ඔක්තෝබර් මාසය ඔබ උපන් ලග්නයට කෙසේද?

සැප්තැම්බර් 27, 2024

මේෂ

ඉතාමත් යහපත් කාලයක් වෙයි. කරදර පීඩා අවම වේ. අනාගත කටයුතු සාර්ථක වේ. නව රැකියාවලට ඉල්ලුම් කළ හැකිය. ආදරය සම්බන්ධ කටයුතුවලට සුබයි.

ආර්ථිකය- නව ව්‍යාපාරික අරමුණු සහ සිහින බාධාවකින් තොරව ඉටුවන මාසයකි.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- අධ්‍යාපනය ලබන දූදරුවන්ට සාර්ථක මාසයකි. විභාග අපේක්ෂිතයන්ට නිදහසේ අධ්‍යාපන කටයුතු කිරීමේ වරප්‍රසාද හිමිවේ. විටින් විට වා, පිත්, සෙම් රෝග ගෙන දේ. කොන්ද ප්‍රදේශ ආශ්‍රිත කැක්කුම් වර්ධනය වේ.

පිළියම්- ආගමට දහමට නැඹුරුව කටයුතු කරන්න. වස් වසන භික්ෂූන් වහන්සේට ඇප උපස්ථාන කරන්න. බුද්ධ පූජාව වැඩමවීමට මුතු කුඩයක් පූජා කරන්න.

සුබ දින- අඟහරුවාදා, සිකුරාදා

සුබ වර්ණය- රතු

සුබ අක්ෂර- ර, ක

ජය අංක- 6, 7

වෘෂභ

ලිපි ලේඛන කටයුතුවල යෙදෙන්නන්ට ඉතාමත් යහපත්ය. තරග විභාගවලට යහපත් මානසික තත්ත්වයක් නිර්මාණය වේ.බැඳීම්වලදී ගැටුම් නිර්මාණය විය හැකියි. දුර බැහැර ගමන්වලදී ප්‍රවේශම් වන්න. නව රැකියාවලට ඉල්ලුම් කළ හැකි කාල සීමාවකි.

ආර්ථිකය -නව ව්‍යාපාර කටයුතුවලට සුබයි. කෘෂිකර්ම, ඉදිකිරීම් කේෂේත්‍රවලින් ආර්ථික ලාභ හිමිවේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- අධ්‍යාපන අරමුණු ඉක්මනින් ඉටුකර ගැනීමට ශක්තිය ලැබෙන කාල සීමාවකි. උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න. උෂ්ණාධික වෛරස ශරීරයට අවශෝෂණය වීමට ඉඩකඩ වැඩිය.

පිළියම්- බෞද්ධ හෝ හින්දු බැතිමතකු නම් ගණ දෙවියන්ට රතු කහ මිශ්‍ර මල් මාලයක්, කිරි කළයක් පූජා කරන්න. කිතුනු භක්තිකයකු නම් ශාන්ත අන්තෝනි මුනිඳුන්ට රතු සුදු මිශ්‍ර මල් මාලයක් සහ ඉටිපන්දම් හතක් දල්වන්න.

සුබ දිනය- බදාදා

සුබ වර්ණය- කහ

සුබ අක්ෂර- උ, ෂ

ජය අංක- 3, 5

මිථුන

අෂ්ටම ඒරාෂ්ටකයෙන් පසු නව කාලයක් ගොඩනැගෙන වකවානුවකි. ඔක්තෝබර් 21න් පසු ඥානාන්විතව කටයුතු කිරීමට හැකියාව ලැබේ. පාලන තන්ත්‍රය තුළදී බාහිර පාර්ශ්වයන් සමඟ ගැටීම්වලට නොයන්න.නිත්‍යානුකූල නොවන කටයුතුවලට සම්බන්ධ නොවන්න. බැඳීම් ශක්තිමත් වන දින කිහිපයකි. දරුපල අපේක්ෂිතයන්ට සුබය.

ආර්ථිකය- පසුගිය කාලයේ සිදු කළ ආර්ථික කටයුතු සාර්ථක වන දින කිහිපයකි. ව්‍යාපාර කටයුතුවලටයහපත්ය.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- භාෂා, තාක්ෂණික ඥානය ඉහළ යයි. මතක ශක්තිය දියුණුවේ. දකුණු උරහිස ප්‍රදේශය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. ආමාශගත උෂ්ණත්වය වැඩි විය හැකි බැවින් නිතර ජලය පානය කරන්න.

පිළියම්- ඉෂ්ට දෙවියන්ට පුද පූජාමය සත්කාර කරන්න. වස් වසන භික්ෂූන් වහන්සේ උදෙසා නිර්මාංශ ව්‍යංජන සහිත දානයක්, පලතුරු, ධාන්‍ය, කැවිලි පූජා කරන්න. නිරාගමික අයෙකු නම් යෝග භාවනාවලට යොමු වන්න.

සුබ දින- සෙනසුරාදා, බදාදා

සුබ වර්ණය- කොළ

සුබ අක්ෂර- බ, ස

ජය අංක- 2, 8

කටක

පවතින බාධක ජය ගැනීමට උත්සාහවන්ත විය යුතු කාලයකි. ඇසුරු කරන්නන් අමනාප නොකර ගන්න.අන්‍යයන්ගේ ප්‍රශ්නවලට මැදිහත් නොවීමට සැලකිලිමත් වන්න. ආදර සබඳතා මුහුකුරා යන කාලයකි. නීති කටයුතුවලට මැදිහත් වීමෙන් වළකින්න. විදේශ සංචාරවලට සුබයි.

ආර්ථිකය- ගනුදෙනුවලදී බුද්ධිමත්ව කටයුතු කරන්න. මුදල් නිසි ලෙස කළමනාකරණය කරගන්න.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න. නිසි ආහාර රටා අනුගමනය කරන්න. වා පිත් සෙම් වෙනස්වීම් සිදුවිය හැකිය.

පිළියම්- දුගී මගී යාචකයකුට නිර්මාංශ දාන වේලක්, වස්ත්‍රයක් පූජා කරන්න. විෂ්ණු දෙවියන්ට නිල් මල් මාලයක් පූජා කරන්න. බෝධීන් වහන්සේ නමක් අභියස ඔබේ වයසට පහන් ආලෝක පූජාවක් සිදු කරන්න.

සුබ දිනය- බ්‍රහස්පතින්දා

සුභ වර්ණය- සුදු

සුබ අක්ෂර- හ, ද

ජය අංක- 5, 8

සිංහ

ඉතා යහපත්කාලසීමාවකි. උසස් අවස්ථා උදාවේ. සතුටින් හා සැහැල්ලුවෙන් කටයුතු කරයි. සමාජය තුළ ආකර්ෂණීය තත්ත්වයට පත්වේ. තමන් වටා සමාජ බලය, පිරිස් බලය ගොඩනැඟේ. ඔක්තෝබර් 14 න් පසු මිළදී ගැනීම්වලට සුබයි. ආදර බැඳීම් මුහුකුරා යන කාලයකි. විදෙස් ගමන්වලට දොරටු විවෘත වෙයි.

ආර්ථිකය- නව ලැබීම් පවතින දින කිහිපයකි. ව්‍යාපාර සැලසුම් කරන්න යෝග්‍ය මාසයකි. විදෙස් ගමන් තුළින් ආර්ථිකය ශක්තිමත් වේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- විලුඹ ප්‍රදේශය සම්බන්ධයෙන් රෝග පීඩා මතුවේ. ආමාශගත රෝග පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර ජලය පානය කරන්න.

පිළියම්- ආගමික කටයුතුවලට නැඹුරු වන්න.

සුබ දිනය- ඉරිදා, බදාදා

සුබ වර්ණය- රතු

සුබ අක්ෂර- න, ස

ජය අංක- 5, 10

කන්‍යා

සිහින, අරමුණු ඉලක්කවලට යහපත් මාසයකි. පසුගිය කාලයේ තිබූ මන්දගාමී ස්වරූපය පහව යයි. සමාජ ඇගැයීම් වරප්‍රසාද වෙනදාට වඩා හිමිවන කාලයකි. හිතවතුන් අතර ජනප්‍රියත්වය ඉහළ යයි. රිය පැදවීමේදී ප්‍රවේශම් වන්න. ආදරය මුහුකුරා යන කාලයකි. බාහිර පාර්ශ්වයන් සමඟ ගැටීම්වලට නොයන්න.

ආර්ථිකය- ස්වයං ව්‍යාපාරයන් ආරම්භ කිරීමට යෝග්‍යයි. මැණික්, පතල් ආශ්‍රිත රැකියාවක යෙදේ නම් ආර්ථික වාසිදායක වේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- අධ්‍යාපනය හදාරන දරුවන්ට සාර්ථක ප්‍රතිපල නෙළාගත හැකි මාසයකි. පෙරට වඩා අධ්‍යාපනයට යොමුවන වකවානුවකි. කොන්ද, දණහිස ප්‍රදේශ ආශ්‍රිත රෝග හටගැනීමට හැකිය.

පිළියම්- කතරගම දෙවියන්ට පින් පිණිස යාචකයකුට නිර්මාංශ දාන වේලක් ලබා දෙන්න.නිරාගමික කෙනෙකු නම් ධනාත්මක චින්තනය සම්බන්ධ පතපොත ඇසුරු කරන්න.

සුබ දිනය- බදාදා

සුබ වර්ණ- රෝස, ළා රතු

සුබ අක්ෂර - අ, ම

ජය අංක - 4, 6

තුලා

වසර ගණනාවකට පසු අරමුණු ඉලක්ක කරා ළඟා විය හැකි වපසරිය නිර්මාණය වන කාලයකි. විදේශ සංචාරවලට, රැකියාවලට අවස්ථාව සැලසේ. සිතේ සතුට වර්ධනය වේ. වෙනදාට වඩා ශරීර ආකර්ෂණය ඉහළ යන දින කිහිපයකි.නායකත්වය වර්ධනය වේ. ප්‍රමාද වූ විවාහ සබඳතා ඉටු වීමට සුබයි.

ආර්ථිකය- නව ව්‍යාපාර කටයුතු සැලසුම් ක්‍රියාත්මක කිරීමට යහපත් කාලයකි. විසිතුරු කර්මාන්ත ව්‍යාපාරවලට සුබ වේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- මතක ශක්තිය වර්ධනය වේ. උද්යෝගිමත්ව අධ්‍යාපන කටයුතුවලට නැඹුරුවේ. කොලස්ටෙරෝල්, දියවැඩියාව තිබෙන අයගේ රෝගී තත්ත්ව පහව යන කාලසීමාවකි.

පිළියම්- කුරුලු ජෝඩුවක් බෝධීන් වහන්සේ අභියස නිදහස් කරන්න. ඔබ අදහන ශාස්තෘන්වහන්සේ උදෙසා පහන් හතක් දල්වන්න.කිතුනු භක්තිකයකු නම් ඉටිපන්දම් හතක් දල්වන්න.

සුබ දිනය- සෙනසුරාදා

සුබ වර්ණය නිල්

සුබ අක්ෂර- ම, ත

ජය අංක- 8, 9

වෘශ්චික

කාර්යබහුල සහ වෙහෙසකර මාසයක් බවට පත්වේ. මේ කාලය හවුල් කටයුතුවලට වඩාත් යහපත් වේ. සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. ආදර බැඳීම්වලදී ඉහළ සමාජ ගෞරවයක් හිමිවෙයි. නීතියට පටහැණි ගනුදෙනුවලට නොයන්න. විදෙස් සංචාරවලට සුබවේ.

ආර්ථිකය- අපේක්ෂිත ආර්ථික අරමුණු ගොඩනැගේ. ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමට යහපත්ය.

අධ්‍යාපන හා සෞඛ්‍යය- ධාරණ ශක්තිය ඉහළ යයි. නව විෂයය ධාරාවන් හැදෑරීමට සුබයි.උරහිස, පපු ප්‍රදේශ ආශිත දැවිලි තත්ත්වයන් උද්ගත විය හැකිය. උෂ්ණ, තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න.

පිළියම්- කතරගම දෙවියන්ට රතු, නිල් මිශ්‍ර පැහැයෙන් මල් මාලයක් පූජා කරන්න. හිරු බැස ගිය විට බෝධීන් වහන්සේ අභියස ඔබේ වයසට පහන් ආලෝක පූජාවක් සිද්ධ කරන්න. සෙනසුරාදා යාචකයෙකුට නිර්මාංශ ව්‍යංජන සහිත දානයක් ලබා දෙන්න.

සුබ දින- සඳුදා

සුබ වර්ණය- රෝස

සුබ අක්ෂර- බ, ස

ජය අංක 6, 8

ධනු

අපේක්ෂිත කටයුතු සාර්ථක වන කාල සීමාවකි. පාලන තන්ත්‍රය තුළ නායකත්වය හිමි වේ. මාසයේ අග ශරීර සැපය වර්ධනය වේ. හවුල් කටයුතුවලට සුබයි. විදෙස් සංචාරවලට උචිත දින කිහිපයකි. අදහස් ප්‍රකාශ කිරීමේදී ප්‍රවේශම් වන්න. රැකියා උසස් වීම්වලට යෝග්‍යයි.

ආර්ථිකය- ආර්ථික කටයුතුවලට යහපත් පරිසරයක් නිර්මාණය වේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- සංගීත, කලා අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන්ට සුබ වේ.මාසය මුලදී සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරන්න. නිතර ජලය පානය කරන්න.

පිළියම්- ඊශ්වර දෙවියන්ට රතු, කහ මිශ්‍ර මල් මාලයක් පූජා කරන්න. හිරු උදාවන මොහොතේ බෝධීන් වහන්සේ නමකට පහන් හතක් දල්වා පූජා සත්කාර කරන්න.

සුබ දිනය- සෙනසුරාදා

සුභ වර්ණය- කහ

සුබ අක්ෂර- අ, ග

ජය අංක-2, 7

මකර

ඔක්තෝබර් 14න් පසු වාසනාවන්ත කාලයක් උදා වේ. සංචාරක අවස්ථා, විදෙස් ගනුදෙනු, පවුල් කටයුතුවලට සුබ වේ. සමාජ වරප්‍රසාදය ඉහළ යන කාලයකි. ප්‍රමාද වූ විවාහ කටයුතු සාර්ථක වේ. දුර බැහැර ගමන්වලට ඉඩ සැලසේ. ක්‍රීඩාවල යෙදෙන්නන්ට ඉතා සුබයි.

ආර්ථිකය- ආර්ථිකය ශක්තිමත් වන නව ආර්ථික කටයුතු සැලසෙන කාලයකි.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- තරග විභාගවලින් ජය හිමි වේ.අධ්‍යාපන කටයුතුවලට සුදුසු වටපිටාවක් නිර්මාණය වේ. නව විෂයය ධාරාවන් හැදෑරීමටත් සුබයි. මැණික් කටුව, වළලුකර ප්‍රදේශවල පීඩා මතු වේ.

පිළියම්- වස් වෙසෙන භික්ෂූන් වහන්සේ නමකට සිවුරු පිරිකර, ඖෂධ ගිලන්පස පූජා කරන්න.

සුබ දිනය- සෙනසුරාදා

සුබ වර්ණ- සුදු, ලානිල්

සුබ අක්ෂර- ස, බ

ජය අංක- 5, 6‍

කුම්භ

ඔක්තෝම්බර් මස 14 වැනිදායින් පසු සස යෝගය ක්‍රියාත්මක වේ. මානසික සහනය වර්ධනය වේ. බැඳීම්වලට බාධක තිබුණද ඒවා ක්‍රමානුකූලව දුරස් වී සුබවාදී ලෙස බැඳීම් නිර්මාණය වේ. මිත්‍රත්වයට යහපත්ය. නෛතික කටයුතුවලදී චෝදනා එල්ල විය හැකිය. නව රැකියා අවස්ථා, වැටුප් ඉහළ යෑම් සිදුවේ.

ආර්ථිකය- නව ආර්ථිකමය අරමුණු සාර්ථක වන කාලයකි. මැණික්, පතල් කර්මාන්ත ආශ්‍රිත ආර්ථික කටයුතුවලට සුබවේ. නොසිතූ ලාභ අත්වේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- තරග විභාග අපේක්ෂිතයන්ට යහපත් වටපිටාවක් නිර්මාණය වේ. මතක ශක්තිය වර්ධනය වේ. පසුගිය කාලයේ තිබූ ආමාශගත රෝග ක්‍රමයෙන් පහව යයි.නිරන්තර ව්‍යායාම්වල යෙදෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න.

පිළියම්- පිණ්ඩපාත භික්ෂූන්වහන්සේ නමකට ගැළපෙන ආකාරයේ පලතුරු පාත්‍රයක් පූජා කරන්න. පුන් පොහොය දිනකදී තමාගේ වයසට පහන් ආලෝක පූජාවක් සිදු කරන්න. ගණ දෙවියන්ට පහනක්, රතු කහ මිශ්‍ර මල් මාලයක්, කිරි කළයක් පූජා කරන්න.

සුබ දිනය- සිකුරාදා

සුභ වර්ණය- සුදු

සුබ අක්ෂර- ප, ර

ජය අංක-1, 8

මීන

චන්ද්‍රග්‍රහණයෙන් පසු මීන ලග්න හිමියන්ට අභියෝගාත්මක කාලසීමාවක් නිර්මාණය වේ. මනසට බර ගතියක් දැනෙන වකවානුවකි. ආදරය හොඳීන් මුහුකරා යන කාලයකි. දුර බැහැර ගමන් බිමන් සාර්ථක වේ. ගෙදරදොර වැඩ කටයුතු සාර්ථකව නිම කෙරේ. බාහිර පාර්ශ්වයන්ගේ කටයුතුවලට මැදිහත් නොවන්න. හවුල් කටයුතුවලදී ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරන්න.

ආර්ථිකය- නව ආර්ථික සැලසුම් ඇති කළ හැකිය. ඔක්තෝම්බර් 22දා සිට ලැබීම් අවස්ථාවලට පරිසරයේ සැකසේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- ඔක්තෝම්බර් 14න් පසු සැහැල්ලු මනසකින් අධ්‍යාපන කටයුතුවලට යොමුවේ. ඉරුවාරදය වැනි රෝග උත්සන්න විය හැකියි. කොන්ද, පාද ආශ්‍රිත රෝග ක්‍රමයෙන් යටපත් වේ.

පිළියම්- වෙනදාට වඩා ආගමික කටයුතුවලට නැඹුරු වන්න. සත්පත්තිනි මෑණියන්ට කහ, සුදු මල් මාලයක් පූජා කරන්න. සත්පත්තිනි මෑණියන්ගේ දෙවොලකට සළඹක් පූජා කරන්න. කතරගම දෙවියන්ට රතු මල් මාලයක් පූජා කරන්න.නිරාගමික කෙනෙකු නම් අභය දානමය පින්කමක් ලෙස බෝධීන් වහන්සේ නමක් අභියස කුරුළු ජෝඩුවක් නිදහස් කරන්න.

සුබ දිනය- අඟහරුවාදා

සුබ වර්ණය- කහ

සුබ අක්ෂර- ග ,ස

ජය අංක- 4, 8

 

ජ්‍යොතිෂවේදී

මියුරු සම්පත් ලියනගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.