ඔක්තෝබර් 04-10 අතර උපන් ඔබ...

ඔක්තෝබර් 4, 2024

ඔක්තෝබර් 4

(පෞද්ගලික අංකය 1/4)

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි ගමගේ මහතා (1939) ද ඔබ ගේ උපන් දිනයෙන් උපන් අයෙක්. ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය තුළ නොමැකෙන නමක් තමයි එතුමා රැන්දුවේ.

හරි පුදුම මාසයක හරි පුදුම උපන් දිනයක් තමයි ඔබට හිමි. අනුන්ගේ දුකේදී නිතරම සංවේදී වීම, ආහාර පාන ආදියෙන් නිරතුරු සෙස්සන් හට සංග්‍රහ කිරීම ආදිය පිළිබඳ ඔබ සතු නැඹුරුව පළමු පුදුමයයි. ඒ වගේම තමන්ට වන මූල්‍යමය හෝ භෞතිකමය අලාභයක් නොසලකා පොදු යහපත හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමට ඇබ්බැහි වීම අනෙක් පුදුමයයි. අසාමාන්‍ය ගති ඇති මිතුරු ආශ්‍රය කිරීම විතරක් නෙවෙයි ඔබේ ආදරය හා විවාහ පුරුදු පවා සම්මතයට පටහැනි බවක් පෙන්වනවා. ජීවිතයේ ඔබට අත්විඳීමට සිදුවන අත්දැකීම් හා සිදුවීම් පවා සැම විටම අසාමාන්‍ය ස්වභාවයක් ගන්නවා. තමන්ට කෙතරම් පාඩුවක් සිදු කළද කිසි විටෙකත් ඇසුරු කරන්නෙක් පාවා දෙන ස්වභාවයක් ඔබ තුළ නැහැ. කෙසේ වෙතත් ඔබ ආශ්‍රය කරන අය නිසා කීර්ති නාමයට හානි සිදු වුවද ඒ ගැන ඔබ කිසි විටෙකත් පසු තැවෙන්නේද නැහැ. රිය අනතුරු, ගිනි අනතුරු, අකුණු අනතුරු හා සුළඟින් හා ගුවන් ගමන්වලදී වන අනතුරුවල අවදානම ඔබට පවතී. කෙළින් කතා කරන ස්වභාවය නිසා හවුල් ව්‍යාපාර හා විවාහ සම්බන්ධතා වැඩි වශයෙන් අසාර්ථක වන නමුත් යහපත් මිනිසකු ලෙස නමක් දිනා ගැනීමේ වාසනාව ඔබ සතුයි. ඔබගේ පෞද්ගලික අංකය තුළ යුරේනස් ඉක්මවා රවිගේ බලය ඉස්මතුව ඇත්නම් ඔබ වඩාත් සමාජශීලී චරිතයක් විය හැකියි.

ඔක්තෝබර් 5

(පෞද්ගලික අංකය 5)

සිකුරුගෙන් ආකර්ෂණීය බවත් බුධගෙන් චතුර බව හා වේගවත් බවත් එක් විය හැකි ඔබේ උපන් දවසට සරිසම පුද්ගල පෞරුෂයක් තමයි ප්‍රේමසර ඈපාසිංහ (1937) මහතා කියන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය ගැන කතා කරන විට ඈපාසිංහ නාමය අමතක කරන්න බෑ. මේදින උපදින අයට යුතුකම් හා වගකීම් වෙනුවෙන් තමා සතු සියලු දේ කැපකිරීමට සිදු වන ස්වභාවයක් දැකිය හැකියි. තම රෝගී දෙමාපියන් හෝ සමීප ඥාතියකුගේ භාරකාරීත්වය දැරීමට සිදු වන නිසා ජීවිතයේ වටිනා අවස්ථා රැසක් ඒ වෙනුවෙන් කැපකිරීමට සිදුවන බවක් ද පෙනෙනවා. කොහොම වුණත් මේ වන විට රවි ගමන් කරමින් පවතින තුලා රාශියේ ශනිගේ බලය උච්ච නිසා මේ කාලයේ උපත ලබන ඔබ වැනි අය තුළ ප්‍රබල ශක්තිමත් බවක් ද අන්තර්ගත වෙනවා. ඔබට හිමි හැකියාවන්ගේ ධාරිතාවය හා ඉන් ළඟාවිය හැකි උපරිම ස්ථානය පිළිබඳ මනා අවබෝධයක් තිබුණාට මානසිකව තැවෙනවා හැරෙන්න වගකීම් වලින් මිදෙන්න ඔයාලා උත්සහා දරන්නේ නෑ. නිතර තම ප්‍රතිපත්ති ආරක්ෂා කර ගන්නා අතරම නිකරුණේ රණ්ඩු-දබර ආදියෙන් වැළකී සිටීමටත් ශික්ෂණයක් ඇති අයෙක් ඔබ. ඉතා පහසුවෙන් අනික් අයට අනුගත වීමේ ස්වභාවයක්ද ඔබට තිබෙනවා. අනෙක් අයට දියුණුවට මඟ නිතර අනුශාසනා කරන ඔබ වැනි අය වයස 23-50 කාලයේ සූදු ක්‍රීඩා හා කොටස් වෙළෙඳපළ වැනි පුදුමාකාර අංශවලින් හොඳීන් මුදල් උපයනු ඇත. එසේ වුවද වයස 50 න් පසු කාලයේදී ශීඝ්‍රලෙස ඔබගේ ආර්ථිකය පිරිහීමට නියමිතයි. අධික තෙල් හා ලුණු වලින් පරිස්සම් වන අතරම ශ්වසන අබාධ, සුළි සුළං හෝ ගුවන් අනතුරකින් ජීවිතයේ එක් වතාවක් හරි පීඩා විඳීන්නත් වැඩි ඉඩක් පවතිනවා.

 

ඔක්තෝබර් 6

(පෞද්ගලික අංකය 6)

මේ ලෝකේ බොහෝ ආකර්ෂණීය කාන්තාවන් හා පිරිමින් ඔබේ උපන් දිනයේ වැඩි වශයෙන් උපත ලබන බව පැවසෙනවා. එසේම ඉතා වින්දනීය ප්‍රේම සම්බන්ධතා ගණනාවකට මැදිවන බවත් පෙන්නුම් කෙරෙනවා. එපමණක් නොවෙයි මේ තුළින් විවාහයන් කිහිපයකට මඟ පෑදීමද ප්‍රබලව කැපී පේනවා. සුළු මුදලක් වැය කර බොහෝ උජාරුවක් මවා පෑමට ඔබ ඉතා දක්ෂයි. නිතර ඔබව පිරිවරා සිටින මිතුරු මිතුරියන්ට හොඳීන් කාවා-පොවා, පිනවා සතුටින් තැබීමට ද ඔබ සමත්. බලාපොරොත්තු නිතර කඩවීම, නඩු-හබවලට මැදිවීම හා අමුතුම ජීවිත අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවීමත් ඔබේ ජීවිතයේ අනිවාර්ය අංගයක්. ඔබ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ නම් ඒ තුළ සෑම අංශයකින්ම දස්කම් හා විස්කම් පෑමට සමත් වනු ඇති. ආත්ම වර්ණනාවට ගිජුවීම නිසා කඩා වැටුණු බොහෝ චරිතත් මේ උපන් දිනයට හිමිකම් කියන බව කයිරෝ තුමා ද අවධාරණය කර තිබෙනවා. නිතරම උසස් අය සමග සම්බන්ධතා පවත්වාගෙන යාමටද ඔබ අමතක කරන්නේ නෑ. හවුල් ව්‍යාපාර හා මුදල් ආයෝජනවලින් නිසි පළ ප්‍රයෝජන ඔබ විසින් හිමි කර ගනු ඇත. සෙංගෙඩි ආදිය නිසා ළමා කාලයේදී බොහෝ පීඩා සිදු වන බවද පෙන්නුම් කරයි.

ගුවන් හා සුළං අනතුරු අවදානමත් නිරායාසයෙන්ම පවතින බවත් සිහියේ තබා ගැනීම වැදගත් වේවි. වැරදි ආහාර පුරුදු නිසා වයස 51 පසු පරෙස්සම් වීමට වගබලා ගත්තොත් හොඳයි. කූඹියකු වගේ අනාගතයටත් යම් ඉතිරියක් කරලා තිබ්බොත් නරකද? ශ්‍රී ලාංකේය චිත්‍රපට කලාවේ සුවිශේෂ චරිතයක් වන ධර්මසිරි බණ්ඩාරනායක (1949) මහත්මයත් ඔබත් සමඟ සුබ උපන් දිනක් සමරන බව සිහිපත් කරගන්න.

 

ඔක්තෝබර් 7

(පෞද්ගලික අංකය 2/7)

සංගීතය, සිතුවම් කලාව, කාව්‍යකරණය, ලේඛණය හා රංගනය වැනි මාධ්‍යයකින් සුපිරි දක්ෂතා දැක්විය හැකි උපන් දිනයකටයි ඔබත් අයත්වන්නේ. කිසිදු දවසක නොසිතූ ලෙස දියුණුවේ හිණිපෙත්තටම නැඟීමට හැකිවීම දෛවයෙන් ලද ආශීර්වාදයක්. ඒ වගේම දෛවයේ සරදමක් ලෙස ඒ සියල්ල කඩා වැටීමට ද හැකි බැවින් ඔබ විමසිල්ලෙන් පසු වුවහොත් එයින් ආරක්ෂා වෙන්න හැකි වේවි. ඉතා සංවේදී ඔබ එකවර ඉදිරියට යාමට නොහැකි විට පෝළිමේ පසු පස හෝ සිට ක්‍රමක්‍රමයෙන් ඉදිරියට පැමිණෙන ස්වභාවයක් ඇත. සමාජය විවේචනය කිරීම හා ප්‍රභූවරුන් යැයි කියා ගන්නා උදවියගේ රහස් නිරුවත සමාජයට එළිදරව් කිරීමට නිරතුරු පන්හිඳ යොදා ගන්නා නිසා ඔබට එරෙහි විය හැකි සතුරු බලය පිළිබඳව පූර්ව තක්සේරුවක් කිරීම පවා අපහසු වනු ඇත. උපක්‍රමශීලී භාවය අඩු නිසා ව්‍යාපාර සහකරුවන් හෝ ජීවන සහකරුවන් සමග අනුගතව කටයුතු කිරීමට ඇති හැකියාව අඩුයි. ඔබ නිතරම සාමාජය විනිවිද දකිමින් මහා නිර්මාණ කරන ගමන්ම තමා තුළත් හැකි හැම විටම කිමිදෙන්න උත්සහා දැරීම යහපත් වේවි. අංක විද්‍යාත්මකව අනාගත පුරෝකථනයන් සිදු කරන්නේ කාගේත් යහපත හා සුබසෙත සලකලයි. ප්‍රවීණ ගත්කරු අජිත් තිලකසේන මහත්තයත් (1933) ඔබේ උපන්දිනය ආලෝකවත් කළ චරිතයක් වෙලා හිටියා කාලයක්.

 

ඔක්තෝබර් 8

(පෞද්ගලික අංකය 8)

මෙදින උපත ලබන ඔබ උරුමයෙන් පොහොසත් අයෙක් නම් ජීවන බර සැහැල්ලු එකක් වේවි. නැත්නම් දුෂ්කර වංකගිරි මැදින් තමයි ඔබේ ජීවන ගමන් මාර්ගය නියමිත වෙන්නේ. විද්‍යා හා නීති ක්ෂේත්‍රවලින් මේ කාලයේ ඉපදෙන මහත්වරුන් බොහෝ දෙනකු දස්කම් දක්වනවා. මේ කාලයේ කාන්තාවන් නම් එතෙර දේශපාලන විප්ලව, ඒ තුළින් පොදු මහජනයාට ප්‍රතිලාභ හිමිවන අකාරය සබැඳීව කරුණු රැස් කරමින් පත-පොතට ඇලී ගැලී ජීවත් වනවා. මේ හැමෝම වාගේ ඉතා දුෂ්කරතා දරමින් ශාස්ත්‍රීය ලෝකයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වන බව දැකිය හැකියි. පවුල් දෙදරා යාම් හා ඥාතීන්ගෙන් හුදෙකලා වීම් බොහෝ විට ජීවිත කතාවේ ලියැවිලා තිබුණත් මානසික වශයෙන් ඉතා ශක්තිමත් ලෙස ජීවිතයට මුහුණ දෙනවා. දුෂ්කරතා මැද වුවත් ඔබේ අත-මිට සරු වෙන්න ගනිද්දී කිසිම දවසක මිට මොලව ගන්න උත්සහයක් නම් දරන බවක් පෙනෙන්නේ නෑ. පොදු සමාජ යහපත සඳහා නිර්ලෝභී ලෙස මේ මුදල් අතදිග හැර වියදම් කරනු ඇත. කෙසේ වුවද ඔබට මේ ජීවිතයෙන් සමු ගන්නා දිනක පොදි ගැසූ කිසිවක්ම නොමැති වේවි. ඔබ නිතරම සාර්ථක වෙන්නේ උසස් නිලධාරියකු වුවහොත් විතරයි. ඒ බව නිතරම සිහියට ගෙන කැපවීමෙන් යුතුව උසස් තත්වයකට ළඟා වීමට උත්සහා කරන්න. එසේ නොවුණොත් සිදු වෙන්නේ නොකළ වැරැදිවලටත් දඬුවම් හා අවමන් විඳීමටයි. ඔයාගේ පාර්ශ්වයේ නිවැරිදිතාවය තහවුරු කරන්න සමාජයෙන් ඔයාට ඉඩක් වත් ලබා නොදෙන තරම්. ඔබට හිමි අභියෝග ජයගන්න විමසිල්ලෙන් කටයුතු කරනවා හැර වෙනත් මඟක් නොමැති බව සිහියේ තබා ගන්න. යොවුන් පිතිකරු චලන ද සිල්වා (1993) මහත්මයත් ඔයාගේ දවසෙම පෑයූ දිදුළන තරුවක්.

 

ඔක්තෝබර් 9

(පෞද්ගලික අංකය 9)

ඔබේ උපන් දිනය අයත් වන්නේ තුලා රාශියේ සිකුරු(-) කාලයට. එමෙන්ම වායෝ සස ත්‍රිවංකයට. සිකුරුගේ මාසයක උපත ලැබීම නිසා පොදුවේ ලැබෙන ආකර්ෂණීය බව ඔබට හිමි වනවා. ඒ වගේම පෞද්ගලික අංකයේ කුජගේ ප්‍රබලත්වය නිසා විමසා බැලීමකින් තොරව ඉදිරියට කඩාගෙන බිඳගෙන යන ස්වභාවයක් පෙන්නුම් කෙරෙනවා. දක්ෂ නීතිඥයන් වගේම ශල්‍ය වෛද්‍යවරුන් පවා මෙදින උපත ලබන අය අතරින් බිහිවන බව පැවසෙනවා. කෙසේ වෙතත් ඔබේ රළු පරළු වාග් නැඹුරුව අඩු වෙනවා නම් හොඳයි. ප්‍රසන්න හදවත අප්‍රසන්න වචනවලට යට වන්න නොදී ආරක්ෂා කර ගැනීමට වග බලා ගැනීම යහපත් වේවි. මනා සංවිධාන ශක්තිය සමිති සමාගම්වල නායකත්වය දැරීමේ දී වගේම ව්‍යාපාර පරිපාලනයේදී ඔබට ඉතා වැදගත් වනවා. එහෙත් කටින් පිටවන වචනයක් පාසා හතුරකු බිහි නොවීමට වග බලා ගැනීම වැදගත් බව නිතරම සිහියේ තබා ගන්න. ඔබට ඇති විරුද්ධ ලිංගික ආකර්ෂණයත් සුපිරියි. හැබැයි, ඔන්න ඇටෙන් පොත්තෙන් මෝරද්දිම අවාහයක් විවාහයක් කරන්න හදිස්සි වන තරමට අත් විඳීන්න වෙන ළතැවිල්ලත් වැඩි වෙනවා. විවාහයේ සැප කොහොම වුණත් දරුවෝ නම් ඔයාට දෙවියන්ට වගේ සලකන එක නම් ස්ථීරයි. හරි හෝ වැරැදි හෝ වේවා ඔයා තනිව ගතයුතු තීන්දු හා තීරණ මත පමණමයි ඔයාගේම සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රැඳෙන්නේ. ශරීරයේ බෙල්ලෙන් ඉහළ කොටසට වන අනතුරු වගේම ගිනි හා පිපුරුම් ද්‍රව්‍ය යනාදියෙනුත් යම් අවදානමක් ඇති බව මතක් කර දෙන්න කැමතියි. වෙඩි ප්‍රහාරයට ලක්ව අවසන් ගමන් යන තුරා ජනප්‍රියම නළුවා සම්මානයට හිමිකම් තැබූ හෙළයේ සිහින කුමරා විජය කුමාරතුංග (1945) මහත්මයාත් මේ උපන් දිනයටමයි හිමිකම් කියන්නේ.

ඔක්තෝබර් 10

(පෞද්ගලික අංකය 1/4)

දේශපාලන ලෝකයේ ඔබ වැනි අයට හොඳ තැනක් හිමි වෙනවා. සාම්ප්‍රදායික දේශපාලනයෙන් පරිබාහිරව සෑම විටම ජනතා සුබ සිද්ධිය උදෙසා බොහෝ අණපනත් සම්පාදනයට ඔබ වැනි අයයි පුරෝගාමී වන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව ගවේෂණාත්මක කටයුතුවලටත් ඔබ වැනි අයට ඇත්තේ පුදුමකාර ඇම්මක් කිවුවොත් නිවැරිදියි. ඔයා ආදරයට ඉතා ප්‍රිය චරිතයක්. එහෙම වුණත් දෛවෝපගත විදිහට ඔයාට අඩුවෙන් විඳීන්නට ලැබෙන්නෙත් ආදරයම විය හැකියි. ඒ වටේ ඉන්න අය කප්පරක් ආදරේ කළත් ඔයාට ඒ අය කෙරෙහි ගරුසරුවක් අගය කිරීමක් නැතිව යනවා. නීතිය හා සමාජ සාධාරණත්වය වගේ විෂයයන් කෙරෙහි ඔයා වඩාත් නැඹුරු වෙනවා.

ඇතුළාන්තය තුළ ශනිගේ ගති ලක්ෂණ වැඩි වශයෙන් පිළිඹිබු වුණොත් හුදෙකලා භාවයට වැඩිමනත් නැඹුරු විය හැකි වෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංකය තුළ රවිගේ බලය වඩාත් ඉස්මතු වෙනවා නම් ඔයා හරිම සමාජශීලී අයෙක් වේවි. රාජකාරිය ඉටු කිරීම විතරක් නෙවෙයි අවශ්‍ය විටෙකදී යමෙකුට දඬුවම් පැමිණවීම වුවත් ඔයා අකුරටම ඉටු කරනවා. එතනදී නෑදෑ හිතවත්කම් තැකීමක් සිදු කරන්නේ නෑ. ඉතා අරමුණු සහගතව ඔයා දියුණුවීම සඳහා නිතරම ඇප කැප වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ කලාකාමී බවත් සුළුපටු නෑ. බුද්ධිය මෙහෙයවා ක්‍රියාත්මක කරන නිදහස් අදහස් ආර්ථික වශයෙන් හොඳීන් පල දරනවා. ඒ වුණත් මුදල් පොදි ගහන්න චේතනාවක් කිසිදා ඇති වෙන්නෙත් නෑ. ක්‍රියාශ්‍රීලීව කටයුතු කරන තාක් ඔයාගේ සෞඛ්‍ය තත්වය ඉතා නිරෝගී වෙනවා වගේම විශ්‍රාමය ආරම්භ වීමත් සමගයි සෞඛ්‍ය ගැටලුත් අවදි වෙන්නේ. දේශපාලනඥ මහින්ද යාපා අබේවර්ධන මහත්මයත් (1945) ඔබත් එක්ක උපන් දිනය සමරන සුවිශේෂී චරිතයක්.

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.