කොහොම වුණත් දෛවයෙන් හිමිකම් කියන රත්තරන් දරු සම්පත් නිසා ඔයාට ජීවිත කාලය පුරාවට නෙතින් කඳුලක් නම් හෙලන්න වෙන එකක් නෑ කියලත් සහසුද්දෙන්ම කියන්න පුළුවන්. ඔයා කොතෙක් නම් උත්සාහ කළත් ඔයාට හදා ගන්න බැරි පුංචි වරද දෙවරක් නොහිතා කට අන් අයට රළු වචන වලින් දමා ගහන පුරුද්ද. එය ඔබේ ජීවිතයට විශාල හානියක්. හරි හෝ වැරදි හෝ ඔබ තනිව ගතයුතු තීන්දු හා තීරණ මත පමණමයි ඔයාගේම සාර්ථක රඳා පවතින්නේත්. මේ කාලයේ තවදුරටත් වායෝ ත්‍රිවංකය බලපැවැත්වීම නිසා සුළං, ගුවන් ගමන් ආශ්‍රිත අනතුරු මෙන්ම ස්වශන අබාධ සම්බන්ධ යම් නැඹුරුවක් ඇති අතර සිරුරේ බෙල්ලෙන් ඉහළ කොටසට වන අනතුරු වගේම ගිනි හා පිපුරුම් ද්‍රව්‍ය යනාදියෙනුත් යම් අනතුරු අවදානමක් පවතින බව සිහියේ තබා ගන්න. රංගන ශිල්පිනී වසන්ති චතුරාණි (1962) ඔබට බොහෝ සෙයින් සමීප චරිත ලක්ෂණ ඇත්තියක්.

ඔක්තෝබර් 19:

(පෞද්ගලික අංකය 1)

අරමුණු සහගත ලෙස ඔබ දියුණුවීම සඳහා නිතරම ඇප කැප වෙනවා. කලාකාමී බවත් ඉතා උසස් මට්ටමකයි පවතින්නේ. ඔබේ පෞද්ගලික අංකය කෙසේ වුවත් ඇතුළාන්තය තුළ රවි අභිබවා ශනිගේ බලය වැඩි වුවොත් ඔබ වඩ වඩාත් හුදෙකලා භාවයට නැඹුරු විය හැකි බවත් එසේ නොවුණහොත් වඩාත් සමාජශීලී ජීවිතයක් ගත කළ හැකි බවත් පෙනී යනවා. නීතිය හා සාධාරණත්වය වැනි කරුණුවලදී ඔබේ මැදිහත් වීම වඩාත් හොඳීන් කැපී පෙනෙනු ඇති. සමාජයේ පොදු උන්නතිය උදෙසා ඇවැසි අණපනත් සම්පාදනයට ඔබ වැනි අය ඉතා උනන්දුවෙන් මැදිහත් වන බව කැපී පෙනෙනවා. ඔබ සෞඛ්‍ය ක්ෂේත්‍රයට උනන්දු අයෙක් නම් අනිවාර්යයෙන්ම ඒ ආශ්‍රිතව ගවේෂණාත්මක කටයුතුවලට කැමැත්තෙන්ම මැදිහත් වනවා. ආදර පිපාසයෙන් හඬා වැටුණත් එය සංසිඳුවා ගැනීමට ජීවිත කාලය පුරා ඉඩක් නොලැබෙන නිසා ලද පමණින් සැනසී සිටීමට හුරු න්‍යාය ඔබට බොහෝම වැදගත් බව කිසිදා අමතක කරන්න එපා. පෞද්ගලික අංකය තුළ රවිගේ බලය වඩාත් ඉස්මතු වෙනවා නම් ඔබ බොහෝ සමාජශීලී අයකු වේවි. රාජකාරිය ඉටු කිරීමේදී මෙන්ම යමෙකුට දඬුවම් පැමිණවීමේදීත් ඔබ නෑදෑ හිතවත්කම් බාධාවක් කර ගන්නා අයෙක් නොවේ. බුද්ධිය මෙහෙයවා ක්‍රියාත්මක කරන නිදහස් අදහස්වලින් ආර්ථික වශයෙන් ද සරු පල නෙළා ගැනීමට ඔබ සමත් වෙනවා. කොච්චර මිළ මුදල් අතමිට ගැවසුණත් ඒ ගැන තන්හාවක් ඇති කර ගන්නා අයකු නොවීමත් හරි පුදුම සහගතයි. යම් දවසක විශ්‍රාම සුවය ආරම්භ වීමත් සමග ඔබේ සෞඛ්‍ය ගැටලුත් සක්‍රීය වේවි. දේශපාලනඥ සුනිල් හඳුන්නෙත්තිගේ (1971) ජීවන වතගොත ඔයාට යම් සමාන බවක් ගන්නවා ඇති.

 

ඔක්තෝබර් 20:

(පෞද්ගලික අංකය 2/7)

වෙලාවකට මහ පුදුම චරිතයක් කියා ඔබට සමීප අය කොපමණ වරක් කියා තිබේදැයි මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබමත් ඒ ගැන තනිව කල්පනා කර ඇති බව නම් සහතිකයි. හේතුව ඔබේ අධි සංවේදීබව මිසක් වෙන කිසි වැරැද්දක් නෙවෙයි. මොකද ඔබ අකමැතිම දෙයක් තමයි නිකරුණේ අනුන්ගේ හිත රිදවීම. ඒ වගේම තමයි ඔයා ඔයාගේ හිත ගැනත් බොහෝම හිතන කෙනෙක් නේ? හැබැයි අවශ්‍යම මොහොතේදී ඉදිරියට කඩා බිඳගෙන ගිහන් ඔබ ගන්න තීන්දු තීරණ නූලටම වැඩ කරනවා. කොච්චරවත් අනුන්ට පුදන්න තියෙනවා නම් ඔයාට මේ ලෝකේ ඊට වඩා සැනසිල්ලක් නැති ගානයි. කිසියම් සැලසුමක් ක්‍රියාත්මක කිරීමේදී අදිසි බලවේගයකින් එහි ප්‍රගතිය පිළිබඳ පෙර දැනීමේ ඉවක් සතුවීම ඔබගේ සාර්ථකත්වයට පිටිවහලක්. ත්‍රිවංකයේ බලපෑමෙන් ස්වශන අබාධවලට නැඹුරුවක් පිහිටද්දි සුළිසුළං, ගුවන් අනතුරුවලට පවා මැදි වීමේ අවදානමක් ඔබට පවතිනවා. නිතරම සුළු මානසික ආතති ස්වාභාවයකින් පසුවීමේ ප්‍රතිපලයක් ලෙස අමාශගත රෝගවලින් පිඩා විඳීමේ වැඩි අවදානමක් ද පවතිනවා. ඊට අමතරව සෙම් අමාරු හේතුවෙන් යම් පීඩාවක් ඇති කෙරෙන බවත් පෙන්නුම් කෙරෙනවා. ඇතුළාන්තයෙන් මානසිකව කොපමණ තනිව පීඩා වින්ඳත් ඔබේ එක සුන්දර සිනා රැල්ළක් ප්‍රමාණවත් වෙනවා මුළු ලෝකයක් සුවපත් කරන්න. ආදරය සම්බන්ධව ඇති අතෘප්තිමත් සිතුවිලි දුරු කර නොගත්තොත් සැනසිල්ලක් නැති වේවි. ජාතියේ පියා විරුදාවලිය ලත් නිදහස් ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක (1884) මහත්මයාගේ ජීවන වගතුග මදක් විපරම් කළොත් ඔයාගේ අනාගතය ගැන යම් නිගමනයකට දැන්ම එළඹිය හැකි වේවි.

 

ඔක්තෝබර් 21:

(පෞද්ගලික අංකය 3)

වායෝ ත්‍රිවංකයෙන් ජල ත්‍රිවංකයට බලය හුවමාරුවත් සමග ඔබගේ උපත සනිටුහන් වන නිසා ඔබ තුළ තරමක් සෞම්‍ය ගති ඇති බවක් කැපී පෙනෙනවා. ඒ වගේම ඔබ ජලයට ඉතා ප්‍රියකරනවා. ජලය ආශ්‍රිත පරිසරවලටත් ප්‍රියයි. ජීවිතයේ වරක් හෝ ජලයෙන් වන අනතුරකට මැදිවීමේ යම් මතකයක්ද ජීවිතයට එක් කෙරෙනවා. සුන්දරත්වය හා කලාකාමීත්වය මාස රාශි බලයට හිමි සිකුරුගේ(-) සීමාවෙන් දැන් කුජගේ(-) මාස රාශි බලයේ හෙවණැලිත් ඉඟි කරලන්නට පටන් අරන්. ඒ කියන්නේ කුජගේ බලයත් යම් පමණකින් හෝ ඔබගේ පෞරුෂයට බලපෑම් කරනවා. තමා සතු හැකියාවන් නොපසුබට උත්සහයෙන් හා කැපවීමෙන් යුතුව ඔප් නංවා ගනිමින් පවුලේ අභාසයකින් තොරව නව ආර්ථික මංපෙතක් ඔස්සේ සාර්ථකව ඉදිරියට පිය මැන යෑමට පෙර පින් මහිමය බලවත් වනවා. හිත පත්ලෙන්ම ගරුත්වය අපේක්ෂා කරන ඔබ තමන්ට වඩා උසස් අයට වැඳ වැටිලා ගරු බුහුමන් දක්වනවා. ඒ ගමන්ම තමන්ට පහත් අයව තමන් ළඟ බලෙන් හරි දණගස්වා ගන්න ඔබ සමත්. ඔබට වැඩක් කරද්දී සම්පුර්ණ අවධානය එයට යොදවා පැහැදිලිව පිරිසිදුව කරන්න ඕනේ. මේ වැඩි උනන්දුව නිසාම ඔබ වැඩ කරන්නේ කිසිවකුගේ බාධා නොලැබෙන පරිද්දෙන්. ජ්‍යෙෂ්ඨ රාජ්‍යත්‍රාන්තික නිලධාරී අශෝක ගිරිහාගමත් (1958) ඔබ සමඟ උපන්දිනය සමරනවා ඇති.

 

ඔක්තෝබර් 22:

(පෞද්ගලික අංකය 1/4)

අනෙක් අය නොදකින වෙනස්ම ආකාරයේ සියුම් කෝණයකින් ප්‍රශ්න දෙස බලා විශ්ලේෂණය කරන්න ඔබ තරම් හපනෙක් ලොවට දුර්ලභයි. මුළු ලෝකයක් වැරදිකාරයකුට ගල් මානද්දී පවු නොකල කෙනෙක් පළමුවෙනි ගල ගන්න කියන ආකාරයේ අමුතුම මතවාදයකයි ඔබ ඉන්නේ. කොච්චර සමාජ විප්ලව හා දේශපාලන පරිවර්තනවලට නොබියව මුල පිරුවත් ඔබේ හදවතේ මොළකැටිබව ගලෙන් නෙළූ ප්‍රතිමාවක් සමයි.

අනුන්ගේ දුක නිවන්න යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ලෝකයක් හමුවේ සටන් කරන ඔබ කිසි දවසක තමන් වෙනුවෙන් එක වතුර පොදක් ඉල්ලලා කවදාවත් හඬක් නගලා නෑ නේද? හොඳ දරා ගැනීමක් ඇති නිසා හදවත ගල් කරගෙන හැඟීම් දැනීම් නැති ගානට උන්නත් ඉඳලා හිටලා ලොවට රහසින් හඬා වැටෙන තරම දන්නෙත් ඔයා විතරමනේ? බාගෙට පිස්සු ලේබලේ අලවපු ප්‍රයෝජනයක් නැති අරුම පුදුම යාළුවෝ පිරසක් ඔබට ඉන්නේ. ඒත් මිත්‍රද්‍රෝහී කිසිම ක්‍රියාවක් ඔබ දිවිහිමියෙන්ම කරන්නෙත් නෑ.

ටිකක් අමුතු අදහස් වැඩි වශයෙන් පහළ වන ඔබ අමුතුම අදහස් කලාත්මක අකාරයට අර්ථකථනය කරලා සම්භාව්‍ය ගණයේ නිර්මාණ බිහි කරන්නේ කාටවත් හිතා ගන්න බැරි විදිහටයි. ගුප්ත ශාස්ත්‍ර, ටෙලිපති, මෝහණය හා වශීකරණය වැනි ක්‍රමවලින් වැඩ ගන්නත් ඔයාට පුළුවන්. රිය අනතුරු, ගිනි අනතුරු, අකුණු අනතුරු හා ජලය ආශ්‍රිත අනතුරු යම් පමණකට ඔබට සක්‍රීය වනවා. නිදහස් ශ්‍රී ලංකාවේ 5 වැනි අගමැති වූ විජයානන්ද දහනායක (1902) නම් සුවිශේෂී දේශපාලන චරිතයත් ඔයාගේ ජීවන සිදුවීම්වලට බොහෝ සමීපත්වයක් දැරූ චරිතයක්.

 

ඔක්තෝබර් 23:

(පෞද්ගලික අංකය 5)

සඳුගේ හා ගුරුගේ බලපෑමත් ඔයාගේ පුද්ගල අංකය තුළ සැඟව ඇති බව අංක විද්‍යාත්මකව ප්‍රකාශ වනවා. ඒ වගේම චරිතයේ ශක්තිමත් භාවයත් සුවිශේෂයි. අවංක ලෙසම යුතුකම් දැරීමට කැපවන ස්වභාවයේ කෙනෙකු නිසා ඒවාටම කොටු වන්නේ පුදුම ආකාරයකට. තමන්ගේම දරුවකු, බිරිඳ, දෙමාපියන් නැතහොත් අඩුම තරමින් නැන්දා-මාමා වගේ කෙනෙකුගේ හරි අසනීපයකට සාත්තු සප්පායම් කරමින් කැපවෙන්න සිදු වෙනවා වෙනවාමයි. කෙසේ වෙතත් ඉහළ මානසික තලයක පසුවන නිසා වැඩි වශයෙන් ශාස්ත්‍රීය කටයුතුවලට බර වන බවක් දැකගත හැකියි. ඒ අතරේ බොහෝ විට අසාමාන්‍ය සබඳතාවල පැටලීමේ වැඩි සම්භාවිතාවකුත් පෙන්නුම් කෙරෙනවා. හැම විටම අහිංසාවාදී පිළිවෙත ඉහළින්ම අගයන කෙනෙක්. ඒ වගේම පීඩීත පාර්ශ්වය වෙනුවෙන් නොපැකිළ පෙනී සිටිනවා. හැකි හැම විටම සාධාරණ විනිශ්චයන් ලබා දීමටත් ඔබ කැමැතියි. වයස අවුරුදු 23-50 කාලයේ පුදුමාකාර විදිහට අදායම් ඔබ වෙත ගලා එනවා. බාධක නොවුණා නම් තවත් ඉහළ යන්න තිබුණා කියන පසුතැවිල්ලකින් නිතරම ඉන්නේ. වයස්ගත වීමත් සමඟ සූදුව හා කොටස් වෙළෙඳපල ආදියෙනුත් පෙර මෙන් ප්‍රතිපල ලබා ගැනීම අපහසු වනවා. සැලසුම් කළ ආකාරයට ජීවිතයේ සැඳෑසමයේ විය-හියදම් දැරීමට ආදායම් ප්‍රමාණවත් මදිවන බවක් පෙනෙනවා. හිටපු කීර්තිමත් නීතිවේදී, දේශපාලඥ සී.වී. විග්නේශ්වරන් (1939) ජීවන සංග්‍රාමයේ ඔබට බොහෝ සමාන බාධකයන් ජයග්‍රාහී ලෙස තරණය කළ ප්‍රබල චරිතයක්.

 

ඔක්තෝබර් 24:

(පෞද්ගලික අංකය 6)

ඔබ ඉපදිලා තියෙන්නේ සිකුරු(-) මාසයක සඳු හා රවි-යුරේනස්ගේ ආකර්ෂණයට නතු පෞද්ගලික අංකයකින්. නිතරම ලස්සනට ඇඳ-පැලැඳ හිතමිතුරන් පිරිවරාගෙන කා-බී විනෝදවෙමින් සතුටින් ගත කරන්න ඔයා කැමතියි. බලන් ඉන්න අයට හිතා ගන්නවත් බැරි තරම් සුඛෝපභෝගී සාද ජීවිතයක් තමයි ගතකරන්නේ. ඒ වුණාට ඇත්ත කතාව නම් ඊට හාත්පමින්ම වෙනස්. සුළු මුදලක් වැය කරලා විශාල ආටෝපයක් මවාපෑමට ඔබ සහජයෙන්ම දක්ෂයි. මිතුරු සමාගමය සාර්ථකව කළ හැකි ඔබ වගේ අයකු හවුල් ව්‍යාපාර හා ආයෝජන ආදියෙන් සාර්ථක්වය ලබා ගන්නා එක කියන්නත් දෙයක් ද? එහෙත් ඔබේ පවුල් ව්‍යාපාරය කියන එක නම් සාර්ථක කර ගන්නට මේ සරල, සැහැල්ලු බව බාධා ගෙන දෙන බවත් සිහිපත් කළ යුතු වනවා. කළින් කලට හිත ඉල්ලන වෙනස් ම ආකාරයේ රුචිකත්වයන් මත වින්දනීය ප්‍රේම සබඳතා ගණනාවකට මැදි වීමත් අනිවාර්ය වනවා. නිතර ප්‍රේමය සම්බන්ධ බලාපොරොත්තු කඩවීම්වලටත් ඔබ මැදි වනවා විතරක් නොවෙයි මේ කාලයේ දී හිතා ගන්නවත් බැරි විදිහට අමුතුම ආකාරයේ අත්දැකීම් කන්දරාවකට මැදි වෙන්නත් නියමිතව තිබෙනවා, ඔබ කලාවට සම්බන්ධ වෘත්තියක නිරත අයකු නම් අනිවාර්යයෙන්ම කලා මාධ්‍යයන් තුළ බැබළීම ඇති බවත් පෙනී යනවා. එහෙම නොවෙනවා නම් කලා කරුවන් සමඟ ඉතා කුළුපග ස්වභාවයක් ඔබ පෙන්වනවා. ලක් රූ රැජණ කිරුළකට වගේම කලා ක්ෂේත්‍ර රැසක නියැලීමට එකසේ හිමිකම් පෑ නිළියක වන ගයේෂා පෙරේරා (1987) චරිතය සමීපව අධ්‍යනය කර ඔබට ඇති සමානකම් සොයා බලන්න.

 

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.